you're reading...
Articles / ලිපි

ප්‍රචන්ඩත්වයට උල් පන්දම්: පල්ලියට ගහලා කුඩුකළේ නැත්තෙ ඇයි?

churchහාත්පස වෙළාගෙන පැතිර ගිය අඳුර දුරු කිරීමට මෙන් සඳ පායා තිබුණු රාත‍්‍රියකි. ම`ද පවනින් සිසිල් වුණු පරිසරය තුළ ගිනි පුපුරු ඇවිළවීමේ ප‍්‍රයත්නයක් දියත් වෙමින් තිබිණි.
සිදුවීම් වශයෙන් මග්ගොනදීත් හංවැල්ලේදීත් ප‍්‍රහාර එල්ල වූයේ ආගමික ස්ථාන වශයෙන් සැලකිය හැකි, කලක් තිස්සේ ආගමික කටයුතු කෙරෙන ස්ථානවලටය. බයිබලයේ වේවා කුරානයේ වේවා ත‍්‍රිපිටකයේ වේවා, පිටු ඉරා දමන්නට සූදානම් වන ආගමික අන්තවාදයක් සමාජය තුළ රෝපණය කිරීමට අවශ්‍ය වූයේ කාටද? අපගේ මේ සොයා බැලීම ඒ පැනයට පිළිතුරු සොයා යෑමක් ද විය.
‘‘මේක අපේ රට. බෞද්ධයන්ගේ රට. මේක අපේ ගම. මේ ගමේ බෞද්ධ අපිට නිදහසේ ඉන්න ඕන.’’
ඒ ප‍්‍රකාශය අන්‍යාගමික මතවාද මැදහත් සිතින් ඉවසූ බුදුන් වදාළ ධර්මය අනුව යන සිංහල බෞද්ධයකුගේය. මේ හංවැල්ල කොළන්කන්ද ගමයි. පොසොන් සඳ බැස යාමට ද පෙරාතුව සටන් කරන අකුරු කොළන්කන්ද ගම සොයා ගියේ යක්ෂයාගේ හෝරාවේ දී සිදු වූයේ කුමක්ද යන වග සෙවීමේ අරමුණෙනි.

‘‘ මේක වුණේ පොසොන් පෝය දවසේ උදේ 9.45 ට විතර. කොළොන්කන්ද ආරණ්‍ය සේනාසනේ පොඩි හාමුදුරුවෝ පරුෂ වචනවලින් බැණ වදිමින් පල්ලියට ආවා. ‘උඹට මං කිව්වා නේද යකෝ මේක කරන්න එපා කියලා’ කියාගෙන ඇවිත් මට ගැහුවා. ගැහුවට පස්සේ මම කිව්වා ‘හාමුදුරුවනේ ඔබත් පූජකවරයෙක්. මමත් පූජකවරයෙක්. අපි මේක කතා කරලා බේරගමු’ කියලා. ඒක කිව්වට පස්සෙ හාමුදුරුවෝ එතන තිබුණු පොල් හනස්සක් අරන් මට ගහන්න හැදුවා. මම පල්ලියට දිව්වා. ඒක දැකපු ගමේ කට්ටිය කෑ ගහන්න ගත්තා, ‘අන්න අපේ හාමුදුරුවන්ට ගහනවා’ කියලා. ඊට පස්සේ එතන හිටිය කට්ටිය පල්ලියට පැනලා බඩු කැඩුවා. ගමේ මිනිස්සු මට ගැහුවේ නෑ. ඒත් එයාලා මගේ දරුවෝ තුන් දෙනාට ගැහුවා. ’’

ඒ පාස්ටර් ඇන්ටන් විතානගේය. ඔහුට පහර දී දරුවන්ට පහර දී පල්ලියට අලාභහානි සිදු කළේ ඇයි? ඔවුන් පවසා ඇති පරිදි පොසොන් පොහොය යෙදී තිබුණු ඉරිදා දිනයේ දී පාස්ටර්වරයා විසින් මෙහෙයවන ලද දේව මෙහෙයේ ශබ්දය ආරණ්‍ය සේනාසනයේ වැඩකටයුතුවලට අවහිර වී ඇත. මේ හේතුවෙන් පන්සලේ පොඩි හාමුදුරුවන් ගමේ පිරිසක් ද සමඟ පැමිණ ඔහුට පහර දී දරුවන්ට පහර දී පල්ලියට අලාභහානි සිදු කොට ඇත. මේ සටහන් තබන මොහොත වන විට පූජකවරයා විසින් හංවැල්ල පොලිසියට ඉදිරිපත් කරන ලද අංක ක්‍ෂඊ 2 123/290 සහ උඡු 11 121/289 යන අංක දරන පැමිණිලි යටතේ පොලිස් පරීක්ෂණ පවත්වන අතර අප එම පල්ලියට යන විට ඔවුන්ට පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණි.

‘‘අපේ ආරණ්‍ය සේනාසනයට කිට්ටුවෙන්ම තමයි මේ මධ්‍යස්ථානය තියෙන්නෙ. බොහොම ඝෝෂාකාරී විදියට බෆල් හයි කරලා, සද්දේ දාලා තමයි ඔවුන් යාච්ඤා කරන්නෙ. ඒක සමහර දවස්වලට ආරණ්‍ය සේනාසනේ වැඩවලට බාධාවක්. මෙයා පෝය දවස්වලත් ඒක කරන්න පටන් ගත්තම මම එක පාරක් අවවාද කළා මේක කරන්න එපා කියලා. ටික දවසක් එහෙම කළේ නෑ. මේ පොසොන් පෝය දවසේ ආයෙත් එහෙම කළා. ඒක ගැන අහන්නයි මං එතනට ගියේ. ගමේ අයත් මාත් එක්ක ගියා. ඒ වෙලාවේ එයා බොහොම තර්ජනාත්මකව කතා කළා. ඒක නිසා එතන ගැටුමක් ඇති වුණා. මම එයාට ගැහුවේ නෑ. ගමේ අය එතන හිටිය නිසා කෝලාහලයක් සිද්ධ වුණා. එතන දී සමහරු පාස්ටර්ට ගහන්න ඇති. හැබැයි මම දැක්කෙ නෑ. ගොඩක් අය එතන හිටියනේ.’’ මේ එම සිදුවීමට සම්බන්ධ කොළන්කන්ද ආරණ්‍ය සේනාසනයේ දිද්දෙණියෙ විමල සංඛ හිමි පවසනා දෙයයි.

‘‘ මෙයා පාස්ටර් කෙනෙක්, ෆාදර් කෙනෙක් කිව්වට එහෙම කෙනෙක් නෙවෙයි. ගෙවල් හදාගෙන, ගෑනියෙක් අරගෙන, ළමයි හදාගෙන ඉන්න කෙනෙක්. මෙයාට ෆාදර් කෙනෙක් කියන්න බෑ. මේ සාමාන්‍ය මනුස්සයෙක්. අනික ඔතන තියෙන්නෙ පල්ලියක් නෙවෙයි, යාච්ඤා මධ්‍යස්ථානයක්.’’
විමල සංඛ හිමිට අනුව පාස්ටර් ඇන්ටන් විතානගේ පූජකවරයකුට නොගැළපෙන පුද්ගලයෙකි. එය එසේ නම් කටයුතු සිදු විය යුත්තේ ඔහු පිළිබඳ පරීක්ෂා කරන ලෙස අදාළ බලධාරීන් දැනුවත් කිරීම මිස නීතිය අතට ගෙන කටයුතු කිරීම නොවන බව කිව යුතුමයි. ‘‘මගේ උපන් ගම වත්තල, එෙ`ඞ්රමුල්ල. 1986 තමයි මෙහේ පදිංචියට ආවේ. 1989 තමයි මේ පල්ලිය පටන් ගත්තෙ. පල්ලිය ලියාපදිංචි කළේ 1994 දි. අපි රෝමානු කතෝලික නොවන කි‍්‍රස්තියානි. රටේ මුළු ජනගහනයෙන් 1.35% ක් අපි ඉන්නවා. අපේ පල්ලියේ කිතුනු දහම් පාසලක් තියෙනවා. ඒකෙ ළමයි 30ක් ඉගෙන ගන්නවා. දේව මෙහෙයට සාමාජිකයෝ 80 ක් ඉන්නවා. මට තරුණ තරුණියන්ව විවාහ කරවීමේ බලය තියෙනවා. අපිට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, සංඝ සභාවෙන් මිනී කනත්තක් දීලා තියෙනවා. අනික අපිත් සිංහල. ඒත් අපේ ආගම වෙනස්. ඒක නිසාද මේ කෙනෙහිලිකම්? අනික අපේ සද්ද වැඩි නම් ඒකට උත්තරේ ගහන එකද?’’

ඔහු විමසන්නේ සාධාරණ ප‍්‍රශ්නයකි. මේ දූපතේ අයිතිය සිංහල බෞද්ධයාට හෝ මුසල්මානුවාට හෝ දමිළයාට හෝ වෙනත් කිසිවකුට හෝ ලබා දී නැත. ඕනෑම අයකුට ඕනෑම ආගමක් ඇදහීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතිය උල්ලංඝනය කිරීමේ හැකියාව, බලය ඇත්තේ කාටද?

‘‘හංවැල්ල පොලිසියෙන් මේක සමථයකට පත් කළා. ඒත් අපි මේ පල්ලියට දැඩි ලෙස විරෝධය පළ කරනවා. මෙයා දුප්පත් බෞද්ධ ජනතාවට සල්ලි දීලා, බඩු මලු දීලා බලහත්කාරයෙන් ක‍්‍රිස්තියානි ආගමට හරවා ගන්නවා. අපි අපේ බෞද්ධයන් ආරක්ෂා කර ගන්න ඕන. මේකෙ දී බොදු බල සේනා සංවිධානය අපිත් එක්ක ක‍්‍රියාකාරීව ඉන්නවා. එදා සිද්ධිය වුණු දවසෙත් ඒ සංවිධානයෙන් පන්සලට ආවා. අද හවසත් අපිට බොදු බල සේනා සංවිධානය එක්ක සාකච්ඡුාවක් තියෙනවා. ඒක නිසා අපි දිගටම මේ සටනෙ ඉන්නවා. ’’
බෞද්ධාගමිකයන්ට බඩු මලු දී, සල්ලි දී ඔවුන්ව කතෝලික ආගමට හරවා ගැනීමේ ක‍්‍රියාදාමයක මෙම පූජකවරයා නියැළී සිටින්නේ නම් ප‍්‍රශ්නය වන්නේ ලෙව කකා හෝ ජීවත් විය හැකි ආර්ථිකයක්වත් මිනිසුන්ට ලබා දීමට මේ සමාජ ක‍්‍රමය අපොහොසත් වී ඇති බව නොවේද? එසේ නම්

බෞද්ධාගමිකයන් ආරක්ෂා කරගැනීමේ සටන විය යුත්තේ එම සමාජ ක‍්‍රමය වෙනස් කිරීමට සටන් කිරීම නොවේද? ඌරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට රජ මඟුල් බව පැවසේ. සිංහලයා, දමිළයා, හෝ මුසල්මානුවා ආගමික අන්තවාදයට තල්ලූ කිරීමෙන් ප‍්‍රධාන ප‍්‍රශ්නය යට ගසමින් පටු දේශපාලන වාසි ලබා ගන්නේ කවුරුන්ද යන වග මේ දූපතේ වැසියන් සිහි බුද්ධියෙන් සිතා බැලිය යුතු කාලය එළඹ තිබේ. ආගමික අන්තවාදී, මූලධර්මවාදී සංවිධාන මේ මොහොතේ රඟපාන භූමිකාව හරි හැටි තේරුම් ගැනීමේ හැකියාව ජනතාව සතු විය යුතුය. ‘පල්ලියට ගහලා කුඩුකළේ නැත්තෙ ඇයි?‘ සිදුවීම අවසන්වූ පසුව පිටතින් ආ අමුත්තකු ගම්වැසියන්ගෙන් අසා තිබිණි.

මෙම සිදුවීමේ දී අපට මතු වුණු ප‍්‍රධාන ගැටලූ කිහිපයකි. එකක් නම් එකම ගමක ජීවත් වන ආගමික කණ්ඩායම් දෙකකට තම ආගම ඇදහීමේ නිදහස අහිමි වී ඇත්තේද යන වගයි. මේ කියා පාන්නේ එකම රටක් එකම ධජයක් යට සැවොම ඒකරාශී විය යුතු බවට පුන පුනා පවසන දේශපාලකයන් දිය යටින් ගින්දර ගෙන යන බවද? දෙවැනි කරුණ වන්නේ වැඩි පිරිස බෞද්ධාගමිකයන් වූ පළියට අන්‍ය ආගමිකයන්ට සිය ආගම ඇදහිය නොහැකි බවට බුදුන් වහන්සේ දේශනා කොට තිබේ ද යන වගයි. අනෙක් ගැටලුව වන්නේ පල්ලියේ ගීතිකා ඝෝෂාකාරී වන විට විහාරස්ථානවල ශබ්ද ‘ශබ්ද පූජා’ වන්නේ කුමන පදනමින්ද යන වගයි.

මෙහි දී සටහන් කළ යුතු විශේෂ කරුණක් ද ඇත. එනම්, සමාජයේ පවතින ගැටුම්කාරී තත්වය පිළිබඳ කල්පනා කොට සුපරීක්ෂාකාරීව ගැටුම් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ වගකීම පල්ලියට ද පූජකවරුන්ට ද ඇති බවයි. බෞද්ධයන්ට විශේෂිත වූ පොසොන් පොහොය දිනයේ දී ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුව තිබුණි. එය එසේ වුව ද පොහොය දිනයේ දී එවන් අපහසුතාවක් ඇති වූයේ නම් උත්තරය වන්නේ ආගමික සිද්ධස්ථානවලට කඩා වැදී බලය අතට ගෙන පූජකවරුන්ට පහර දීමද යන වග ප‍්‍රතික්ෂේප කළ නොහැකි නැවත සිතා බැලිය යුතු ප‍්‍රශ්නයකි.

පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් ක‍්‍රියාකාරී වන අන්තවාදී මූලධර්මවාදී සංවිධානවල බලපෑම එලෙස සමාජගත වෙද්දී මීට ආසන්නතම තවත් සිදුවීමක් කරළියට පැමිණියේ මග්ගොන ප‍්‍රදේශයෙනි. එහි දී පල්ලියේ තිබූ සඳකඩපහණ සහ පුන්කලස්වල අයිතිය තමන් සතු බව පැවැසූ මූලධර්මවාදී පිරිස් ඒවා රැුගෙන ගොස් තිබේ.

Picture 005‘‘අපි පල්ලිය ළඟ තිබුණු පරණ සුරුවම අයින් කරලා අලූත් මණ්ඩපයක් හැදුවා. ඊට පස්සේ සඳකඩපහණ, පුන්කලස් එතනින් තිබ්බා. ඊට පස්සේ පන්සලෙන් ඇවිත් කිව්වා ඒවා සුරුවම ගාවින් අයින් කරන්න කියලා. දෙවැනි දවසේ බොදු බල සේනා සංවිධානයෙන් ඇවිත් තර්ජනය කළා, ‘ඒවා අපේ පූජනීය දේවල්. ඒවා පාගන්න දෙන්න බෑ. ඒක නිසා ඒවා අයින් කරන්න. එහෙම නැත්නම් පස් දාලා වහන්න’ කියලා. ඉතින් අපි පස් දාලා වැහුවා. ආයෙත් ඇවිල්ලා කිව්වා පස්වලින් යට කරලා හරියන්නෙ නෑ, ගලවන්න කියලා. අපි සඳකඩපහණ සුරුවම ගාවින් ගැලෙව්වා. ඊට පස්සේ බ‍්‍රහස්පතින්දා බොදු බල සේනාවෙන් ඇවිත් ඒක අරගෙන ගියා. අපි සිංහල. අපේ හැම පල්ලියකම මේවා තියෙනවා. මේ පූජනීය දේවල් අපිටත් අයිතියි.’’

මේ පූජකවරයෙකු සටන් කරන අකුරු වෙත කළ ප‍්‍රකාශයකි. මෙහි දී ද අපට මතු වන ගැටලු කිහිපයකි. බුදුන් වහන්සේ දේශනා කරන ලද ආගමික සහජීවනය මෙයද? පූජනීය භාණ්ඩ තමන් සන්තක කරගනිමින්, අන්‍ය ආගමික මත නොඉවසමින් හා අන්‍ය ආගමිකයන් තළමින්, පෙළමින් ලෝකය පුරාම පතුරවන මෛත‍්‍රිය බුදුන් වදාළ ධර්මයදැයි කිසිවකුට සාධාරණ සැකයක් මතු වීම වැළැක්විය හැකි නොවේ.

පොසොන් සඳ බැස යමින් තිබේ. සමාජය වෙළා ගත් අන්ධකාරය අවසන් කිරීමට වෙසක් සඳටවත් පොසොන් සඳටවත් පුළුවන්කමක් ලැබී නැත. සඳ වෙනස් වුවත් ක‍්‍රමය වෙනස් නොවී මේ සමාජය අඳුරින් මුදවාලීමට නොහැකි බව තේරුම් ගත යුතු කාලය නම් එළඹෙමින් තිබේ.

ආශිකා බ්‍රාහ්මණ / නිලූකා තරංගනී /ජනරළ

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: