you're reading...
Articles / ලිපි

ධර්මසිරි බන්ඩාරනායකට නදී කම්මැල්වීරගෙන්: ”නෙළුම් පොකුණ ගැන ඔබේ ස්ථාවරය වෙනස් වෙලාද?”

DAමේ දිනවල තාප්පවල ඇලවී ඇති නාට්‍ය පෝස්ටර් අතර, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘‘ධවල භීෂණ’’ ජුනි 30 වෙනිදා නෙළුම් පොකුණේ පෙන්නන බව කියන පෝස්ටරයද ඇත. ඊයේ නෙළුම් පොකුණ පසු කරගෙන යන විට එතැනත් ඒ ගැන විශාල කටවුට් එකක් දමා තිබුණි. මට දැනුණේ විශාල සාංකාවකි. ධර්මසිරි අයියා ඇයි මේක මෙතන පෙන්නන්නෙ? යි හිත හිතා මම කණගාටු වුණෙමි.
පසුගිය දාක, උදයසිරි වික‍්‍රමරත්නගේ ‘‘රඟපෑම් ඉවරයි’’ නාට්‍යය ද, නෙළුම් පොකුණේ පෙන්නුවේය. ඊට පෙර ‘‘රූකඩ රාජ්ජේ’’ නමින් වන නාට්‍යයක්ද එහි පෙන්නුවේය. මේ නාට්‍යකරුවන්ට නෙලූම් පොකුණ රුපියල් අටලක්ෂ හතලිස්දාහක් දී (http://www.lotuspond.lk/bookings.php) අරගෙන නාට්‍ය පෙන්නන්නට පුළුවන්දැයි මම අතිශයින් විස්මය පත්වීමි. නමුත් පසුව ඒ ගැන විමසා බැලූ විට මට දැනගන්නට ලැබුණේ, ඒ නාට්‍ය දර්ශන සංවිධානය කරන්නේ නෙළුම් පොකුණේ කළමණාකාරිත්වය විසින් බවයි.(ඒ පෝස්ටර් වලත්, කටවුට් වලත් ඒ බව පැහැදිලිව සඳහන් වී ඇති බව මට පෙනුණේ පසුවයි* ඔවුන් නාට්‍ය සල්ලි දී අරගෙන, නෙළුම් පොකුණේ පෙන්නනවා මිස, නාට්‍ය කරුවන් ඒ අධික මුදල ගෙවා ශාලාව වෙන්කරගන්නවා නොවේ. මේ ව්‍යාපෘතියේ හැටියට නාට්‍ය කරුවාගේ වගකීම නාට්‍ය රඟදැක්වීම පමණි. ප‍්‍රචාරණය ඇතුළු අනික් හරිය බලාගන්නේ නෙළුම් පොකුණේ කළමණාකාරිත්වයයි. ටිකට් මිල ගණන් තීරණය කරන්නේද ඔවුන්ය.

මහා තොවිලයක් නටා ඉදිකළ මහින්ද රාජපක්ෂ නමින් නම් කළ නෙළුම් පොකුණ, නාට්‍ය කරුවන්ට කිට්ටු විය හැකි හෝ කිට්ටු වෙන්නට වටින හෝ හිතෙන හෝ තැනක් නොවන බව එය විවෘත කළ දවසේ පටන්ම කියවුණි. (නෙළුම් පොකුණ විවෘත කළ ආසන්නයේම පරාක‍්‍රම නිරිඇල්ල මහතා විසින් රාවය පුවත්පත වෙත මේ ගැන බොහෝ කරුණු කාරණා සහිතව කදිම විමර්ශනාත්මක ලිපියක් ලියා තිබුණි) ඇත්තෙන්ම මේ මහා ශාලාව, වර්තමාන ආණ්ඩුවේ උද්දච්චකමත්, මහා පරිමාණ නාස්තියත්, අමනෝඥකමත්, ආඥාදායකත්වයත්, උඩින් ඔපේ යටින් හපේ තාලේ පුුහු සාටෝපයත්, යන සියලූ ලක්ෂණ ප‍්‍රකට කරන තැනකි. එය නිමවීමේදී, මේ රටේ නාට්‍ය කරුවන්ගෙන් සහ අනෙක් ක්ෂේත‍්‍රවල කලාකරුවන්ගෙන් කිසිදු අදහස් විමසීමක් කර නැති බව කියවුණි. (චීන කලාකරුවන්ගෙන් විමසුවාදැයි අප දන්නේ නැත) කැරකෙන, උඩ යට යන, එල්ලෙන උප වේදිකාවලින් සමන්විත අති දැවැන්ත වේදිකාවේ, අපේ රටේ හැදෙන ජාතියේ නාට්‍යය පෙන්වන්නට බැරි බව කාටත් පැහැදිලිය. මහා වියදමක් දරා නෙළුම් පොකුණේ පෙන්වන්නටම හැදූ ඇතුගල මහතාගේ මහා සමයම නම් ඊට ගැළපෙයි. ප්‍රෙක්ෂකාගාරයේ දෙවෙනි බැල්කනියේ ඉදිරි පේළිවල වාඩිවෙන අයට වේදිකාවේ පහළ පේන්නේ නැති බවත්, බැල්කනි බැම්ම සහ පළවෙනි අසුන් පේළිය අතර ඇති හුංඩු ඉඩ නිසා එතැන වාඩි වී ඉන්නට බැරි බවත් එහි ගිය අය කියති. පසුගියදා පැවති රත්න ශ‍්‍රී විජේසිංහගේ සමරු උත්සවයට සහභාගි වෙන්නට ගොස් මේ අපහසුතාවලට ගොදුරු වූ අයෙක් ලියූ ලිපියක්, ගෙවුණු සතියේ දිනක ලංකාදීප පුවත්පතේද පල වී තිබුණි. නෙළුම් පොකුණ විවෘත වුණේම ආණ්ඩුවට කලාකරුවන්ගෙන් හෝ විද්වතුන්ගෙන් හෝ සංස්කෘතියෙන් හෝ සත පහකට වැඩක් නැති බව නිර්ලජ්ජී සහ උද්දච්ච ලෙස පෙන්වමිනි. එයට දුන් නම මහින්ද රාජපක්ෂය. (ලොව කිසිදු දියුණු රටක, නාට්‍ය ශාලාවක්, රාජ්‍ය පාලකයන්ගේ නමින් නම් කර ඇතැයි මම නොසිතමි.) පසුව අපට සිටි ශ්‍රේෂ්ඨ විද්වතෙකු වන ආනන්ද කුමාරස්වාමි නාමය උගුලා ඒ අසල පාර නෙළුම් පොකුණ මාවත කළේය.

සියල්ලටමත් වඩා එහි කළමණාකාරිත්වය බාර වී ඇත්තේ හමුදා නිලධාරීන් වෙතටයි!

එක දර්ශනයකට රුපියල් අට ලක්ෂ හතලිස් දාහක්ද පැය හතරක පුහුණුවීමක් සඳහා හාරලක්ෂ හතලිස් අට දාහක්ද ගෙවිය යුතු නෙළුම් පොකුණට යන ලංකාවේ නාට්‍ය කරුවා කවුද? කලාකරුවන් ආණ්ඩුවෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ, කීයක් හෝ වියදම් කර ජෝන් ද සිල්වා රඟහල නවීකරණය කරදෙන ලෙසයි. නාට්‍ය කරුවන්ට සුළු මුදලක් ගෙවා පුහුණුවීම් කරගන්නට හැකි තැනක් හදාදෙන ලෙසයි. (ඇත්තටම ඕනෑනම් දැන් වුණත් නෙළුම් පොකුණේ විශාල ඉඩ පාවිච්චි කර කුඩා ශාලා දෙක තුනක් හදා මේ වෙනුවෙන් වෙන් කරන්නට බැරි නැත.)

අවසානයේ නෙළුම් පොකුණ මෙගා වැඩවලට, එනම් මහා සංගීත සංදර්ශනවලට, සහ මහා සමයංවලට සීමා විය. කලෙක රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය නෙළුම් පොකුණේ පෙන්වීමේ ව්‍යාපෘතියක් ඇරඹුණද පසුව එය ලත් තැනම ලොප් වුණු හැඩය. බොහෝ නාට්‍ය කරුවෝ, ලයනල් වෙන්ඞ්ට්, ලූම්බිණි වැනි කුඩා වේදිකාවක පෙන්වීමට හැදූ තම නාට්‍ය, නිකං ලැබුණත්, නෙළුම් පොකුණේ අති දැවැන්ත වේදිකාවේ පෙන්වන්නට අකමැති වූහ. නාට්‍යයේ ගුණය ඒ සා සුවිශාල වේදිකාවක් මත සිට ඒ ලෙසින්ම ප‍්‍රක්ෂේපණය කරන්නට අපහසු බැවිනි. කෙසේ හෝ නාට්‍ය පෙන්වන්නටයි කියා හැදූ රංග ශාලාවේ නාට්‍ය නොපෙන්වීම නෙළුම් පොකුණට හරි නැත. මහින්ද රාජපක්ෂ රඟහල, ‘‘ලාංකීය සංස්කෘතික පුනර්ජීවනයේ තෝතැන්න’’ වෙනවා වෙනුවට නිකං සෙප්පඩ විජ්ජා වැඩ සහ බරක් නැති මෙගා වැඩ ටිකක් වෙන තැනක් වෙන එක එහි නාමධාරියාටත් සවුත්තුය. දැන් මේ නෙළුම් පොකුණ රඟහලේ කළමණාකාරිත්වය මැදිහත් වී නාට්‍ය සංවිධානය කරන්නේ ඒ නිසා විය යුතුය. ‘‘ලක්ෂ අටේ ශාලාව අපි දෙන්නං, ඕගොල්ලො ඇවිත් නාට්‍ය පෙන්නන්න’’ යැයි නාට්‍ය කරුවන්ට කළමණාකාරිත්වය ආරාධනා කරයි. මෙය පාඩු පිට පාඩු ලබා හෝ නෙළුම් පොකුණේ නම රැක ගැනීමට සහ ඊට එරෙහිව නාට්‍යකරුවන් තුලින් පැන නැගි විවේචනය යටපත් කර දැමීමට ගන්නා උත්සාහයක් විය යුතුය. මේ ආරාධනය පිළිගත් ‘‘රූකඩ රාජ්ජේ’’ සහ ‘‘රඟපෑම් ඉවරයි’’ නාට්‍ය එහි රංගගත විය. නමුත් ඉහත කටවුට් එක කියන්නේ ධර්මසිරි අයියාත්, ඒ ආරාධනය පිළිගත් බවය.

ආණ්ඩුව සල්ලි වියදං කර නාට්‍යය සංවිධානය කරන එක ඉතා හොඳ දෙයක් නොවේදැයි කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකිය. ඇත්තෙන්ම එය ඉතාම හොඳ දෙයකි. අපේ වැනි දුප්පත් රටවල කලා සංස්කෘතිය නංවාලීම වෙනුවෙන් ආණ්ඩුවක් මැදිහත් වී ඒවා කළ යුතුමය. නමුත් මෙතැන ඇත්තේ නාට්‍ය කලාව වෙනුවෙන් සද් සිතින් වැඩ කිරීම නොවන බව, කලා සංස්කෘතික වටිනාකම් රැකගැනීම වෙනුවෙන් ආණ්ඩුව මේ දක්වා කළ කී කෙරුම් දෙස සිහි බුද්ධියෙන් බලන කෙනෙකුට ඕනෑවටත් වඩා පැහැදිලි වෙයි. රාජ්‍ය මැදිහත්වීමෙන් පැවැත්වෙන ප‍්‍රධානතම සංස්කෘතික උත්සවයක් වන රාජ්‍ය නාට්‍ය උළෙල, පැවැත්වෙන හිඟන සොකඩ ආකාරය අපි කවුරුත් දනිමු.(රාජ්‍ය නාට්‍ය උළෙල නෙළුම් පොකුණේ තිබ්බේ නැති එක නම් දාහෙන් සැපය. ලයනල් වෙන්ඞ්ට් වැනි රඟහලක එය පවත්වන්නට සංස්කෘතික අමාත්‍යාංශයට අරමුදල් නැත. ගණන් හදා බැලූවොත්, නාට්‍ය පෙන්වන්නට නුසුදුසු තඩාර නෙළුම් පොකුණට එක දවසකට ගෙවිය යුතු වියදමින්, නාට්‍ය පෙන්වීමට ඉතා හොඳ ශාලාවක් වන ලයනල් වෙන්ඞ්ට් රඟහලේ දවස් දොළහක් තිස්සේ නාට්‍ය පෙන්විය හැකියි.) නාට්‍ය කලාව ගැන කැක්කුමක් ඇත්නම් ආණ්ඩුවට කරන්නට ඕනෑ තරම් වැඩ තිබේ. ස්ක‍්‍රිප්ට් ලියාගෙන, රිහසර්සල් කරන තැනකට ගෙවන්නටවත්, රඟපාන යාළුවන්ට ප්ලේන්ටියක් අරන් දෙන්නවත් බැරි නිසා, අප්පිරියාවෙන් වුණත් වෙන වෙන බාල වැඩ කරමින් කීයක් හරි එකතු කරගන්නකං රස්තියාදු වෙන, නාට්‍යකාරයන්ගෙන් ඇහුවානං, කළ යුතු වැදගත්ම දේවල් මොනවාදැයි යෝජනා කරනු ඇත.

මා දන්නා තරමින්, රාජ්‍යයේ උද්දච්චකමට සංකේතාත්මකව විරෝධය පෑමක් ලෙස, ඇතැම් කොඳු සහිත කලාකරුවෝ නෙළුම් පොකුණට පය ගැසීම පවා වර්ජනය කර ඇත. මා අද වන තුරු සිතා සිටියේ ධර්මසිරි අයියාත් තවමත් ඒ පිළේ බවයි. ඔහු, මීට කලකට ඉහතදී විකල්ප වෙබ් අඩවියට ලබා දී තිබූ වීඩියෝ සම්මුඛ සාකච්ඡාවක, ඉහත කී කාරණා සියල්ලම අලළා නෙළුම් පොකුණ පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කර තිබුණේය.

අප පසුගිය කාලයේ දුටුවේ, ආණ්ඩුව කරන ඕනෑම අත්තනෝමතික වැඩකට මුලදී විරෝධය පාන පිරිස්ම ටික කලකට පසුව ඒවා සුජාත කරන්නට දායක වෙන හැටිය. ඒ විරෝධය දක්වන අයව හීලෑ කරගන්නට හෝ රවටා ගන්නට රජය පැත්තෙන් නොයෙක් සූත්තර බිහි වේ. දැන් මේ වෙමින් තිබෙන්නේත් එවැන්නක් නොවේද? නෙළුම් පොකුණට විරුද්ධව(ශාලාවට පමණක් නොවේ. නෙළුම් පොකුණ සමග ඈඳුණු ඉහත කී සියල්ලට)තිබුණු විවේචන යටපත් කර, ඒ විවේචන කළ නාට්‍ය කරුවන්ම එහි ගෙන්වාගෙන නාට්‍ය පෙන්වන්නට අවස්ථාව හැදීමෙන් මේ කෙරෙන්නේ එය නොවේද?

ධර්මසිරි බණ්ඩාරනායක යනු මගේ ලෝකයේ සිටි නිර්භය කලාකරුවෙකි. ඔහු කෙරෙහි මා තුළ ඇත්තේ විශාල ගෞරවයකි. නෙළුම් පොකුණේ කටවුට් එක දැකීමෙන් මා තුළ විස්සෝපයක් ඇති වන්නේ එබැවිනි. තම ප‍්‍රතිපත්තීන් ඉතා පහසුවෙන් පාවා දෙමින්, ලාබ ප‍්‍රයෝජන තකා තරෙඟට වන්දිභට්ටකම් කරන්නට පොරකන බොහොමයක් ‘‘හිටපු’’ කලාකරුවන් අතරේ, තවමත් නිර්භයව තම ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටින, පිදේනිවලට නොනැමෙන කලාකරුවෙක් ලෙස මගේ සිතේ සිටින ධර්මසිරි අයියා, මොකට මේ මහින්ද රාජපක්ෂ රඟහලේ ‘‘ධවල භීෂණ’’ පෙන්වන්නට කැමති වුණාදැයි මගේ සිතට වදදෙයි.(අපේ රටේ මෑත ඉතිහාසයේ එක් යුගයක, ආඥාදායකත්වයට එරෙහිව නැගී සිටිය යුතුයැයි විශ්වාස කළ පිරිසට හුස්ම පිඹි නිර්මාණයක් වූ ‘‘ධවල භීෂණ’’ අද, එහි හමුදා කළමණාකාරිත්වයේ ඇරයුමෙන් මහින්ද රාජපක්ෂ රඟහලේ රංගගත වීම උත්ප‍්‍රාසාත්මකය!) මීට පෙර එහි රඟදැක්වුණු ‘‘රඟපෑම් ඉවරයි’’ නාට්‍යයේ අධ්‍යක්ෂකගේ කලින් නාට්‍යය වන ‘‘සුද්දෙක් ඔබ අමතයි’’ රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන තරඟ වටය වෙනුවෙන් වේදිකා ගත වන විට නෙළුම් පොකුණ ගැන උපහාසයෙන් කතා කරන දෙබසක් ද ඊට ඇතුළත් වුණු හැටි මට මතකය. මීට සති දෙකකට පෙර නෙළුම් පොකුණ ඉදිරියේ ‘‘රඟපෑම් ඉවරයි’’ කටවුට් එක දුටු විට මට එය සිහියට ඇවිත්, කට කොණකට සිනාවක් නැගුණා මිස, වේදනාවක් ඇති නොවුණි. නමුත්, ධර්මසිරි අයියාගේ නාට්‍යයේ පෝස්ටර් දැකීමෙන් මා තුළ වේදනාව, තරහ, බය, කණගාටුව….ආදී හැඟීම් රැසක් ඇති විය. කොඳු කෙළින් තියාගෙන, එදා පටන් තමන් දැරූ අදහස් වෙනුවෙන් තවමත් පෙනී ඉඳීමින්, කවර හෝ තත්ත්වයක් තුළ ඒවා දිය කර නොහරිමියි අදිටන් කරගෙන සිටින කලාකරුවන් අප අතර ඉතිරි වී ඇත්තේ, අතේ ඇඟිලි ගාණටත් අඩුවෙනි. එයින් එක ඇඟිල්ලක් යැයි අප සිතා සිටි කෙනෙක්, එහා මෙහා වෙනවා දකින විට ඇඟ හිරි වැටේ.

‘‘ධවල භීෂණ’’ නාට්‍යයේ දර්ශන දිවවීම කවුරුන් හෝ නාට්‍ය සංවිධායකයෙකුට බාර දී ඇත්දැයි මම නොදනිමි. එසේ සිටිනවානම්, දර්ශන වාරයක් සඳහා ලැබෙන මේ අවස්ථාව ප‍්‍රතික්ෂේප නොකර සිටින්නට සංවිධායකයාට ඕනෑ වුණා යැයි අපට උපකල්පනය කළ හැකියි. නමුත්, නාට්‍යයේ අධ්‍යක්ෂක වශයෙන් ධර්මසිරි අයියාට තදින්ම එයට බෑ කියන්නට තිබුණා යැයි මට සිතේ.(නැති වන්නේ එක දර්ශනයකින් ලැබෙන ආදායම පමණකි.) බෑ කියා, නෙළුම් පොකුණේ කළමණාකාරිත්වයෙන් ලැබී තිබෙන ආරාධනා පිළිගන්නවාදැයි නැද්දැයි තවමත් දෙගිඩියාවෙන් සිටින අනෙක් නාට්‍ය කරුවන්ට පූර්වාදර්ශයක් සහ ශක්තියක් සැපයිය හැකිව තිබුණා යැයි මට සිතේ.

ධර්මසිරි අයියේ, නෙළුම් පොකුණ ගැන ඔබේ ස්ථාවරය වෙනස් වී ඇත්නම්, එසේ වූයේ ඇයි? ප‍්‍රගතිශීලි දේශපාලන අදහස් දැරූ, නිර්භය කලාකරුවෙකු හැටියට ඔබව ඉහළින් අගය කරන තරුණ පිරිසක් සිටිති. ඒ අයට මේ අවස්ථාවේ සිදු වෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට ඔබගේ අවංක මැදිහත්වීම අවශ්‍යයැයි මම විශ්වාස කරමි.

නදී කම්මැල්ලවීර | Nadee Kammallaweera

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: