you're reading...
stillcountingthedead

ගැණ නොනිමි මළවුන් ( 06)

icon සිවිල් වැසියන් මතට සුදු පොස්පරස් ප්‍රහාර

සෙස්සන් මෙන්ම, ලෝකීසන් සහ ඔහුගේ පවුලේ ඈයින්ද, ගමින් ගම හරහා පලා ගියේ ඒ සෑම තැනක්ම ආරක්‍ෂාව ගෙනෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. තැනකින් තැනකට ඔවුන් මාරුව ගිය සෑම වාරයකදීම, කෙතරම් කලක් එහි සිටින්නට හැකි වෙත්දැයි නොදැන වුව, ලෝකීසන්, බංකරයක් තනා, කූඩාරමක් අටවා, දිනෙන් දින ක්‍ෂය වන තමන් සන්තකය ලිහා අස් පස් කරන අතරවාරයේ සිය පුවත් වාර්තා යැවීම කරගෙන ගියේය.අනියත ලෙස ඇද හැළුණු ධාරානිපාත මෝසම් වැසි දුක්ඛිතභාවය වැඩි ක‍ළේය. මාස ගණන් ඇදහැළුණු අනෝරා වර්ෂාව, සැඩ ගංවතුර නංවා සැණෙකින් බන්කර ඇතුළත කිලිටි වතුරින් පුරවාලීය. වැව් පොකුණු පිටාරා ගොස් ගවයෝ සැඩ වතුරේ ගසාගෙන ගියහ. ගොවීන්ට සිය අල්පමාත්‍ර වත්කම්ද තවදුරටත් අහිමි විය.

වාහන අතර තදබදව දෙපයින් පලායන ජනයාගෙන්, ආරක්‍ෂාව කරා වූ මග ඇහිරී ගොස් තිබිණ. ගංවතුරින් යටව තැන් තැන්හී ඇළ මාර්ග බවට පෙරළුණු මාවත ඔස්සේ, ජල කඳ මඩ බොර පැහැයෙන් කළතවා පැරණි ට්‍රැක්ටර් ඝෝෂා නංවමින් ගෑටුවේය. බැලූ බැල්මට ට්‍රක් රථ දිස් වූයේ ජීවන අවශ්‍යතාවලට වඩා කාට හෝ අයත් සුන් බුන් පටවාගෙන යන්නාක් මෙනි. ගලවාගත් පියසි තලාඳ ද, තැලී පොඩි වූ ටකරං තහඩු ද ඒවායේ පටවා තිබූ අතර ඉන් බොහෝමයක් පසුපස ‍ මළ කෑ ඩීසල් බුලියක් හා පා පැදියක් රඳවා තිබුණි. නගුල් ඇදීමට වඩා හුරු පුරුදුව සිටි දුඹුරුවන් ගොන්නු, ගම්බද පැල්පත් පියසිවලින් ගළවා ගත් පොල් අතු පැළලි ඇතුළු සිය හිමිකරුවන්ට අයත් අවසාන ලෞකික කළමණා පිර වූ කරත්ත ඇදගෙන ගියෝය. ජනවාරියේදී දිනතාම පාහේ නිර්දය ප්‍රහාරයන්ට ඒ මාර්ගය, ගොදුරු විය. ඇද වැටෙන ෂෙල් වෙඩි, ගහකොළ කීතු කරමින්, වාහන ගිනිබත් කොට, ඉවක් බවක් නොමැතිව මිනිස් හා ගව මහීෂාදීන්ගේ ශරීරාංග සී සී කඩ විසුරුවාලීය.

ජනවාරියේ එවන් එක් ප්‍රහාරයකින් පසු, මාපියන් අහිමිව චිත්තාවේගීව මොරදෙන දරු සිඟිත්තන්ගේ විලාප හඬින් කම්පිතව අත්හැර දමන්නට තීරණය කරන තෙක් මෘත දේහ 300ක් ලෝකීසන් විසින් ගණින ලදී. පලා යන්නට තැත් දැරද්දී බොහෝ ජනයා ඔවුන් ගමන් ගත් වාහන තුළම මරණයට පත් වූ මුත් ඔහු ඒවා ගණන් නොකළේය. සිදුවීම සේයා රූ සහ වීඩියෝගත කළ ඔහු කිලෝ මීටර් කිහිපයකින් පසු කඳුළු වගුරා වැළපිණ.
ලේ ගලන මළ බිළිඳෙකුගේ සිරුර ළයට තුරුළු කොටගෙන වැළපෙන මවකගේ රුව හෝ පා පැදි පිටුපසින් කඳු ගැසූ සිය සන්තකය මුදුනට තබා ගැට ගැසූ ලේ වෑහෙන මෘත දේහයන් වැනි ඔහුගේ මතකයෙහි ගබඩා වූ පිළිබිඹු, දුස්ස්වප්නාකාරී ඒවා වේ. සිය මළවුන් අතරමග හැර දමා යන්නට පවුල් පැකිළුණු නමුත් දැවැන්ත බෝම්බ ප්‍රහාර මධ්‍යයේ නැවතී හිඳ සිරුරු වළ දමා යන්නටද ඔවුනට නොහැකි විය. සිය ප්‍රියයන් වෙනුවෙන් සළකුණු නොකළ මිනීවලක් කඩිමුඩියේ කැණ දෙන්නට තරම් සන්සුන් ඉසිඹුවක් ලැබෙන තෙක් සිය පණසුන් පෙම්බරයින් රැගෙන යන්නට කවර හෝ ආකාරයක් ඔවුහු සොයා ගත්හ.

තමන්ට ළමා ළපටින් නොමැති වීම ලෝකීසන්ගේ අස්වැසිල්ලට හේතු විය. “දරුවන් හාමතින් විඳවනවා බලන්නට බලකෙරුණු දෙමව්පියන් මම දැක්කා. ඒක කිසිම මනුෂ්‍යයෙකුට දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.” දවසේ සිව් විසි පැයම දරුවන් බන්කර් තුළ සිරකොට තබාගැනීම මව්පියන්ට කළ හැක්කක් නොවීය. සිය මව ඉවත බලාගත් සැණින් ගැළ වී පලායන්නට ඔවුහු තැත් දරති. “දරුවෙක් එළමහනේ දුව ඇවිදින කොට බෝම්බයක් වැටුණහම තමන්ගේ දරුවා ආරක්‍ෂා කරගන්න ඒ දිහාවට දුවන අම්මාවත් ඒකටම ගොදුරු වෙනවා. එහේ වැඩියෙන්ම මැරුණේ අම්මලායි, දරුවෝයි.’ ජීවත්වන අනෙකාට වියෝ සංතාපයන් අත්කොට දී අයෙක් මරණයට පත්වන්නට තිබූ සැබෑ භව්‍යතාව හේතුවෙන් මිනිත්තු කිහිපයකට හෝ සිය ප්‍රියයන්ගෙන් වෙන්ව සිටින්නට ජනයා බිය වූහ. ඒ වියෝ දුක් වනාහී ඒ වනවිටත් ඔවුනට ඉවසා සිටින්නට සිදු වූ භීතියේත්, කම්පනයේත්, කායික දුෂ්කරතාවන්ගේත්, හාමත හා නිදන්ගත විඩාවේත් බලවත් සම්මිශ්‍රණයට අමතර වශයෙනි.‍

මාධ්‍යකරුවෙකු වශයෙන් සිය කාර්යය ඉටු කරනු වස් ලෝකීසන් පිටව ගියේ සිය මව්පියන් හා පෙම්වතිය ඔවුන්ගේ බන්කරයේ හැර දමා ය. තමන්ට අනතුරක් සිදු වුවහොත් තමන්ගේ මව්පියන් රැක බලාගන්නැයි හෙතෙම එවකදී පස් විසි වියෙහි පසු වූ තම පෙම්වතියට කීවේය. ඒ යන එන ගමන් අතරවාරයේ දී අතහැර දමනු ලැබූ හුදකලා වයෝවෘද්ධ මිනිසුන් නිතර ඔහුගේ ඇස ගැටුණු අතර ඒ ඉරණම තම මව හා පියාගේ දිවිමග ද රැක සිටිතැයි යන සිතිවිල්ල ඔහු තුළ හොල්මන් කළේය. ඔහු යළිත් පණ පිටින් එත්දැයි නොදත් ඔවුහු, සිය දෛනික බත් කැඳ වේල බොන්නට ඔහු පෙරළා එන තෙක් නිරාහාරව බලා සිටියහ‍. “කිසිම දවසක, ‘ඕක කරන්න එපා’යි කියලා ඒ අය කිව්වේ නැහැ. නමුත් ඒ අය හැම වෙලාවේම කාංසාවෙන් හිටිය නිසා ඒ අයට මම නැතුව කන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම ආපහු එනකම් ඒ අය හරියටම බලා ගත් අඩියේම ඉන්නවා වගෙයි උන්නේ”යි ඔහු පහදයි.

පෙරළා තමන්ගේ කූඩාරමට ආ සැණින් ලෝකීසන් කළ පළමු කාර්යය වූයේ තමන් සතු සූර්ය බල ජව ඇහුරුම ආධාරයෙන් සිය කැමරාව හා දුරකථනය පුනරාරෝපණය කිරීමයි. එය වනාහී, එළඹෙන දවසේදීද, පිටතට ගොස් ඔහු සිය වාර්තාකරණ කාර්යයෙහි යෙදෙන්නට අදහස් කරන බැව් ඔහුගේ මව්පියන්ට හැඟ වූ සංඥාවක් විය. ඔහු කරන්නේ කුමක්දැයි හෝ ඔහු මුහුණ දෙන අවදානම් ගැන හෝ ඔවුහු කිසි දිනක කතිකා නොකළහ.

ඔහු නූලෙන් ගැළවුණු අවස්ථා ගිණිය නොහැකි තරම් විය. ජනවාරිය අගභාගයේදී, ජීවිත හානි හා තුවාල ලද්දවුන් ප්‍රමාණය දැනගනු වස් හෙතෙම උඩෛයාර්කාඩ්ඩු රෝහලට යමින් සිටියේය. සිය යතුරු පැදිය නවතන්නේ කොහේදැයි නිශ්චය කරගනු නොහී ඔහු මුලින් එක් තැනක් තෝරා පසුව අන් තැනක එය නවතාලීය. මිනිත්තු කිහිපයක් ඇතුළත දී, ඔහු යතුරු පැදිය මුලින් ගාල් කරන්නට කල්පනා කළ ප්‍රධාන මාර්ගයත්, රෝහල් පරිශ්‍රයත්, ඒ අවටත් ඉලක්ක කොට ෂෙල් වෙඩි විස්සකට වඩා ඇද වැටිණ. තවත් දිනෙක, බෝම්බ ප්‍රහාරයන්ගෙන් ගැළ වී පලා යන මිනිසුන් සේයාරුවට නගමින් සිටි ඔහු දිගා වූ තැනට මීටර් තිහක් නුදුරින් ෂෙල් උණ්ඩයක් පතිත විය. තවත් අවස්ථාවකදී, ඔහු සිටියේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ කෝවිලකින් මීටර් 100ක් තරම් දුරිනි. ඔහු සකස්කරමින් සිටි තුවාල කරුවන් හා ජීවිත හානි පිළිබඳ ලැයිස්තුවටම ඔහුගේ නමද ඇතුල්වන්නට ඕනෑ තරම් ඉඩ තිබිණ.

අනතුරුදායක වූයේ ප්‍රදේශය තුළ සැරිසැරීම පමණක් නොවේ. චන්ද්‍රිකා දුරකථනයෙන් කතා කිරීමද අවදානමක් විය. ශ්‍රී ලංකා හමුදාවන්, තම ස්ථානගත වීම් දුරකථන පණිවුඩ ඔස්සේ නිශ්චය කරගන්නා බවට ලෝකීසන් සැක කිරීමට පටන් ගත්තේය‍. සෑම දුරකථන සංවාදයකින්ම පසු ඔහු හුන් තැනින් වහ වහා පිටව ගියේ සංවාදය අහවර කර මිනිත්තු කිහිපයක් ඇතුළත ප්‍රහාර එල්ල වෙතැයි බියෙනි. තමන්ගේ හඬ ආණ්ඩුවේ පාර්ශ්වයට නිහඬ කරන්නට‍ ඇවැසි එකක් යැයි ඔහුට හැඟිණ.

සිවිල් වැසියන්ට එරෙහිව ජනවාරියේදී නීති විරෝධී සුදු පොස්පරස් භාවිතා කළ බවට මුල්වරට ලෝකීසන්ට ඒත්තු ගියේ, සාමාන්‍යයෙන් උණ්ඩ කැබැලිති ඇතුල් වූ හෝ පිටවූ සළකුණකුදු නැති මළ සිරුරු විසි තුනක් ඇස ගැටුණු විට ය. සටනේදී, යුදමය චලනයන් සඟවා ආවරණය කරන ඝණ සුදු පැහැ දුමාරයක් නිර්මාණය කරනු වස් සුදු පොස්පරස් භාවිතා කෙරේ. එය සමට ඇලී, අම්ලකර වායුව ක්‍ෂය කිරීම හෝ මුළුමණින්ම අහිමි කිරීම සිදුකර ඇතුළු සම දක්වාම වූ පිළිස්සුම් ඇති කරයි. “හැමදේම පිළිස්සිලායි තිබුණේ. ශරීර පුරාම කහ මිශ්‍ර සුදු පාට මේද ස්ථරයක් පැතිරිලා තිබුණා. ඒකෙන්, මතුපිට හම පුපුරලා හම යටින් ඇති මේද ස්ථරය උණු කරවලායි තිබුණේ.” ඇතැම්හු මාර්ගය අසබඩ විවිධ ඉරියව්වලින් නින්දේ හුන්වනම කිසිත් නොදැනම මරුමුවට පත්ව තිබුණු අතර සමහරක් දෙනා මුවාවක් සොයාගෙන එහි සැඟව හිද්දී මරුමුවට පත්වූහ. “ඝාතනය වෙන්න ඕනෑ තරම් මාර්ග තිබුණා”යි දැන් මරණයන් පිරික්සුමෙහි නිපුණයෙක් වන ලෝකීසන් කියයි.

නමුත් ලෝකීසන් වඩාත් කණස්සල්ලට පත් වන්නේ ඔහුට මඟහැරුණු පුවත් වාර්තා පිළිබඳව ය. ඔහු කිසි කලෙක නොගිය තැන් එමට තිබුණු අතර තමන් දුටු දෙයට වඩා ඔහු ඒ පිළිබඳ තැවෙයි. “අපි තවමත් නොදන්න බොහෝම දේවල් තියෙනවා.‍ එතැන කිසිම සාක්‍ෂිකරුවෙක් හිටියේ නැහැ. අපි නොදැන බොහෝමයක් දෙනා ඝාතනය වුණා.” ඔහු විශ්වාස කරන පරිදි ජනවාරියේ අග භාගයේදී, මුළුමහත් ජනගහණයම පලා ගිය මාර්ගයේ අතරමග පිහිටි කුඩා නගරයක් වූ විසුවමඩු හී කැරැළිකරුවන්ගේ සුසාන භූමියට දස දහස් සංඛ්‍යාත ජනයා තදබදව රොක් වූහ. ප්‍රදේශය වැටලූ ශ්‍රී ලංකා යුද හමුදාවෝ, කොටින්ගෙන් සිවිල් ජනයා වෙන් කිරීමට තැත් දරමින්, ඔවුන් පලා යනු වළකනු වස් මාර්ගය මත ෂෙල් වෙඩි වැස්සවූහ. “දිගටම බෝම්බ හෙළපු නිසා අපිට එතැනට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ දවස් තුන මවා ගන්නවත් බැහැ. ඒ ප්‍රධාන පාරේ විශාල පිරිසක් මැරුණා. නමුත් කී දෙනෙක්ද කියන එක ගැන අපිට කිසිම අදහසක් නැහැ.”

මහා මාර්ගය මර උගුලක් වූ තැන, දස දහස් සංඛ්‍යාත අනෙක් ජනයා හා එක්ව ලෝකීසන් හා ඔහුගේ පවුලේ පිරිස් වන රොද හරහා පලා ගියෝය. ඒ වනවිටත් ධාරානිපාත වැසි ඇද වැටෙමින් තිබිණ. ගැළවුම පිණිස ඇවැසි දෑ රැගෙන යන්නට සෑම අයෙක්ම පරිශ්‍රම දැරූහ. සහල් භාජනයක්ද, ඉවුම් පිහුම් පිණිස ඇතිලියක්ද, ඇඳුම් මල්ලක්ද පමණක් රැගත් ලෝකීසන් මඩ වගුරු ඔස්සේ සිය යතුරු පැදිය තල්ලු කරගෙන ගියේය. යාන්තම් කිලෝ මීටර් හයක් ගෙවාලන්නට ඔවුනට සත් දිනක් ගත විය. ෂෙල් වෙඩි ඇද වැටෙමින් තිබුණු අතර, යුහුව ගමන් කිරීම කිසිසේත් කළ නොහැක්කක් බවට පත්කරමින් සංකටාකූලව තදබද වූ මිනිස් සමූහයා සමුදුර බලා ඇදුණාහ. මිනිසුන්ගේත් බඩු බාහිරාදිය පැටවූ වාහනවලත් බරින් සැඩ ගංවතුරින් යට වූ මාවත් කඩා වැටිණ. තාවකාලික රෝහලකට ළඟා වීමේ අපේක්‍ෂාවක් තුවාල ලද්දන්ට නොතිබුණි. ඔවුහු කටුක වේදනා විඳ මිය ගියහ.

“ඒ අය තමන්ගේ ජීවිත බේරලා දෙන්න කියලා කෑ ගහමින්, වේදනා විඳිමින්, ඔබේ ඇස් ඉදිරිපිටම උදව් ඉල්ලනවා. මළ මිනී අතර නිදාගන්න එක අමුතු දෙයක් නෙවෙයි. ජනවාරියෙන් පස්සේ අපි ජීවත්වුණ ලෝකය ඒ වගේ”යි ඔහු කියයි. ‘ඉදුණු අඹ ගස්වලින් වැටෙනවා වගේ අහසින් වැටෙන බෝම්බ. ෂෙල් වෙඩිවල සද්දෙට මම ඇහැරෙනවා.” සිය දරුවන් පණ පිටින් සොයා ගැනීමේ සංකාකූල ආවේගයන් මඩනා ලද මව්වරුන් ඔවුන්ගේ නම් කියා හඬ ගසමින් දරුවන් සොයනු ලෝකීසන් ඡායාරූපයට නැගීය. බොහෝ මෘත දේහයන්ට නරක අන්දමින් හානි සිදු වූ හෙයින් ඒවා කිසිසේත්ම හඳුනාගැනීමට නුපුළුවන් විය.

අවසානයේ ඔවුන් සමුදුර කරා ළඟා වූ විට, සෙනඟින් පිරී අතිශයින් තදබද වූ වාලුකා වෙරළත කිසිදු ඉඩක් හෝ පෞද්ගලිකත්වයක් නොවුණි. ෂෙල් උන්ඩයක් පතිත වුවහොත් බොහෝ දෙනා එකවර මිය යාම ඒකාන්ත විය.

මේ අධියර වන විට කොටින්ට කළ හැකි එකම දෙය වූයේ, සිය කුඩා බීම් තීරුව ආරක්‍ෂා කරගනිමින්, ශ්‍රී ලංකා හමුදාවන් හඹා ඒම වළකන්නට තැත් දැරීම පමණි. ඔවුන් යටතේ වූ සියළු ප්‍රධාන නගර ඔවුන්ට අහිමිව තිබූ අතර, හමුදාවන් වෙතට පලා යන්නට තැත් කළවුන්ට වෙඩි තබමින් සිවිල් ජනගහණය තව දුරටත් තම අඩස්සියෙහි තබා ගෙන සිටි ආකාරය මානව හිමිකම් සංවිධාන විසින් ප්‍රලේඛගත කරන ලදී. තමන්ට අසන්න පරාජය සහමුලින්ම ප්‍රතික්‍ෂේප කළ කැරැළිකරුවෝ සිය වෙනම රාජ්‍යයක් පිළිබඳ සිහිනය වෙනුවෙන් මිය යන්නට තවත් තුරුණු දෙමළ ජනයා ඩැහැ ගත්හ.

සතියෙන් සතියෙන් ගෙවී යත්ම, ජාත්‍යන්තර ප්‍රජාව ගැටුමට මැදිහත්වනු ඇතැයි යුද කලාපය තුළ මෙන්ම පිටත සිටි දෙමළ ජනයා අපේක්‍ෂා කළහ. ලෝකීසන්ද එය එකම විසඳුම වශයෙන් දුටු නමුත්, එය හිතළු සිහිනයක් බවට අවසානයේදී පසක් කෙරිණ.

ක්‍රියාත්මකව පැවැති තාවකාලික රෝහල් දෙකින් එකකට යාබදව, වෙරළෙහි මතු වූ ගොරහැඩි අපිළිවෙල ජනවාසය මැද ඔහු සිය කූඩාරම අටවා ගත්තේය. ශ්‍රී ලංකා හමුදාවන්ට හොඳින් දර්ශනය වන විවෘත බිමක පිහිටි, කලෙක වූ පාසැල් ගොඩනැගිල්ලෙහි වෛද්‍යවරු සිය වැඩ කටයුතු කරගෙන ගියහ. යාන්තම් මීටර් 250ක් ඔබ්බෙන් ඉදිරි ආරක්‍ෂක පෙරමුණ බවට පෙරළුණු දිගු කළපුවේ අනෙක් ඉවුරෙහි වූ වන ලැහැබ තුළ හමුදා ස්නයිපර් වෙඩික්කරුවෝ වෙස් සඟවා රැක සිටියෝය. යන එන මිනිසුන් පියවි ඇසින් දකින්නට හමුදා සෙබළුන්ට හැකිව තිබූ අතර ඉහළ අහසේ සිට ඡායාරූප ගන්නා ඔත්තු බලන ඩ්‍රෝන් යානාවන්ද ඔවුන් විසින් යොදවා තිබිණ. දවස මුළුල්ලේ රෝහල වෙත වෙඩි ප්‍රහාර එල්ල වූ අතර, සාමාන්‍යය වශයෙන් සතියකට තුන් වරක්වත් රෝහල් අංගණය තුළට හෝ අවටට ෂෙල් උණ්ඩ පතිත වූ බව ලෝකීසන් කියයි. ආර්.පී.ජී. ප්‍රහාරද එල්ල වූ බවත්, ඒවා රෝහල් ගබඩාවන්ටද, වාට්ටු සහ යාබද කූඩාරම්වලට වැදුණු බවත් ඔහු කියයි.

රෝහල අවට ප්‍රදේශයෙහි මළ කුණු දුර්ඝන්ධය පැතිර පැවතුණි. “ඒක මස් කඩයක් වගෙයි. ඉස්පිරිතාලයට ඇතුල්වෙන තැනම තියෙන ගහ යට හිටිය තුවාල වුණු අයගෙන් සමහරක් දෙනා මරුමුවට පත්වෙන්න නියමිතවයි හිටියේ.” වෙරළත රන්වන් පුලින තලාවෙහි එළාගත් නිල් පැහැ ප්ලාස්ටික් ඇතිරිලි සහ කඩමාලු මත වැතිරුණු, පවුලේ ඉතිරිවූවන් විසින් රැකබලාගනු ලැබූ ආබාධිත හා අධි මුර්ජිත මිනිස් ප්‍රාණින්ගෙන් රෝහල් පරිශ්‍රය තදබදව තිබිණ.

වෛද්‍ය සේවකයින් බේරාගන්නට සමත් වූයේ රෝහලට පැමිණෙන මුළු රෝගීන් ප්‍රමාණයෙන් අඩක් පමණි. සෙස්සෝ ප්‍රතිකාර කරන්නට පෙරාතුවම ජීවිතක්‍ෂයට පත් වූහ. හිසෙහි තුවාලයක් සහිත වියපත් කාන්තාවක් තමන් ඇස් ඉදිරිපිට මිය යනු බලා සිටිනු ලෝකීසන්ට මතක ය. “එයාට වෙළුම් පටිවත් නැතිව දුක් වින්දත්, කෑ ගැහුවට වේදනාව නිසා කිසිම දෙයක් සන්නිවේදනය කරන්න පුළුවන් වුණේ නැහැ. එයා මගේ අස් ඉදිරිපිට වෙව්ලලා පණ යනවා මම දැක්කා”යි පවසන ඔහු අනතුරුව අවිශේෂී සාමාන්‍ය හඬකින් “බොහෝ දෙනා මැරෙනවා මම බලා හිටියා”යි ඊටම එක් කරයි.

ඖෂධ හෝ තුවාල වෙළුම් පටි පමණක් නොව, අංගච්ඡේදනය පිණිස ඇවැසි සැත් පිහි පවා එහි නොවීය. නිර්වින්දක ඔසු නොමැතිව මස් කපන්නන්ගේ පිහිවලින් දරුවන්ගේ අංගච්ඡේදනය කරන්නට වෛද්‍යවරුන් පටන්ගත්තේ මෙහිදී ය. හිසෙහි, උදරයෙහි හෝ උරස්තලයෙහි තුවාල සහිතවුන් බොහෝ විට රෝහලට ඇතුල් කොට නොගත්තේ ඔවුන් වෙනුවෙන් කළ හැකි දේ අල්පමාත්‍රික වූ නිසා ය. තුවාල ලැබූවන්ගෙන් රෝහලට පැමිණ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාලේඛනගත කිරීම්වලට ඇතුල් වූයේ තුවාල ලද්ලවුන්ගෙන් තුනෙන් පංගුවක් පමණකැයි ලෝකීසන් ඇස්තමේන්තු කරයි. යුද්ධය තීව්‍ර වත්ම මරණ අනුපාතය විස්මිත ලෙස උත්සන්න වූ බව ඔහු නිරීක්‍ෂණය කළේය: “අපි මුහුදු වෙරළට පලා යන්න කලින් සාමාන්‍යයෙන් මැරුණු ප්‍රමාණයට වඩා තුවාල ලැබූ ප්‍රමාණය වැඩියි. දහ දෙනෙක් මැරුණා නම්, විසි පස් දෙනෙක් තුවාල ලැබුවා. නමුත් ඒකට හේතුව, ඒ වෙනකොටත් මිනිස්සු සාපේක්‍ෂව සෞඛ්‍යමත් හා නිරෝගීව හිටි නිසා ප්‍රතිකාරවලට ප්‍රතිචාර දක්වන්න ඒ අයට පුළුවන්කමක් තිබීමයි. අවසාන සතිවල මං දැක්කේ, තුවාල ලබන සහ මැරෙන මිනිස්සුන්ගේ අනුපාතය බොහෝ දුරට එක සමාන බවයි.”

– මතු සම්බන්ධයි –

2000 සිට 2004 දක්වා කාලය තුළ BBC ආයතනයේ ශ්‍රී ලංකා වාර්තාකාරිය වශයෙන් කටයුතු කළ ෆ්‍රාන්සස් හැරිසන් විසින් ලියන ලද Still Counting the Dead: Survivors of Sri Lanka’s Civil War පළමු මුද්‍රණය 2012 ඔක්තෝබරයේදී එළි දුටුවේය. මෙහි පළවන්නේ එහි පළමු අවසරලත් සිංහල පරිවර්ථනයයි.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: