you're reading...
Articles / ලිපි

අනේ පුංචි වාස්‌… මෙහෙම වුණේ ඇයි?

2142Ravindu_Gunawardena_with_Varity_of_Guns_2Jඇතැම් ඇමැතිවරුන්ගේ පුත්තු පමණක්‌ නොව ප්‍රාදේශීය දේශපාලනඥයන් හා ආණ්‌ඩුවේ ඉහළම නිල බල ඇත්තන්ද පිස්‌සු විගඩම් කරන යුගයක අපි ජීවත් වෙමු. විද්යුත් මාධ්‍යවලට මෙන්ම මුද්‍රිත මාධ්‍යවලටද පුවත් වැසි වසිමින් තිබේ. එහෙත් ඒවා අප ජීවත් වන යුගයේ නරුම විලාසයද දේශපාලන නග්නත්වයද සමාජ කඩාවැටීමද පිළිබඳ සාක්‍ෂි බවට පත්වෙමින් තිබේ. නිලය බලය ජනතාව පෙළන, සමහර විට මිනීමරු ආයුධ බවටද පත්ව තිබේ. ඒවා චෝදනා පමණක්‌ යෑයි කියා අපි සැනසෙමුද? මේ අතර නිල බලය අතට ගත් බිරින්දැවරුද පෙරහැරට එක්‌ව සිටිති.

ඇතැම් නායකකාරකාදීන්ට කරදඬු උස්‌ මහත් වූ පුත්‍රයන් සිටින බවට පළමු වරට මෙරට ජනතාවට දැනගන්නට ලැබෙන්නේ ඔවුන්ගේ අමන දඩබ්බරකම් සමගය. ඒ අමන දඩබ්බරකමම දේශපාලන පොරපිටියට පිවිසීමේ මාර්ගයක්‌ වන්නේය. එක්‌ සතියකට එක්‌ පුතකුගේ අමනකමක්‌ හෝ දඩබ්බරකමක්‌ කරලියට එන්නේය.

තමන් පැමිණි ගුවන් යානයේ දොරක්‌ විවෘත කිරීමට ගිය ඇමැති පුතකු පිළිබඳව පසුගිය සතියේ දැඩි ලෙස කතාබහට ලක්‌ වූයේය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කරන බවද බොහෝ පිරිසක්‌ දැනගත්තේ ඔහුගේ එම සිද්ධියත් සමගය.

තවත් ඇමැති පුතුන් දෙදෙනකු හෝටල් රථගාලකදී රණවිරුවකුට කළ පහරදීම උසාවිය දක්‌වා ගොස්‌ සිද්ධිය අතුරුදන් වූයේය. තවත් පුතෙක්‌ තරග බිමේදී තරග විනිසුරුවරයකුට පහරදීම ගැන කිසිම හා හූවක්‌ ඇති වූයේ නැත.

මේ පුතුන්ගේ ක්‍රියා කලාපයන් හා පහරදීම් හුරතල් ක්‍රියාකාරකම් ලෙස විනා බරපතළ ලෙස ගණන් ගත යුතු දෙයක්‌ නොවන බවද සමහරුන් කල්පනා කරනු විය හැකිය. කොහොමටත් මේ පුතුන් රජ කරන්නේ තාත්තලාගේ රැස්‌ වළල්ල ඇතුළේ බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ වන විට කරලියට පැමිණ ඇත්තේ බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන සැකකරුගේ පුත්‍රයා වන රවිඳු වාස්‌ ගුණවර්ධන හෙවත් කුඩා වාස්‌ය. වාස්‌ ගුණවර්ධන පවුලම කාලයෙන් කාලයට මෙරට පුවත් මවන පවුලක්‌ වන්නේය. හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ බිරිඳ ශ්‍යාමලී පෙරේරා නමැත්තියද ඒ අතර ප්‍රධාන චරිතයක්‌ වන්නීය. හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට සිය සේවා කාලය තුළදී නීත්‍යනුකූලව හිමිව තිබූ නිල බලයටත් එහා ගිය බලයක්‌ ඔහුගේ බිරිඳ හා පුත්‍රයා පාවිච්චි කර ඇති බවට චෝදනා නැගෙයි.

බොහෝ බිරින්දැවරුන් හා දූ දරුවන් ඔවුන්ගේ සැමියාගේ හෝ පියාගේ දේපළවලට ඇති උරුමය සේම එම නිල උරුමයද භාවිත කිරීම නිසා සිදුවී තිබෙන අවුල් බොහෝය. දේශපාලනයේදී මෙම උරුමය සොයා යැම එතරම් දුරට සැලකිය නොහැකි එකක්‌ ලෙස ගත්තද වෙනත් පරිපාලන කටයුතුවලදී මෙහි භයානකත්වය දැඩිව දැනේ.

වාස්‌ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා හා පුත් රවිඳු වාස්‌ ගුණවර්ධන මුලින්ම කරලියට එන්නේ 2011 ජනවාරි 22 දා සිදුකරනු ලැබූ සිද්ධියක්‌ සමගය. වාස්‌ ගුණවර්ධන එසමයේදී පොලිස්‌ අධිකාරිවරයෙකි. කොළඹ අපරාධ කොට්‌ඨාසය භාර අධ්‍යක්‍ෂවරයා ලෙස සේවය කළේය. ඒ කාලයේ ඔහුගේ නිල කබායට මුවා වී ඔහුගේ බිරිඳ හා පුතු කළ බව කියන දේවල් දැන් ප්‍රසිද්ධියට පත්වෙමින් තිබේ. සමහර ඒවා උසාවි ගොස්‌ ආපසු නිහඬතාවයේ ගිලී තිබෙන ඒවාය.

එකල මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ ඉගෙනුම ලබමින් සිටි වාස්‌ ගුණවර්ධනගේ පුත් රවිඳු කුඩා අවධියේ සිට පියාගේ උරහිස්‌ මත රැඳි තරුවලින් නිකුත් වූ කිරණින් උද්දීපනය වූ අයෙක්‌ ලෙස කළ කී දේ බොහෝය. තමන් සමග එම ආයතනයේම ඉගෙනුම ලබන සහෝදර සිසුවකු වූ නිපුන රාමනායක අතර ඇති වූ කතාබහකට ඔහුව සිය නිවෙස වෙත ගෙන ගොස්‌ පහරදීමට තරම් කුඩා වාස්‌ පුතු පියාගේ තරු පටිවලින් දිස්‌න ලබන බවට ප්‍රබල චෝදනා නැගුණි.

සිය පියා යටතේ සේවය කරන පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ සමග එකතු වී සහෝදර සිසුවා නිවස වෙත රැගෙන ගිය කුඩා වාස්‌ සිය මවගේද නොමසුරු සහාය මත ඔහුව මෙලොවින් තුරන් කිරීමට දැරූ වෑයම නවතිනුයේ එම මව්පියන්ගේ සමාජ බලය හේතුවෙන් බවද කියති.

මෙම සිද්ධියට අදාළව ඇතිවූ සමාජ කැළඹීම හේතුවෙන්ම වාස්‌ ගුණවර්ධනගේ බිරිඳ, පුතා ඇතුළුÊසැකකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබිණි. වසර දෙකකටත් අධික කාලයක්‌ වන මෙම සිද්ධියට පොලිසිය මේ වන තෙක්‌ පැමිණිල්ලක්‌ ගොනුකර නොමැති අතර පසුගිය 11 දා සැකකාර රවිඳු වාස්‌ ගුණවර්ධනව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට සිද්ධිය කැඳවනු ලබන කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබිණි.

සිය බිරිඳ හා පුතු ගෝලබාල නිලධාරීන් සමග රාමනායක සිසුවාට නිවසේ දමාගෙන පහර දෙන විට වාස්‌ ගුණවර්ධන සිටියේ ආරක්‍ෂක අමාත්‍යාංශයේම කිසියම් රැස්‌වීමක බවද නිලබලය තුළින් මෙම පහරදීම සාධාරණීකරණයට ලක්‌ කරන්නට ඔහු උත්සාහ කර තිබේද යන්න ගැන විමර්ශන පවත්වන බවද අධිකරණය හමුවේ කියෑවිණි.

මේ අතර තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් වාස්‌ ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ගෙන් රුපියල් කෝටි 10 ක මුදලක්‌ වන්දි ලෙස ඉල්ලා නිපුන රාමනායක සිසුවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කර ඇති අතර එම පෙත්සම් විභාගය ලබන ජනවාරි 22 දා කැඳවීමටද නියමිතය. එමෙන්ම තමන්ට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට වාස්‌ ගුණවර්ධන හවුල් වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු කර නඩුවක්‌ පවරණ ලෙසට නීතිපතිවරයාට බලකරමින් “මැන්ඩ්‍රාමුස්‌” රීට්‌ ආඥවක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා නිපුන රාමනායක හා ඔහුගේ මව අභියාචනාධිකරණයටද පෙත්සමක්‌ ගොනු කර ඇති අතර එම පෙත්සම් විභාගය ද ලබන අගෝස්‌තු 05 දා කැඳවීමට නියමිතය.

මෙම පහරදීමට වාස්‌ ගුණවර්ධන සම්බන්ධ බවට පිළිගත් සාක්‌ෂි තිබියදීත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවර නොගැනීම ඔහු සතු රාජකාරි වගකීමක්‌ පැහැර හැරීමක්‌ හා වරදක්‌ යටපත් කිරීමට බලය අයුතු සහගත ලෙස යොදා ගැනීමක්‌ බවත් පෙත්සම මගින් වැඩිදුරටත් කරුණු දක්‌වා ඇත.

මෙම සිද්ධීන් මෙලෙස ක්‍රියාත්මක වෙද්දී වාස්‌ ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයකු ලෙස ගාල්ල රත්නපුර ආදී ප්‍රදේශවල සිය වික්‍රමයන් පවත්වා බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වීමට තරම් වරම් ලද්දේය. නව තනතුරේ වැඩ භාර ගත් ඔහු ජනතාවට අසාධාරණයක්‌ වූ විට පොලිසියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව කළ කතාවන් පුරසාරමක්‌ වන්නේය. ඔහුගේ එම ප්‍රකාශ අද ඔහුටම පාරාවළල්ලක්‌ වී ඇත්තේය.

මුදලට පුද්ගලයන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාව මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේය. ඔහුගේ සුවච කීකරු හවුල්කාර ගෝලබාල නිලධාරීන්ව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන්නේය. සත්‍ය වසන් කළ නොහැකි වී ඇති තත්ත්වයක්‌ හමුවේ අකමැත්තෙන් වුවද සිය හාම්පුතාට (වාස්‌ බිරිඳ පවසා සිටින අයුරින්) එරෙහිවීමට ගෝල බාලයන්ට සිදුව ඇත්තේය. සිද්ධිය පිළිබඳව ඔවුන් එකිනෙක වමාරන්නට පටන්ගෙන ඇත්තේය. ඒ ගැන රත් වී ඇති වාස්‌ බිරිඳ සැකකාර ගෝල බාලයන්ගේ සුවදුක්‌ විමසනු රිසින් තමන්ට එරෙහි නොවන ලෙසට ඉල්ලා ඇත්තේය.

සැකකාර පොලිස්‌ නිලධාරීන් ලබාදී ඇති ප්‍රකාශ අනුව ඝාතනයට ලක්‌ වූ පුද්ගලයා පැහැරගෙන යැමට හා ඔහුට වෙඩි තැබීමට කුඩා වාස්‌ දක්‌වා ඇති දායකත්වය හෙළිවන්නට වී ඇත්තේය. මැයි 22 දා ඝාතනයට ලක්‌වූ පුද්ගලයා පැහැරගෙන යැමට කැබ් රථයට නංවාගත් පිරිස වාස්‌ ගුණවර්ධනගෙන් ලද ඇමතුමක්‌ අනුව නැදිමාලේ ඔවුන්ගේ නිවසට ගොස්‌ කුඩා වාස්‌ ද සමග එම පුද්ගලයාගේ ඉරණම තීරණය කිරීමේ ගමන පිටත් වන්නට වූහ.

සිය පියා භාරගත් ව්‍යාපාරික රාජකාරිය ඒ අයුරින්ම සිදුවන්නේ දැයි නිරීක්‍ෂණය කිරීමට කුඩා වාස්‌ එක්‌ වී ඇත්තේය. තමන් භාරගත් නිල හෝ ව්‍යාපාරික රාජකාරියන් දේවකාරියටත් වඩා ඉහළින් සිදු කිරීමට උපන් හපන් වාස්‌ ගුණවර්ධන තමන්ට එක්‌වීමට නොහැකි රාජකාරි නියමානුකූලව සිදුවන්නේ දැයි නිරීක්‍ෂණයට සිය පුත්‍රයාව යොදා ගැනීමට තරම් භාරගත් රාජකාරියට අවංක වී ඇත්තේය.

නැදිමාලේ නිවසින් පැහැරගත් පුද්ගලයා හා පොලිස්‌ නිලධාරීන් තිදෙනකු සමග පිටත්ව සිය පියාගේ රාජකාරිය ඒ අයුරින්ම සිදු කරන කුඩා වාස්‌ නිවසට පැමිණ ඒ බව පියාට රපෝර්තු කරන්නේය. තමන් සමග ගිය නිලධාරියකුගේ තිගැස්‌ම දැක අවඥවෙන් මෙන් සිනාසෙන කුඩා වාස්‌ “මේ යකා ටිකක්‌ බයවෙලා තාත්ති, මීට වැඩිය අපි කොච්චර වැඩ කරලා තියෙනවාද…?” යනුවෙන් පැවසීම සිය පුතුගේ Rජු ගුණය පිළිබඳව වාස්‌ ගුණවර්ධනට අභිමානයක්‌ ගෙන දුන්නේය.

සිද්ධියට අදාළව සිදු කරනු ලබන පරීක්‍ෂණවලදී හෙළි වූ තොරතුරු මත නියෝජ්‍ය පොලිස්‌පති පුත් රවිඳු වාස්‌ ගුණවර්ධන ද මෙහි සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේය. ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය අවස්‌ථා තුනක්‌ පමණ ඔවුන්ගේ නිවසට ගොස්‌ ඇති අතර එහිදී වාස්‌ බිරිඳ කලහකාරී ලෙස හැසිරෙමින් ඊට බාධා සිදුකර ඇති බවත් ඔහුගේ පෙම්වතියගේ නිවස ද පරීක්‍ෂාවට ලක්‌ කළ ද මේ වන තෙක්‌ කිසිදු හෝඩුවාවක්‌ දැනගන්නට නොමැති බවත් කියා ඇත්තේය.

තමන් සතු බලය මතින් පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට යැමත් සිය පවුලේ එක්‌ සාමාජිකයකු සතු බලයෙන් මුළු පවුලම හිස උදුම්මා ගැනීමට යැමත් තුළින් වන පලවිපාකයන්ට වාස්‌ ගුණවර්ධන පවුලම නතුව ඇත්තේය. බලය ඇති කාට වුව මෙයින් උගත හැකි පාඩම් බොහෝය. ප්‍රශ්නය ඉගෙන ගැනීමට කිසිවකු නොමැතිකමය.

සමන්ත ඉලේපෙරුම/දිවසින

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: