you're reading...
Articles / ලිපි

විල් තෙරට ගිම්හානය ඇවිත්

c9

අශ්වයා සහ මිනිසා අතර සදාතනික කතාබහ

සුනන්ද දේශප‍්‍රිය
ගිම්හානය පමා විය. උණුසුම් ඇඳුම් දැසින් තුරන් කිරීමේ සතුට දිනෙන් දින පමා විය. සිසිරය පැමිණීමට පෙරම කොළ මිහිදන් කළ තුරු ලතා ගිම්හාන ජීවනය අරඹනු පිණිස පේවී සොවින් බරව කල් හරිමින් සිටියේ ය. පුංචි කුරුල්ලන්් ගී ගැයූවේ වියළි  පාන් කුඩු සොයා පැමිණෙන ජනෙල් ගැට්ටේ ය.  සිසිරය සහ ගිම්හානය අතර වූ ගන්දබ්බ කාලය දිග්ගැසෙත් ම හාත්පස අවිනිශ්චිත බවින් වැසී ගියේ ය. උදැසන කැරෙන මුල්ම කාරිය බවට ජංගම දුරකථනයේ කාලගුණ තිරය හැර දවසේ උෂ්ණත්වය විපරම පත් වුනි.
දැන් ගිම්හානය ඇවිත්. පැහැබර අහස සමඟ තරඟයට දුහුල් සළුවෙන් සැරසුනු ගැහැණූ පිරිමි සහ ළමෝ විල් තෙර වර්ණවත් කරති. විලෙහි තාරාවන් ද පාත්තයන්  ද පරණ පාන් කෑමට පොර බදන්නේ නැත. කුරුල්ලන් ගී ගයන්නේ අත පතර හිඳ සතුටෙනි.  හාත්පස පිරි හරිත පැහැය හා හාදවන නිල් අහස,  හිමෙන් වැසුනු ඇඟ කීරී ගස්සන සිසිරය අමතක කිරීමට කැරෙන නව ආරාධනයක් වැන්න.

c2

විල්තෙර දරුවන්ට ආරාධනයකි

මොන්ට් බ්ලොන්ක් පාළම යටින් ලෙමො විලෙහි දිය කඳ ගංඟාවක් බවට හැරෙයි. ඊට නුදුරින් විල මැදට තැනුනු දිය කඩනය විසින් බාන් දෙ පක්කී නම් කෘතීම නාන තටාකයක ද  වෙරළ ද දයාද කෙරෙයි. ෂතූ බි‍්‍රයොන් හි  ළමාගාරයට ගොස්  කසී ද කැඳවාගෙන හිරු පායා ඇති සවස් වරුවක බාන් දෙ පක්කී කරා යාම පාසැල් සමයේ හිරේවත්තේ මුහුදු වෙරළේ ගත කල සවස්වරු සිහි ගන්වයි. මා සමඟ ඉංග‍්‍රිසියෙන් දොඩන තෙහැවිරිදි කසී, පියා සමඟ ප‍්‍රංශ බසින් ද මව සමඟ ජර්මානු බසින් ද කතා කරයි. ජිනීවා හි මගේ කළණ මිතුරා වන කසී ගිම්හානය ගත කිරීමට මව සමඟ ප‍්‍රංශ ගම්බදට ගොස් ය.

ෂතූ බි‍්‍රයොන් හි ළමාගාරය ගිම්හාන නිවාඩුව ගෙන ඇති හෙයින් ඒ ඉදිරිපිට විකල්ප සංස්කෘතික සාදයකි. එහි නැගුනු  කූඩාරම් වේදිකාවෙහි කොට කළිසම් සහ වර්ණවත් ටී ෂර්ටයෙන් සැරසි තරුණයෝ පා ද කැපිටලිස්මේ පුනරුච්චාරනය කැරෙන රැුප් ගී ගයත්. පිටු පසින් ම වාගේ  තරුණ යුවළක් රැප් තාලයට දෙපා නලවමින් අප දෙසට ඇතිතරම් ගංජා සුවද පා කර එවමින් සිටියහ. වෙස් වෙළාගත් රාජ්‍ය ආරක්ෂකයයින් සිටින්නේදැයි බිය මුසුව උරහිසට උඩින් නොබැලූවෙමු. මේ කොළඹ නොවන නිසා ය.

c6

අපි ගෙදර යමු, රෑ වෙනව පැටවුනේ

කල්ලෙක් ටයි කොට් ඇදුම පිටින්ම සංගීත කාලයට දෑස් පොපියවන රංගනයක යෙදුනේ තනිවම ය. සුද්දියක ඊට හවුල් වෙමින් ලතාවට කර කැවුනා ය. රැුප් කරුවෝ පස් දෙනා මාරුවෙන් මාරුවට ගැයූහ. මා සමඟ සිටි මිතුරා බියර් දෙකක් ගෙනාවේ ය. අසළ සිටි තරුණයෙක් චියර්ස් කීවේ ය. පසු කර ගිය වසයක යුවලක් ඇසක් වසා ආවාර සමාවාරය වන  බෝන්සුවා කීවේ ය. අපිදු කීමු, බොන්සුවා මිසියුඩම්.

කූඩාරම් වේදිකාව වටා වූ කුඩා, විවෘත කූඩරම්හි බීම ද කෑම ද අලෙවි කැරුනේ  ලාභයට ම නොවේ. එවැනි එක් කූඩාරමක පාවිච්චි කරන ලද හොඳ තත්ත්වයේ පොත පත සහ ඇදුම් පිළිවෙළට තබා තිබුනේ අවැසි පරිදි රැගෙන යනු පිණිස ය. මහ රැුයෙහි ඒ මත විරාමය සොයන සාදකරුවනට  උණුසුම බෙදා දෙනු වස් වම් පස කෙළෙවරෙහි  රැප්කරුවන් සහ සංගීත කරුවන් නිදන කොට්ට මෙට්ට හිරු රුස් උරා බොමින් තිබුණේ ය. කෙල්ලන් ?නක් කූඩාරම් හරහා ස්කේට් බෝඞ් මතින් ක‍්‍රීස් ගා ඇදීගියේ ඔහොම යං ඔහොම යං කියන්නා සේ බ‍්‍රාවෝ බ‍්‍රාවෝ කියමිනි.

cccccccccc

දියණියක ඇදීමට ඔට්ටු වූ පොලිකීන් සිතුවම කැන්වසය

අසළ තබා තිබූ ස්පේ‍්‍ර තීන්තකෑන් තෝරා ගනිමින් දියණියක ගස් දෙකක් මැද ඇද බැඳ තිබූ නිර්වර්ණ විසල් පොලිතීන් තිරයක සිතුවමක් කරමින් සිටියේ සිය සීයාගේ උදව්වෙනි.  කූඩාරම් පෙළ වටා එවැනි තිර තුනක් ඇද බැඳ ස්පේ‍්‍ර තීන්ත කෑන් තබා තිබුනේ රිසි පරිදි සිතුවම් කරන සේ ඇරයුමට ය. අයෙක් අපූරු සිතුවම් ඒ මත මැවූහ.  නිදහස් සාදයකි, මේ ගිම්හානයේ මුහුණුවර.

ෂතූ බි‍්‍රයොන්හි ම කොටස් වන  කුඩා පරිමානයේ පාපන්දු සහ පැසි පන්දු පිටි අසළින් ඇවිද ගොස් පාර පැන විල් තෙර ද එහි සරණ ජනයාගේ විවිධත්වය ද සුන්දරත්වය ද නිදහස ද විඳ ගත හැකි ය. විවිධ බස් තෙපළන විවිධ හැඩ රුවින් යුතු ජනයා ය. ප‍්‍රංශුවන්ගේ මහ නගරයක් වුව  හරි හරියට ඉංග‍්‍රීසි ද ස්පාඤ්ඤ බස ද විල් තෙරෙහි නින් නාද නංවයි. ලාංකික පවුල් සිය ගණනාවක් ජිනීවා සිය නිවෙස බවට පත් කර ගෙන ඇතත් එවැන්නකු විල් තෙරෙහි සුව විඳිනු දැක්ම විරල ය. අගෝස්තු මුල් දිනයන්හි විල් තෙර වටා වීදි සංගීතයෙන් සරසන සමරිසි ආඩම්බරයේ දිනය දා රොද බඳින දහස් ගනන් ජීනීවානුවන් අතරවත් එවැන්නකු දැක්ම අහම්බයකි.

කහ ඉර පසු කැරෙන තැන විල් තෙරෙහි නැගී සිටින අශ්වයා සහ මිනිසා  මනෝමය නවාතැනකි. මිනිසා අශ්වයාට ද අශ්වයා මිනිසාට ද කතා කිරීම පුරාවෘත්ත ගත ය. විටෙක අපි දෙදෙනා අශ්වයා වටා පාපන්දු ගසමු. අශ්වයා යට වාඩි වී උර පැසෙහි ගෙනෙන ? කෑම කමු. මෑතක  දී ඉන්දියාවෙහි සිට පැමිනි මිතුරු ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට මේ අශ්වයා උඩ වාඩි වී පින්තූරයක් ගැනීමට සිතක් පහළ විය. ‘තහනම් ද දන් නෑ නේද?’ ඔව්හු විළිපසර වූහ. ‘තහනම් කියා ලියා නෑනෙ. නගින්න’ කියා කීමි.  ‘හා හා පින්තූරය ගන්නේ බලාගෙන’ ඔව්හු බියවූහ. ඒ තහනමට නොවේ. අශ්වයාට කතා කරන ඒ මිනිසාගේ අලංකාර පුරුෂ ලිඟුව ජායාරූපයට වැටෙතැයි කියා ය. දැරුවෙක් යනෙන අතර ඊට පහරක් ගසා ගියේ ය. ජනමාධ්‍ය සගයෝ උඩ බැලූහ. තහනම් වු සිත සහ  නිදහස අතර වෙනස පුදුමයකි.

c11

නිදහසේ ආල හැගූම් පෑහ

අශ්වයා සහ මිනිසාගේ පහස විඳ මොන්ට් බ්ලොන්ක් පාළම දෙසට ඇවිද නොයා ෂාර්දීන් බොටනීක් මල් වත්ත දෙසට ඇවිද යාම සන්සුන් ය.  දෙපා මුලට බෝලයක් ගලා ආවේ ය. බැලූවෙමි. තරුණ මවක් සිය සිඟිත්තාත්  බෝලයත් වඩා ගන්නට දැරූ තැත වැරදී තිබුණි. බෝලය ඇහිඳ දුනිමි. වත පුරා ඈ සිනහසුනා ය.  ‘මෙර්සි’. ස්තුතියි. පියවරු දෙදෙනෙක් සිය පොඞ්ඩන් ළමා කරත්තයේ තල්ලූ කරගෙන ගියේ කමීස බඳවටා ඔතා ගෙන ය. දඟකාර කෙල්ලෝ තෙත නාන ඇදුමින්ම අත් පන්දු කෙළිමින් කෑ ගැසූහ. කලූ කෙල්ලක සුදු කොල්ලකු අතිනත ගෙන ළදොල් වෙමින් පාවී ගියේ ය. තන  බිස්සේ යුවලක් සිප ගනිමින් කොක් හඬ ලෑහ.

විල් තෙරට යාබදව   උයනෙකි. එහි සුපිපි අනේක පුෂ්පයන් පරයමින්  මන බදනසේ සැරසි  පිරිමි, ගැහැනු සහ දරුවෝ  නිදහසේ යති. එති. ගයති. තණ බිමෙහි නිදති. විලෙහි පනිති. පිහිනති. කට ගැසුම් බදිති. කති. පන්දු කෙළිති. කෑ ගසති.  පොත් කියවති. අව්රුස් තපිති. ආල හැඟුම් පාති. උයනෙහි ගිම්හානය කිසිවකුට හිමි නැත. කිසිවකුට අහිමි නැත.

මෑත දිනෙක කොළඹ සිට පැමිණි මිතුරියක සමඟ විල හරහා කහ බෝට්ටුවකින් පැරණි නගරයට ගියෙමි. ඈ මෙසේ කීවා ය. ‘‘උඹ ආවොත් කොළඹ අඳුන ගන්න බැරි වේවි. රේස් කෝස් එකෙන් පටන් ගත්තම ටොරින්ටන් එකට යනකම්ම තාප්ප නෑ. කාර් වලින් ඇවිත් ඇවිදිනව. ඒත් හැම මුල්ලකම අරයගෙ කට්ටිය මුර කරනව.  ශරීර සෞඛයට ඇවිදපන්. අනම් මනම් බෑ’’

c5

පොත් කියවති අව්ව තපිති

ලෙමෝ විල් තෙරෙහි එවැනි කෘතීම රෝබෝ ඇවිදීමක් නැත. දුවන ඇවිදින අය ද කන බොන නටන ගයන සෙනඟට ම පෑහෙති. මිහිරි ගී හඩක් ගලා එනු ඇසුණි. කන්කලූ ඉරාන ගීත වාදනය කරමින් අරාබි ගැන්සියක්  විල් ගැට්ටේ නැලවෙමින් සිටියහ. අපට අත වැනූහ. තාලයට පා තබා ඉඟද නළවා ඔවුන්ට සිනහ තෑගි කළෙමු. අසළ සිටි ගජයකු බියර් කෑනයක් අප දෙසට පියාඹා එවූයේ ය. ‘බ‍්‍රවෝ’ කීමු.

රාත‍්‍රියෙහි ද හෝරා ගනනාවකට පසු අඳුර ගලා එන්නේ ඈත මොන්ට් බොලොන්ක් හිම ශිකරය දෙසිනි. අපි උද්‍යානයේ තණ පිටියේ දෙපා නිදහස් කරමු. මඳකින් සිනමා සිත්තම දිඟ හැරෙනු ඇත. සුළං පිරවීමෙන් උස් මහත්වන දැවැන්ත තිරය මත ඇදෙන චිත්තරපටි බැලීමට දහස් ගනනක් තණ බිමෙහි ඈඳිගෙන, ලැග හෝ දිගා වී හෝ සිටිත්. අඳුර කපා මුල් ආලෝක කදම්භය තිරය මත පතිත වෙයි. අපි අත්පොළසන් දෙමු. පටිය පරණ එකකි. ගිම්හාන සුළඟ නැවුම් ය. තණ පිටිය නිදහස් ය.

ඇමෙරිකානු සී.අයි.ඒ. ඝාතකයින් විසින් මරා දැමන ලද කොංගෝ නිදහසේ නායකයා වූ ලූමුම්බා ගැන නිමැවූ කෙටි සිනමා පටියක් තාත්තාගේ පරම්පරාවේ වම්මු ගමින් ගම පෙන්වූහ. අප හැමෝම එය බලන්නට කඩුවඩුමුලල්ට ගිය දවසේ පටිය දුවන මැසිමේ බල්බය ගියා මතකදැයි  රාත‍්‍රියෙහි සිසිළ මුහු කරගත් සුළඟ කෙදිරීය.

‘සූත්තියක් විතරයි අඩු’ මිතුරා පයින් ඇන්නේ ය. ‘ඌ කැනඩාවට ගියානෙ. නැත්නම් සාක්කුව අතගලා එකක් ගන්න තිබුනා’ කීමි.

‘මේක බලන ගමන් මං සිංදුවක් අහන්නයි යන්නේ ’ ඉයපෝනය කනෙහි රුවා ගතිමි. අයි ෆෝනය නතර වූ තැනින් පටන් ගත්තේ ය. ‘ …. නොකියම ආවට … මට සමාවෙයන් බන්ඩර මැණිකේ ……’ අනෙක් ඉයපෝනය සිය කනේ රුවා ගෙන සිටි මිතුරා හූවක් කීය. ‘ආන්ඩුකාරයෙක් උනත් අහන්න ආසයි…..’

බ‍්‍රාවෝ !

c8

අශ්වයා ,මිනිසා සහ මම

21.07.13

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: