you're reading...
Articles / ලිපි

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය තව දුරටත් පහලට වැටේ

2013-04-09t102442z_1367875648_gm1e9491efl01_rtrmadp_3_srilanka-economy-rates

යාලු මාලු – මූණු නාලු

සමන් ගුනදාස විසිනි

මෙම වසරේ මුල් කාර්තුවේ ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය (දදේනි) සියයට 6 දක්වා එනම් පසුගිය වසරේ එම කාර්තුවේ දදේනි ට වඩා සියයට 2න්ද පසුගිය කාර්තුවට වඩා සියයට 0.3න්ද පහත වැටී ඇත. මෙම ආර්ථික වර්ධන වේගයන් ප්‍රකාශයට පත් කර ඇත්තේ රටේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගිනි.

මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ “පශ්චාත් යුද කාලීන ආර්ථික වර්ධනය” පිලිබඳ පුරසාරම් වලට ප්‍රතිවිරුද්ධව නවතම ආර්ථික දත්තයන් පෙන්නුම් කරන්නේ පසුගිය වසරේ සිට මෙරට ආර්ථිකය පහලට රූටා යන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 7.2 බවට අනාවැකි පල කලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) එම වේගය සියයට 6.3 දක්වා පහත දැමීය. ලෝක ආර්ථික කඩා වැටීම ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික පල්ලම් බැසීමට බලපා කම්හල් වැසී යාමටත් රැකියා අහිමි වීමටත් මූර්ත වැටුප් පහත වැටීමටත් මෙම තත්වය තුඩු දී ඇත.

තේ, වී, ඇඟලුම්, සේවා හා වරාය ඇතුලු ආර්ථිකයේ සියලුම අංශවල වර්ධනය පසුගිය වසරේ මෙම කාලයට වඩා පහත වැටී තිබේ. තේ හා අනෙකුත් කෘෂිකාර්මික භාන්ඩ සඳහා අයහපත් කාලගුනය බලපා ඇති නමුත් ලෝක ආර්ථිකයේ නොනවතින පසු බැස්ම ආර්ථිකය පහත වැටීමේ ප්‍රධාන සාධකයයි.

පලමු කාර්තුවේ වී හා තේ නිෂ්පාදනය පසුගිය වසරේ එම කාර්තුවට වඩා පිලිවෙලින් සියයට 0.9 න් හා 0.1න් පහත වැටී තිබේ. පසුගිය වසරේ එම කාලය හා සැසඳූ විට ඇඟලුම් වර්ධන වේගය සියයට 7.4 සිට 6.8 දක්වා පහත වැටී තිබේ. බැංකු, රක්ෂන හා දේපල ඇතුලු සේවාවන් ගේ වර්ධනය සම්බන්ධයෙන් ගත් විට වැටීම සියයට 7.2 සිට 6.1 දක්වාවේ. වරාය, ගුවන් සේවා හා භාන්ඩ හැසිරවීම සම්බන්ධ වර්ධනය ද පහත වැටී ඇත.

එක තැන පල් වෙමින් තිබෙන කර්මාන්ත අංශයේ වර්ධන වේගය පසුගිය වසරේ මෙම කාර්තුවට ආසන්න ලෙස සමාන 10.7කි. මෙම රේට්ටුව නඩත්තු වන්නේ ඉදි කිරීම් ක්ෂේත‍්‍රයේ වර්ධනයෙනි. පලමු කාර්තුවේ සම්පූර්න වර්ධන රේට්ටුව වන සියයට 6 සඳහා ප්‍රධාන දායකත්වය ලැබෙන්නේ මෙම වර්ධනයෙනි.

මෙම ඉදිකිරීම් මූලික වශයෙන් පදනම් වන්නේ ආන්ඩුව විසින් ගනු ලබන බාහිර වානිජ නය මතය. රට වටා සුවිසල් ගොඩනැගිලි හා අධිවේගී මාර්ග තැනීමට වැඩ කරන දුප්පත් ජනයා ඔවුන්ගේ ඉඩම් වලින් ඉවත් කරමින් ආන්ඩුව නගර වල පොදු කාර්ය ව්‍යුහය වර්ධනය කරන්නේ විදේශ ආයෝජන හා සංචාරක ව්‍යාපාරය ඉහල නැංවීමේ මංමුලාසහගත වුවමනාවෙනි.

ලෝක වෙලඳපලෙහි පහත වැටෙමින් පවතින ඉල්ලුම ප්‍රකාශයට පත් කරමින් පසුගිය වසරේ මෙම කාලය සමග සසඳන විට මෙම වසරේ මුල් මාස 4 තුල අපනයනයන්හි කඩා වැටීම සියයට 7.8කි. රටෙහි ප්‍රධාන විදේශ විනිමය උපයන භාන්ඩයක් වන ඇඟලුම් අපනයන මෙම කාලය තුල සියයට 2.5න් පහත වැටී ඇත. ආයෝජනයන්ගේ හා පරිභෝජනයේ පහත වැටීම සලකුනු කරමින් මෙම කාලය තුල ආනයනයන් සියයට 11.3න් කඩා වැටිනි.

සන්ඩේ ටයිම්ස් පුවත් පතේ අර්ථශාස්ත්‍රඥ නිමල් සඳරත්න මෙසේ ලීවේය. “රටෙහි ආර්ථික කඩා වැටීම ශක්තිමත් අයුරින් ආපසු හැරවීමට නම් අපනයනයන්ගේ පහත වැටීමේ ප්‍රවනතාව නවතාලිය යුතුය.” අපනයන වෙලඳ පල පුලුල් කිරීම සදහා ආන්ඩුව “වෙලද හා විදේශ ප්‍රතිපත්ති පිලිබඳව වඩාත් යථා ප්‍රෙව්ශයක් ගත යුතුයැ”යි ඔහු ඉල්ලා සිටියේය.

“යථා ප්‍රෙව්ශය” යනු අන් කිසිවක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) උපදෙස් දෙන අයුරින් අපනයන කර්මාන්තයේ “තරගකාරිත්වය ඉහල දමා ගැනීමයි”. ලෝකයේ ඇගලුම් කම්කරුවන් අවම වැටුප් ලබන බංග්ලා දේශය වැනි රටවල් සමග තරගකිරීම කලහැක්කේ කම්කරුවන්ගේ වැටුප් හා කොන්දේසි තව දුරටත් පහත හෙලීමෙනි. යථා විදේශ පිලිවෙතක් සඳහා එහි ඉල්ලීම යනු ජී එස් පී හෝ බදු සහන ඒවා කප්පාදු කල යුරෝපීය සංගමයෙන් යලි දිනා ගැනීමයි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වර්ගවාදී යුද්ධයේදී සිදු කල මානව අයිතීන් උල්ලංඝනය කිරීම් පෙන්නුම් කරමින් යුරෝපීය සංගමය ශ්‍රී ලංකාවට ලබාදී තිබූ ජීඑස්පී සහනය ඉවත් කලේය. මෙම බලයයන් යුද්ධයට සහය දුන් නමුත් කපටි ලෙස යුද්ධ අපරාධ ද ඇතුලු මානව අයිතීන් උල්ලංඝනය කිරීම් යොදා ගනු ලැබ ඇත්තේ රාජපක්ෂ ආන්ඩුවට චීනයෙන් ඈත් වන ලෙසට බලපෑම් කිරීම සඳහා ය. එක්සත් ජනපදය හා ඉන්දියාව මෙන්ම යුරෝපීය සංගමය ද චීනය තම මූලෝපායික විරුද්ධවාදියෙකු ලෙස සලකයි.

2008දී එක්සත් ජනපදයේ ප්‍රධාන බැංකු කඩා වැටීම හා ජීඑස්පී සහන ඉවත් කිරීම ආර්ථිකය දුර්වල වීමට තුඩු දුන් අතර ඇඟලුම් කර්මාන්ත ශාලා වැසී යාම නිසා සිය දහස්ගනන් රැකියා සෝදා පාලුවී මූර්ත වැටුප්ද පහත වැටිනි. 2011 දී ඇ.ඩො. මිලියන 4100වූ ඇඟලුම් අපනයන 2012 දී ඇ.ඩො. මිලියන 3850 දක්වා පහත වැටිනි.

මෑතදී පල වූ Mercer’s international geographic Salary survey (මර්සර්ස් ඉන්ටර්නැෂනල් ජ්‍යෝග්‍රෆික් සැලරි සර්වේ) වාර්තාවේ වැටුප් සමීක්ෂනයකට අනුව අසාමාන්‍ය ලෙස කම්කරුවන්ට අඩු වැටුප් ගෙවන ඇල්ජීරියාව, ඉන්දියාව, පකිස්තානය හා වියට්නාමය වැනි රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත් වෙයි. භාන්ඩ මිල වැඩි කරමින් ජීවන වියදම ඉහල දමන අතර 2006 සිට ආන්ඩුව විසින් වැටුප් කැටි කරනු ලැබ ඇත.

ජාමූඅ හි තවත් එක් රෙකමදාරුවක් වන්නේ චීනයට හා ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් කරන අපනයනයන් ඉහල දැමිය යුතු බවයි. මෑතදී චීනයට කල සංචාරයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ බීජිනයෙන් ඉල්ලා සිටියේ එම රට තුලට අපනයන ඉහල දමා ගත හැක්කේ කෙසේද යන්න පිලිබඳව සොයා බලන ලෙසය.

මෙය සාවද්‍ය බලාපොරොත්තුවකි. එකම ලෝක අර්බුදයෙන් බැට කන චීනය හා ඉන්දියාව වේගයෙන් පහත වැටෙන වර්ධන වේගය සමග පොර බදමින් සිටිති. එපමනක් ද නොව, ශ්‍රී ලංකාව ගෝලීය අපනයන වෙලඳ පල වල මෙම රටවල් සමග තරගයේ යෙදී සිටියි.

සොච්චම් ඍජු විදේශ ආයෝජන හා අපනයන වැටීමට මුහුන දී ඇති රාජපක්ෂ ආන්ඩුව පහත වැටෙන වර්ධන වේගයට මුක්කු ගැසීම සදහා උත්සුක වෙමින් වානිජ බැංකු හරහා පුද්ගලික ආයෝජකයන් හට අඩු මිලට නය සැපයීමට වෙර දරමින් සිටියි.

වානිජ බැංකු විසින් පවත්වා ගෙන යායුතු වන සංචිත ප්‍රතිශතය එනම් Statutory Reserve Ratio (එස්ආර්ආර්) ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අගය ජූලි 1 දා සිට සියයට 8 සිට 6 දක්වා පහත හෙලීමට මහ බැංකුව පියවර ගත්තේය. ස්වාධීන ගනන් බැලීම් වලට අනුව මෙමගින් බැංකු වලට රුපියල් බිලියන 35 සිට 40 දක්වා සහන මුදලක් නව නය සැපයීම් සඳහා ලැබේ.

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ එක් අර්ථශාස්ත්‍රඥයෙකු වන සමන්ත අමරසිංහ මේ පිලිබඳව අශුභවාදී ප්‍රකාශයක් කලේය. “එල්ලය වන්නේ නය දීම් හා ආර්ථික වර්ධනය උද්දීපනය කිරීම වුවද මෙමගින් බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබේදැයි යන්න පවසනු ඇත්තේ කාලය පමනි” යැයි ඔහු පැවසීය. පසුගිය සමයේ එවන් පියවරයන් සාර්ථක නොවූ බව ද ඔහු කියා සිටියේය.

ඊට විකල්පව වානිජ බැංකු වලින් දැවැන්ත නය කන්දරාවන් ලබා ගනිමින් සිටින්නේ මුදල් සිඳී ගිය ආන්ඩුව යි. මෙම වසරේ පලමු මාස 4 තුල ආන්ඩුව රටෙහි වානිජ බැංකු නිකුත් කල නය ප්‍රමානයෙන් සියයට 85ක් එනම් රුපියල් බිලියන 217ක් ලබා ගත්තේ පුද්ගලික අංශය රුපියල් බිලියන 41 ක් ලබා ගන්නා අතරවාරයේදීය.

මූල්‍ය විශ්ලේශකයන්ට අනුව මහ බැංකුවේ මැදිහත් වීම, 2009 දී පන රැක ගැනීම සඳහා ජාමූ අරමුදලින් ඇ.ඩොලර් බිලියන 2.6ක නය මුදලක් ගැනීමට සිදුවූ ආකාරයේ මූල්‍ය හිඟයකට රට රැගෙන යා හැකිය. “ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්වය දුර්වලව පවතින අතර එය සර්වාර්ථික අවදානම උත්සන්න කිරීමට බලපාන බව” ජාමූඅහි නේවාසික නියෝජිත කෝෂි මතායි, මෑතදී අවසන් වූ ලාංකික වෙලඳ මන්ඩලය (සීසීසී) විසින් සංවිධානය කල ආර්ථික සමුලුව තුලදී අනතුරු ඇඟවීය. ජාමූඅ හි අනතුරු ඇඟවීම වැඩ කරන ජනයා මත බර පටවමින් පුද්ගලීකරනය කිරීමට හා ජීවන බර ඉහල දැමීමට කරන බලපෑමකි.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: