you're reading...
Articles / ලිපි

රාජපක්ෂ දේශපාලනය දැරණියගලින් ඹ්ජස් ගැලීම: ඇසින් දුටු සාක්ෂි

knife-horror-blood-murderදැසින් දැකල පවසන මේ විස්‌තරය – පළකරතොත් හොඳයි අගනා පත්තරය

උපදින්නේ තිගැස්‌මකි. සිදුවන දේ ඒ ආකාරයෙන්ම පිළිගැනීමට තවමත් අපේ සිත් සූදානම් නැත. අවුරුදු දාහතරක්‌ තිස්‌සේ නීතියේ පිළිසරණක්‌ නැතිව මරණීය කම්පනයක්‌ සමග ජීවත් වූ මිනිසුන්ට සිදුවන බොහෝ සිදුවීම් පිළිබ`ද විශ්වාසයක්‌ උපදවන්නේ නැත. මේ මොහොතේත් අප ජීවත් වන්නේ ඒ පුරුදු අවිනිශ්චිත බව සමගිනි. එබැවින් මා දෑසින් දුටු, පුද්ගලිකව අත්වි`දි අත්දැකීම් පෙළගස්‌වමින් මේ ලිපිය ලියන්නේ සැඟවී සිටය. ඒ තමන් පෙළන මරණීය අත්දැකීම් සමග ලෝකය ඉදිරිපිට හෙළිදරව් වීමට තරම් තවමත් අපේ රට සුරක්‌ෂිත නැතැයි හැඟෙන බැවිනි.

මගේ කතාව

මේ වනවිට දැරණියගල නුරි වත්ත රට තුළ බොහෝ කතා උපදවා තිබේ. වතු යායට පැමිණ, වතු අධිකාරීවරයා වූ නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා ගෙල ග්‍රහයෙන් ගෙන නිරුවත් කර, පණ තිබියදීම කපා, රහස්‌ අවයව ඉවත්කොට, කැබ් රථයක පිටුපස තබාගෙන මුළු වත්ත පුරාම ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඔහුව ඝාතනය කළ තුප්පහි මැරයින් පිළිබඳ කතාව දැන් රටම දනී.

ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙස ඇමරිකානු වොල්ටර් බේ ජාත්‍යන්තර වැවිලි සමාගම විසින් කළමනාකරණය කරන ලද මෙම වතුයායේ සේවකයෙක්‌ ලෙස මීට කලකට ඉහතදී සේවය කරන අවධියේ සිට මෙවැනි කාලකණ්‌ණී ෙ€දවාචකයක්‌ කොයි මොහොතේ හෝ සිදුවනු ඇතැයි මම අපේක්‌ෂා කළෙමි. එබැවින් මේ ම්ලේච්ඡ ඝාතනය මා තුළ කම්පාවක්‌ හා මහා කළකිරීමක්‌ විනා පුදුමයක්‌ ඇති කළේ නැත. මේ කාරණා පෙළගස්‌වන්නේ සහේතුකවය.

නුරි වතුයාය අවට ජීවත් වුයේ දුප්පත් මිනිස්‌සුය. මේ මිනිස්‌සුන්ගෙන් කොටසක්‌ දෙමළය. වතුලැයින් වල ජීවත් වූ දෙමළ මිනිස්‌සුය. කොටසක්‌ සිංහලය. එදා වේල හොයා ගන්නා අසරණයින්ය. මේ වතුයාය තිබුණේ වෙන රටක නොවේ. ලංකාවේය. උතුරේ යුද්ධය පවතින කාලයේ යුද්ධයේ මායිමකට ආසන්නයෙත් නොවේ. සාමකාමී සබරගමු පළාතේ දැරණියගලය. එහෙත් යුද්දයේ සිදුනොවුන තරම් ඝනත්වයක්‌ සහිතව නුරි වතුයාය තුළ මානව හිමිකම් කඩ උනේය. එළිපිට කෝටි ගණනින් කොල්ලකෑම් සිදුවුණේය. මිනිසුන් අහේතුකව උන්හිටි තැන්වලින් පලවා හැර ගෙවල් දොරවල් ගිනිබත් උනේය. මිනී මැරුණේය. ස්‌ත්‍රී දූෂණ සිද්ධ උනේය. මේ ගැන පැමිණිලි කරන්නට තැනක්‌ නොතිබිණි. මේ අපරාධවල ස්‌වරූපය මීට අවුරුදු දෙකකට පෙර ලංකාවේ ප්‍රකට ගුවන් විදුලි නාලිකාවක සම්භාවිත වැඩසටහනක්‌ මගින් පුරා පැය දෙකකට ආසන්න කාලයක්‌ සජීවීව, සාධක සහිතව හෙළිදරව් කළේය. එහෙත් එක්‌ බලධාරියෙක්‌වත් මේ ජීවිත වෙනුවෙන් කතා කළේ නැත. ඇත්ත නම් මේ අපරාධ සිදුවූයේ රට දැනුවත්වය.

අතකොටා කවුද?

වේලුපිල්ලේ ප්‍රභාකරන් තරමට රටට මාතෘකාවක්‌ වී ඇති අතකොටා නමැති මේ මැරයා කවුද යන්නත් ඌ මෙවැනි නින්දා සහගත අපරාධකාරයෙක්‌ වන්නේ කාගෙන් කිරි බී ද යන්නත් දැරණියගල මිනිස්‌සු දනිති. අතකොටා යනු නුරි වතුයායේම නුරිවත්තෙ මුරකාර රැකියාව කළ තැනැත්තෙකුගේ දරුවෙකි. පවුලේ අතකොටත් සමග දරුවන් හත් දෙනෙකි. අතකොටාගේ නම අනිල් චම්පික විඡේසිංහය. ඔහුගේ අත අහිමි වන්නේ කුඩා කාලයේ සිදුවන අනතුරකිනි. මේ පවුලේ උන් රස්‌සාවට කළේ කසිප්පු පෙරීමය. කසිප්පුකාර අනිල් චම්පික විඡේසිංහ ප්‍රාදේශීය සභා ඡන්දයේදී ඡන්දය ඉල්ලුවේය. ප්‍රාදේශීය සභාවේ සභාපතිත් උනේය. එසේ කලඑළි බසින මේ කසිප්පුකාර මැරයා ප්‍රදේශයේ ප්‍රධානම දේශපාලන බලවතාගේ හා ඔහුගේ පුත්‍රයාගේ සමීප හිතවතෙක්‌ වූයේය. ඔවුන් වෙනුවෙන් ඕනෑම පාදඩ කොන්ත්‍රාත්තුවක්‌ නොපැකිලව භාර ගැනීමේ විලි ලඡ්ජා නැතිකම අතකොටා ට තිබිණි. එවිට හිටපු තුට්‌ටු දෙකේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුටත් මිනී මරන්නට, ස්‌ත්‍රී දූෂණ කරන්නට, කොල්ල කන්නට ලයිෂන් ලැබෙන්නේය. තංගල්ලේදී සිදුවුණා සේය. හික්‌කඩුවේදී සිදුවුණා සේය. රත්නපුරේ කොටකෙතනදී සිදුවුණා සේය. දැරණියගල නුරි වත්තේදීත් එය ඒ ආකාරයෙන්ම සිදුවුණේය.

නුරි වත්ත තුළ අතකොටා කළ නොපනත්කම් මේ ලියුම්කරු දෑසින් දැක අත්විඳ තිබේ. එවකට වත්තේ පවුල් හාරසිය පනහක්‌ වූයේය. මේ වතු කම්කරුවන් දෙමළ ජාතික අසරණයින්ය. ඔවුන් කසිප්පු බීමට ඇබ්බැහි කර තිබිණි. වත්තට කසිප්පු විකිණීමේ ඒකාධිකාරිය තිබුණේ අතකොටාටය. ඔහු කම්කරුවන්ට කසිප්පු දුන්නේ ණය පොතටය. මාසේ පඩිදාට පැමිණ හේ කසිප්පු සල්ලි එකතුකරගත්තේය.

අතකොටා වත්තේම ඉඩම් කැබලි ඩෝසර් කර සිය ඥාතීන් වෙනුවෙන් කඩ තනා දී තිබිණි. නුරිවත්ත අවට වෙන එකෙකුට වෙළඳාම් කිරීම තහනම් විය. වෙළෝදාමක්‌ පටන් ගතහොත් කඩ කුඩු වී ගියේය. වෙළෙන්දාගේ ඇට කටු කුඩු උනේය. එමෙන්ම නුරිවත්තේ මිනිස්‌සුන්ට අතකොටාගේ ඥාතීන්ගේ කඩ හැරෙන්නට වෙනත් කඩයකින් බඩු මිලදී ගැනීම තහනම් කොට තිබිණි. එළවලුවක්‌ ගෙනෙන්නටවත් නුරිවත්තේ මිනිසුන් දැරණියගලට ගියොත් සිදුවූයේ අමානුෂික ලෙස පහර කන්නටය.

නුරිවත්තේ ඉඩම් මේ මැරයින් විසින් බලහත්කාරයෙන් අත්කරගෙන තිබිණි. එසේ අල්ලාගත් ඉඩම් අක්‌කර පහළොවක පමණ තේ වගාකොට තිබුණේ අතකොටාය. උදෑසන වත්තේ දළු කඩන්නට පෙර හෙතෙම බලහත්කාරයෙන් තේ දළු කැඩුවේය. තේ µeක්‌ටරියෙන් නිශ්පාදනය කරනා තේ වලින් අඩකට ආසන්න ප්‍රමාණයක්‌ කප්පම් ගත්තේය. වතුයායේ ඉදිකිරීම් වල සිට කම්හලට දර සැපයීම දක්‌වා සියලු කොන්ත්‍රාත් ඔහුගෙන් පිට කිසිවෙකුට ලබාගත නොහැකි විය. වත්තේ හවරිනුග, කොස්‌, පයිනස්‌ ඇතුළු අවුරුදු සිය ගණන් පැරණි වටිනා දැව තිබිණි. මේ දැව අතකොටා විසින් බලහත්කාරයෙන් කැපුවේය. කපන්නට යොදා ගත්තේ වත්තේ කම්කරුවන්ය. ප්‍රවාහනය කළේ වත්තේ ලොරි වලය. ලොරි වලට ඉන්ධන ගැසිමට පවා සිදුවූයේ වතු පරිපාලනයටය.

ස්‌ත්‍රී දුෂණ

මේ කතාව ශිෂ්ට සමාජයක සිදුවනු ඇතැයි නොසිතන තරමට අශික්‌කිතය. තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් ගෑණු සීයක්‌ සමග හාදවී එය සමරන්නට උත්සව දැම්මේය. මේ ගෑණුන්ගෙන් හැත්තෑපහක්‌වත් එයට මුහුණ දෙන්නට ඇත්තේ කැමැත්තෙන් විය හැකිය. එහෙත් අතකොටා නමැති මේ කාලකණ්‌ණි අපරාධකාරයාත් උගේ නඩයත් සියයකට ආසන්න ස්‌ත්‍රී දූෂණ ප්‍රමාණයක්‌ සිදුකරන්නට ඇති බව මගේ හැ`ගීමය. ලැයිමක ඇහැට පෙනෙනා කාන්තාවක්‌ හෝ දැරිවියක්‌ වේ නම්, එම තැනැත්තිය අතකොටාගේ සිත් ගත්තේ නම් ඇය මේ පාදඩයාගේ අනිවාර්ය ගොදුරක්‌ වූවාය. මේ ස්‌ත්‍රී දුෂණ බොහෝවිට සිදුවූයේ බිලගම බටකැලේ ප්‍රදේශයේ හා අත්හැර දමා තිබූ බස්‌නාල ඩිස්‌පෙන්සරිය තුළය.

එක්‌තරා අවස්‌ථාවක මේ තිරිසනා විසින් වැඩිවියට පත් දැරියක්‌ දුෂණය කළේ දැරියගේ දෙමව්පියන් නිවසින් පිටතට ඇද දමා නිවස තුළදීමය. තවත් අවස්‌ථාවක දැරණියගල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරි`දක්‌ දුෂණය කළේය. ඒ නිවස තුළ සිටි ව්‍යාපාරිකයාට පහරදී එළියට ඇද දැමීමෙන් පසුය. මේවා අසන විට නුරිය වත්තේත්, දැරණියගල අවටත් සිටියේ අංග ඡේදනය කරගත් කොටලුවන්දැයි ඔබ සිතනු ඇත. එහෙත් මිනීමරු අපරාධකරුවන් ප්‍රදේශයක පොලීසියත් සමග සංධානගත වනවිට සිවිල් මිනිසුන් අසරණ වන ආකාරය ගැන වටහාගත හැක්‌කේ ඒ අත්දැකීම් සහිත අප වැනි මිනිස්‌සුන්ට පමණය.

දැරණියගල පොලීසිය

ඇත්තටම දැරණියගල තිබුණේ පොලීසියක්‌ නොව, ගුබ්බෑයමකැයි සිතේලා නිල ඇඳුමට උඩින් ජංගි ඇඳගෙන සිටි මේ ගුබ්බෑයමේ හාල්පාරුවෝ ප්‍රදේශයේ දේශපාලනයේ නින්දා සහගත බත්බැලයන් වී සිටියහ. මුන් මිනීමැරුම් එළිපිට යට ගැසුහ. ස්‌ත්‍රී දූෂණ යට ගැසුහ. පැමිණිලි කරන්නට පැමිණි අසාධාරණයට ලක්‌වූවන් පොලීසියෙන් පලවා හලහ. එපමණක්‌ නොව පැමිණිල්ල දැමිමට පැමිණි පුද්ගලයන් පිළිබඳ තොරතුරු අපරාධකරුවන්ට දන්වා සිටියහ. මේ ස්‌ත්‍රී දූෂණ අපරාධ පිළිබ`ද පැමිණිලි දැරණියගල පොලිසියේ පොත්වල නැති බව අපට විශ්වාසය. අප දන්නා එක්‌ ස්‌ත්‍රී දූෂණ පැමිණිල්ලක්‌ අවසානයේදී උසාවියේදී ඉල්ලා අස්‌කර ගත්තේය. මේ සම්බන්ධ බිහිසුණු කාලකණ්‌ණි අත්දැකීමක්‌ මේ ලියුම්කරු සතුය. අතකොටාත් ඔහුගේ ගෝලයනුත් මීට වසර හතරකට පමණ ඉහත එක්‌තරා දිනයක නුරිවත්තේ මහා දැව සංහාරයක්‌ කළේය. මෙය බලා සිටිය නොහැකි තැන මගේ ප්‍රධානියා මාත් සමග දැරණියගල පොලිසියට ගියේය. ඉතා නින්දා සහගත ලෙස පොලිසිය පැමිණිල්ල බාරගැනීම පැහැර හැරියේය. තවත් විනාඩි පහළොවක්‌ ගතවීමට පෙර අතකොටා මගේ ප්‍රධානියාගේ දුරකථනයට කතා කළේය. කතාකොට වැඩේ දුර ගෙන නොගොස්‌ පොලිසියෙන් පිටවන ලෙස දන්වා සිටියේය. පොලිසියට පැමිණිලි කරන්නට ගොස්‌ දින කීපයක්‌වත් ගියේ නැත. මගේ ප්‍රධානියා නුරි වත්ත තුළදීම අතකොටා ඇතුළු මැරයින්ගේ පහර කෑමට ලක්‌විය. හේ දැරණියගල පොලිසියේ පැමිණිල්ලක්‌ දමා අවිස්‌සාවේල්ල රෝහලට ඇතුළත් වුණේය. දින තුනක්‌ යනතුරු සිදුවු දේ බලන්නට පොලිසියෙන් එකෙක්‌වත් ආවේ නැත. අනතුරුව හෙතෙම කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා මුණගැසී තිබිණි. ඔහු පැමිණිල්ල භාර ගැනීමට එක`ග වූයේය. නමුත් මගේ ප්‍රධානියාගේ ආරක්‌ෂාව තහවුරු කිරීමේ වගකීම ඔහු ගත්තේ නැත. සියදිවි හානි කරගැනීමට අකමැති මගේ ප්‍රධානියා වැඩේ අත්හැර දමා කොළඹ ගියේය. නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා මිය යන්නේ ඔහු වෙනුවටය. රාජකාරි කළ කෙටි කාලය තුළ හේ දෙවරක්‌ බරපතල ලෙස පහර කෑමට ලක්‌වුණේය. දැරණියගල පොලිසියට මේ පිළිබ`දව පැමිණිලි කළේය. වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහට මේ නින්දාසහගත ස්‌වරූපය ලිතව දැනුම් දුන්නේය. මැරයින් ඔහුව කපා මරන්නේ ඉන් අනතුරුවය. නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා මරා දැමීම අහම්බයක්‌ නොව, රට අපේක්‌ෂා කළ මරණයක්‌ වන්නේ ඒ නිසාය.

බලයක්‌ ඇතැයි කියන, අධ්‍යාපන හා සමාජ මට්‌ටමක්‌ ඇතැයි කියන, පරිපාලන නිලයක්‌ හොබවන, ජාත්‍යන්තර වතු සමාගමක්‌ මගින් පරිපාලනය වන අක්‌කර එක්‌දහස්‌ හයසියකට ආසන්න වපසරියකින් යුතු වත්තක වතු අධිකාරිවරයෙකු රාජකාරි මට්‌ටමින් කරන පැමිණිල්ලක්‌ සම්බන්ධව පොලිසියත් දේශපාලන අධිකාරියත් හැසිරෙන ස්‌වරූපය මෙය නම් අසරණ වතු කම්කරුවන්ටත්, එදා වේල හොයාගන්නා දුගී මිනිසුන්ටත් දෙයියන්ගේම පිහිටය. රටක සිවිල් මිනිසුන් පෞරුෂවත් වන්නේත්, අදීන වන්නේත් ඒ රටේ නීතියක්‌ තිබේ නම් පමණය. නීතිය රකින්නේ පොලිසියය. අප දන්නා පරිදි අතකොටා විසින් දෙවරක්‌ම සමාජය ඉදිරියේ දැරණියගල පොලිසියේ නිගණ්‌ටයින්ට නිල ඇ`දුම ගලවා කාකි අමුඩ අන්දවා තිබිණි. එක්‌ අවස්‌ථාවක්‌ වාර්තා වූයේ අතකොටා ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටිනා කාලයේය. එවකට බස්‌නාගල නගරයේ චුටි නමැත්තකු අතකොටාගේ ආධාර සහිතව ප්‍රසිද්ධ බූරු පිටියක්‌ පවත්වාගෙන ගියේය. පොලිසිය බූරු පිටිය වැටලුවේය. වැටලීම කළ පොලිස්‌ නිලධාරීන් අතකොටාගේ මැරයින්ගෙන් ගුටි කන්නෝය. ඒත් ඒ ගැන පරීක්‌ෂණ පැවැත්වුණේ නැත. වරෙක උගේ කසිප්පු අල්ලන්නට ගිය පොලිසියේ පිරිසක්‌ බෝක්‌කුවක්‌ යට සිරකරගෙන සිටි ආකාරය නුරිවත්තේ මිනිස්‌සු කියන්නෝය. කසිප්පු සම්බන්ධව ඔත්තුවක්‌ දුන් අයෙකුගේ කකුලට වෙඩි තබා එය බඳින තුවක්‌කුවකින් වැදුණු වෙඩි පහරක්‌ ලෙස දක්‌වා පොලිස්‌ සහයද සහිතව වැඩේ යට ගසන්නේය. මේ පොලිස්‌ හැසිරීමේ ස්‌වරූපය තේරුම් ගන්නට පසුගිය දශකය තුළ දැරණියගල පොලිසියේ පොලිස්‌ ස්‌ථානාධිපති වරුන්ගේ වත්කම් පරීක්‌ෂා කර බැලීම පමණක්‌ ප්‍රමාණවත් බව අපගේ විශ්වාසයය.

දැන් දැරණියගල පොලිසියේ සියල්ලම මාරු කර යවා හමාරය. අතකොටාත් ඔහුගේ ගෝල පන්තියත් අත්අඩංගුවේය. පෙනෙනා හැටියට සියල්ල යහපත්ය. පිටින් පෙනෙන ලෙසට නම් මේ බිහිසුණු අපරාධවල කාටත් පෙනෙන සාධකය අතකොටාය. ඔහුගේ කසිප්පු ව්‍යාපාරය කරගෙන යන, ඔහුගේ සහෝදරියගේ පුතා වන කුඩුකාරයෙක්‌ වූ අමිලය. අතකොටාගේ සහෝදරයෙක්‌ වූ කරාටි ශාන්තය. කොණ්‌ඩ චමින්ද, රංගන, බේබි, සුද්දා, වැනි ඌ වටේ ඉ`දුල්කමින් සිටිනා ඔවුන් සහිත අතකොටාගේ තිරිසන් කල්ලියය.

එහෙත් මේ තුට්‌ටු දෙකේ නූගත් මැරයින්ව හසුරුවන ප්‍රබල දේශපාලන අමනුෂ්‍යයින් ගැන මේ මොහොත වනවිටත් රට කතා කරන්නේ නැතිවීම අපව තිගස්‌වන්නේය. තවමත් කතා කරන්නේ ප්‍රශ්නයේ උඩ පොත්තේ ගැන වීම අපව බියෙන් අළලන්නේය. මේ රටේ හැටියට හෙට වනවිට අතකොටා ආයුධ පෙන්වන්නට ගොස්‌ මිය යන සම්භාවිතාවක්‌ තිබෙන්නේය. එවිට සමාජයට ත්‍රිල් උපදින්නේය. සියල්ල හරි යෑයි සිතා හුරේ දමන්නට එකතු වන්නේය. එහෙත් මේ කාලකණ්‌ණි යාන්ත්‍රණය නිර්මාණය කරන අලඡ්ජී දේශපාලනය වෙනදා පමණටම බලසම්පන්නය. අතකොටාලා අමිලලා හරහා මේ දේශපාලකයින් ක්‍රියාත්මක කළ ජඩකම් පවත්වාගන්නට ඉදිරියේදී ඇප පිට නිදහස්‌ව එන මැරයින්ගෙන් එකෙක්‌ හෝ දෙන්නෙක්‌ සූදානම් කර ගැනීම අපහසු නැත. දැරණියගල මාරුකර හළ පොලිස්‌ නිලධාරීන් වෙනුවට තවත් පිරිසක්‌ පැමිණ තිබේ. ඔවුන්ටත් වැඩ කරන්න වෙන්නේත් මේ තැනී ඇති රාමුව තුළය.

අපට පෙනෙන්නේ කිසි දෙයක්‌ වෙනස්‌ වී නැති බවය. එය තේරුම් ගන්නට දැරණියගලට පැමිණ මේ නුරියවත්තෙන් ඇසෙන අමානුෂිකත්වයේ යථාර්ථයට ඇහුම්කන් දිය යුතුය. ඒ ඇහෙන්නේ නුරිය වත්තේ ඛේදවාචකය නම් හිත හදා ගත හැකිය. ඒත් මේ කියන්නේ මගේ රට ගැන වන කතාවය. දරාගත නොහැකි වේදනාව එයය.

නම හෙළි නොකළ වතු අධිකාරිවරයෙක්‌ / – sri lanka gaurdian

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: