රතු ලෙයින් ලියැවුනු රතුපස්වල පාඩම
slw1-06a-img5

ඝාතනය කළ ශිෂ්‍යාෙග් අවමඟුළ බිය ගැන්වීමට පොලිස් හමුදාවක්

සුනන්ද දේශප්‍රිය
උතුරකරයෙහිදී එල්ටීටීඊ සංවිධානය සමඟ  රාජපක්ෂ පාලනය කර ගෙන ගිය යුද්ධයෙහි කැපි පෙනෙන ලක්ෂන ගණනාවක් විය. රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් අප සමාජයෙහි ඇතිව තිබෙන පුළුල්වූත් ගැඹුරුවුත් සාකච්ජාවට අදාළ කර ගනු පිණිස එම ලක්ෂන කිහිපයක් මතු කර ගැනීම වැදගත් ය.

1.    යුද්ධය නිසා දෙමළ සිවිල් ජනයා කොපමණ මිය යන්නේ ද අනතුරට ලක්වන්නේ ද යන්න නොසළකා සිය යුද්ධෝපායන් එළෙසම කරගෙන යෑම ( රෝහල් සහ දේවස්ථාන වලට පවා ප්‍රහාර දියත් කිරීම, දිවි ගලවා ගැනීමට මඟක් ඉතිරි නොකර ප්‍රහාර දියත් කිරීම යනාදිය)

2.    එළෙස මිය යන හෝ අනතුරට ලක්වන හෝ  සිවිල් ජනයා පිළිබඳ වාර්තා පළවීම හෝ යුද්ධයේ සැබෑ ස්වභාවය පිළිබඳ ලිපි පළවීම වළක්වනු පිණිස ජනමාධ්‍යට සමස්ත වාරණයක් පැනවීම සහ ඊට අනුගත නොවන මාධ්‍ය සහ මාධ්‍යවේදීන් යටත් කර ගැනීම හෝ විනාශ කිරීම ( යුද සමයෙහි ඝාතනය කරන ලද ජනමාධ්‍ය සේවකයින් 34 දෙනෙකු අතරින් 32 දෙනෛකු ම දෙමළ ජනමාධ්‍යවේදීන්වීම, යාපානයේ උදයන් පුවත්පතට දිගින් දිගටම එල්ල වූ ප්‍රහාර, දකුනෙහි විසංවාදී මාධ්‍යවේදීන්ට පහර දීම, බිය ගැන්වීම සහ මරා දැමීම සහ මාධ්‍ය ආයතන ගිනි තැබීම යනාදිය)
3.    යුද්ධයේ සෑම උපාය උපක්‍රමයක්ම සාධාරණ කරනු පිණිස එල්ටීටීඊ යේ ත්‍රස්ත ක්‍රියා යොදා ගනිමින් ස්වකීය ජනමාධ්‍ය  මෙහෙයුමක් අනවරතයෙන් පවත්වා ගෙන යෑම. එමගින් සැබෑ තත්ත්වය රටින් සහ ලොවින් සැඟවීම. සිවිල් වැසියන් සම්බන්ධයෙන් පිළිවෙත වූයේ එකදු මරණයක් හෝ නොවීමට වගබලා ගැනීම බවට ප්‍රකාශ කිරීම.  (යුද්ධමය වශයෙන් එල්ටීටීඊ ය පරාජය කිරීමේ සැළැස්මක් මුල සිටම රාජපක්ෂවරුන් සතුව තිබුණ  ද යුද්ධයට හේතුව එල්ටීටීඊයේ දඩබ්බර කම යැයි ලොවට ප්‍රකාශ කිරීම, රෝහල් වලට පහර දුන්නේ එල්ටීටීඊ කාලතුවක්කු ස්ථාන ගත කර තිබීම නිසා බව ප්‍රකාශ කිරීම යනාදිය)

4.    අවසානයේ දී යුද්ධයෙන් දෙමළ සිවිල් ජනයා විපතට පත් වූ බවට හෝ අත් අඩංඟුවට ගනු ලැබූ හෝ බාර වූ හෝ  එල්ටීටීඊ පිරිස්  මරා දමන ලද බවට එල්ල වූ  චෝදනා පරීක්ෂා කිරීමට එම යුද්ධය කරගෙන ගිය යුද්ධ හමුදාවටම පැවැරීම (යුද අපරාධ පිළිබඳව නැගෙන සාක්ෂි සහ චෝදනා විභාග කිරීමට එම යුද්ධය මෙහෙය වූ යුද හමුදා පුධානීන්ට ම බාර දීම සහ එවැනි කිසිදු අපරාධයක් සිදුව නැතැයි වාර්තාවක් නිකුත් කිරීම)

දැන් වෙනම රටක් ලබා ගැනීමට සන්නද්ධ අරගලයක්  කළ දෙමළ එල්ටීටීඊ ය වෙනුවට පිරිසිදු වතුර ඉල්ලා අවිහිංසාවාදී අරගලයක් කළ රතුපස්වල සිංහල ජනයා ආදේශ කර එම කරුණු හතර නැවත කියවන්න.

එවිට මෙසේ කියැවේ:

1.    රාජපක්ෂවාදී ධම්මික පෙරේරාගේ හේලීස් පැක්ටරිය ආරක්ෂා කරදීම උදෙසා  සිංහල සිවිල් ජනයා කොපමණ මිය යන්නේ ද අනතුරට ලක්වන්නේ ද යන්න නොසළකා සිය මර්දන සැළැස්ම එළෙසම ක්‍රියාවට නැගීම ( සිවිල් කැරලි හෝ උද්ඝෝෂනය මැඩලීමේ දී යොදා ගන්නා කදුළු ගෑස්, වතුර ප්‍රහාර වෙනුවට ජීව උන්ඩ යොදා ගැනීම,  කිසිදු සම්බන්ධයක් නැති පැසැල් සිසුන්ට පවා වෙඩි තබා ඝාතනය කිරීම, වෙඩි තැබීමට අමතරව උල් ආයුධවලින් එනම් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ සහ උපාලි තෙන්නකෝන්ට පහර දුන්  පරිද්දෙන්, හිස පාසාරු කර ඝාතනය කිරීම, රැකවරණය පිණිස දේවස්ථාන කරා දිව ගිය ජනයාට එළවා එළවා දේවස්ථාන තුලදීම පහරදීම, සන්නාහ සන්නද්ධ සෙබළුන් සිය ගණනාවක් විසින් යුද මෙහෙයුමක ආකාරයෙන් මර්දනො සැළැස්ම ක්‍රියාවට නැගීම යනාදී වශයෙන්)

2.    එළෙස මිය යන හෝ අනතුරට ලක්වන සිවිල් ජනයා පිළිබඳ වාර්තා පළවීම හෝ හමුදා මෙහෙයුමෙහි සැබෑ ස්වභාවය පිළිබඳ ලිපි පළවීම වළක්වනු පිණිස ජනමාධ්‍යට සමස්ත වාරණයක් පැනවීම සහ ඊට අනුගත නොවන මාධ්‍ය සහ මාධ්‍යවේදීන් යටත් කර ගැනීම හෝ බිය ගැන්වීම ( මෙහෙයුමට පෙර ජනමාධ්‍යවේදීන්ට පහර දීම,  පළවා හැරීම හෝ කොටු කිරීම, කැමරා කුඩු කිරීම,  ජනමාධ්‍යවේදීන්ට බල්ලන් යැයි ආමන්ත්‍රණය කිරීම,  මෙහෙයුමෙන් පසු  ඝාතන සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් විවේචනය කළ දෙරණ මාධ්‍යවේදියා එක්වරම රැකියාවෙන් ඉවත් කිරීම, යුද හමුදා යැවූයේ තමා විසින් යැයි කී බොදු බල හමුදා නායකගේ ප්‍රකාශය පල කිරීම සම්බන්ධයෙන් සමාව යැදීමට මව්බිම පුවත්පත් ආයතනයට බල කිරීම )

3.    මර්දන මෙහෙයුමෙහි සෑම උපාය උපක්‍රමයක්ම සාධාරණ කරනු පිණිස  උද්ඝෝෂකයින්ගේ කළහකාරී නිදසුන්  යොදා ගනිමින් ස්වකීය ජනමාධ්‍ය  මෙහෙයුමක් අනවරතයෙන් පවත්වා ගෙන යෑම. හමුදා වෙඩි පහරින් මිය ගිය පිරිස අවම කර පෙන්වනු පිණිස මරණ ගණන සැඟවීම. ( යුද හමුදාව වෙඩි තැබුවේ ජීවිත බේරා ගැනීමට බව ඇමති සිරිපාල ප්‍රකාශ කිරීම, උද්ඝෝෂකයින් බෝම්බ ගැසූ බව ප්‍රකාශ කිරීම, ප්‍රථමයෙන් එක් මරණයක් බව දැනුම් දී පසුව තව මරණ දෙකක් සිදු වූ බව ප්‍රකාශ කිරීම, ඝාතනය කරන ලද තවත් ගණනාවක සිරුරු සඟවා ගෙන සිටීම)

4.    අවසානයේ දී මර්දන මෙහෙයුමෙන්  රතුපස්වල සිංහල සිවිල් ජනයා විපතට පත් වූ බවට බවට එල්ලවූ  චෝදනා පරීක්ෂා කිරීමට එම යුද්ධය කරගෙන ගිය යුද්ධ හමුදාවටම පැවැරීම (වෙඩි තැබූ හමුදාවටම පරීක්ෂනය ද පැවැරීම)

පළමු වටයේ දී  යුද්ධ මූලොපායට  අත්පොළසන් දුන් දකුණේ සමාජය  සහ දකුණේ දේශපාලන පක්ෂ  දැන් දෙවන වටයේ දී එනම් රතුපස්වලදී සිංහලයින්ට එරෙහිව එම මූලෝපායම ක්‍රියාවට දැමූ විට  විරුද්ධ වෙති.  උද්ඝෝනය කරති.  එසේ නමුත් මෙම අවස්ථා දෙකෙහිදීම රාජපක්ෂ පාලනය ක්‍රියා කළ ඇත්තේ ඉහත පෙනෙන පරිදි එකම මොඩලයකට අනුව ය. එය නම් දේශපාලන ප්‍රශ්න වලට විසඳුම ලෙස යුද්ධය හෝ මර්දනය එක එල්ලේම ක්‍රියාවට නැගීම යි.

උතුරේ යුද්ධය කැරුනේ නීතියක් නැතිව ය. එම අවනීතිය දැන් ශ්‍රී ලංකාවේ පාලනයේ නීතිය බවට පත්ව තිබේ. පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ අත් දැකීම එය නොවේ ද ?

යුද්ධයේ විපාකයක් වශයෙන් උතුරු දෙමළ ජනයාගේ මානව හිමිකම් කෙළෙසීම (පැහැර ගැනීම්, නීතියට පිටින් කරන ලද ඝාතනයන්, සිවිල් ජනයා මතට බොම්බ දැමීම් යනාදී) සම්බන්ධයෙන් නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි කියන එක්සත් ජාතික පක්ෂය දැන් දකුණේ  රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලයි.

එල්ටීටීඊ විරෝධී යුද සමයෙහි යුද හමුදාවට පිරිත් පැන් ඉසිමින් යුද බලය ශක්තිමක් කිරීමට දේශනා කල ජනතා විමුක්ති පෙරමුණ රතුපස්වලදී එම යුද හමුදාව විසින් ම සිංහලයින් වෙඩි තබා ඝාතනය කිරීමට විරුද්ධව කොළඹ උද්ඝෝෂන සංවිධානය කරයි.

එල්ටීටීඊය පරාජය කිරීමේ රාජපක්ෂ පාලනයේ යුද්ධය අන්තර් ජාතික තලයෙහි කරගෙන ගිය හිටපු තානාපති දයාන් ජයතිලක රතුපස්වල දී රාජපක්ෂ පාලනය විසින් ම සිංහලයින් ඝාතනය කිරීම හෙළා දකිමින් ඉතිහාසයෙන් භූගෝලයෙන් උපුටාලමින් ලිපි පිට ලිපි ලිය යි. (විචාරයක් නොමැතිව අපි ඒවා සිංහලට නඟා  පළ කරමු). එවැනි යුද්ධයේ අවතේවකරුවෝ බොහෝ දෙනෙක් දැන් පපුවෙහි දෑත් ගසා ගනිමින් ලිපි ලියති. කතා දමති. යුද්ධය සහමුලින්ම සාධාරණ කරන්නා වූත් දෙමළ ජනයාගේ මානව හිමිකම් තුට්ටුවකට මායිම් නොකරන්නා වූත් එවැනි එක් ඉංග්‍රිසි පුවත්පත් කතුවරයකු  රතුපස්වල සිංහලයින් ඝාතනය කිරීම ගැන කීවේ “බලයෙන් මත් වූ රාජපක්ෂ ආන්ඩුව වල පල්ලට යන පාර කපා ගනිමින් සිටන්නේ ය‍ ” කියා ය.

මෙම පසුබිම තුළ අප අපගෙන්ම අසා ගත යුතු ප්‍රශ්ණ කිහිපයක් මෙසේ ය:

කටුනායක දී වේවා හලාවත දී වේවා වැලිකඩ හිරගෙදරදී වේවා මහජන ඉල්ලීම් වලට මනුෂ්‍ය ඝාතනයෙන් පිළිතුරු දීමේ රාජපක්ෂ මූලෝපාය යුද්ධයේ ම දිගුවක් නොවන්නේ ද?

සරත් පොන්සේකා වේවා ශිරානි බන්ඩාරනායක වේවා ගොදුරු බවට පත් වූයේ යුද්ධය විසින් සවිමත් කරන ලද රාජපක්ෂ පාලනයේ අත්තනෝමතිකත්වයට නොවේ ද ?

නූරිය වත්තේ රාජපක්ෂවාදී දේශපාලන මැර මාෆියාව මිනීමරමින් ස්ත්‍රී දූෂන කරමින් වැජඹුනේ යුද්ධය විසින් දේශපාලනඥයින්ට ලබා දුන් අතිවිශේෂ බලය නිසා නොවේ ද?

වාස් ගුණවර්ධන වේවා මර්වින් සිල්වා හෝ වේවා දුමින්ද සිල්වා හෝ වේවා අවනීතියේ සහ මැර බලයේ සංකේත බවට පත් වූයේ යුද්ධයේ පෙරමුණූ සටන්කරුවන් ලෙස පෙනී සිටීමෙන් නොවේ ද?

ජනාධිපති රාජපක්ෂ විසින්ම පිළිගෙන ඇති පරිදි කප්පම් සහ දූෂන ඔහුගේ දේශපාලන යන්ත්‍රය තුළ ඉව වහා ගොස් ඇත්තේ යුද්ධ ජයග්‍රහණය මත නැගී බලය සිය අතට ගැනීමට සෑම මැති ඇමැතියකුටම හැකි වී ඇති නිසා නොවේ ද?

රතුපස්වල සිංහලයින්ගෙන්  ගලා ගිය ලෙය මෙන්ම වන්නියේ  දෙමළුන්ගෙන් ගලා ගිය ලෙය ද රතු පාට ය. රතුපස්වල රතු ලෙයින් අප ඉගෙන ගන්නා පාඩමක් වෙත් නම් එය වන්නියේ ගලා ගිය රතු ලෙයට අදාළ නොවන්නේ මන්ද?  එමෙන්ම වන්නියේ ගලා ගිය රතු ලෙයින් ඉගෙන ගන්නා පාඩමක් වෙත් නම් එය රතුපස්වල ලෙයට අදාළ නොවිය යුත්තේ මන්ද?

18.08.2013

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: