you're reading...
Articles / ලිපි

ෂර්බග් වටරවුම සහ යුද අපරාධ

1361549487-protest-starts-again-at-shahbagdhaka-bangladesh_1819100

ෂර්බග් වට රවුමේ පෙළපාලි

සුනන්ද දේශප්‍රිය
හොටෙල් 71. එයට එළෙස නම තබා ඇත්තේ 1971 බන්ගලිදේශයේ විමුක්ති අරගලය සිහි ගැන්වෙනු පිණිසයැයි එහි විදිලි සෝපාන ක‍්‍රියාකරු කීවේ ආඩම්බරයෙනි. ඒ සමඟම ඔහු තවත් කතාවක් කීවේ ය. ‘‘ඒ 71 නිසාම මේ දවස් ටිකේම හර්තාල්.’’
හොටෙල් 71 හි සිට බන්ගලි මුදල වන ටකා 20ක් (රුපියල් 35ක් පමණ) ගෙවීමෙන් ති‍්‍රරෝධ රික්ෂෝවක නැගී ෂර්බග් කරා යා හැකිය. මෙම බයිසිකල් රික්ෂෝකරුවන් වර්ණ සාඥා නැති හෝ වට රවුම් නීතිය නොසැළකෙන මහා මාර්ගයෙහි හිමිකරුවන් වැන්න. ගණනින් මෙම සයිකල් රික්ෂෝකරුවන් ගණන ඩකා අග නගරයේ පමණක් ලක්ෂ හය පනින බව කීවේ ජනමාධ්‍යවේදියකු වන අතාවුල්ලා මුජිබර් ය. වැඩුනු මිනිසුන් තිදෙනෙකු නංවා ගෙන වාහන මැදින් වංගු ගනිමින් අනෙක් සයිකල් රික්ෂෝකරුවන්ගේ ගෑවෙන නොගෑවෙන පරිදි ඇදලා යන මෙම රික්ෂෝවක පළමු ගමන ලොමු දැහැ ගැන්වෙන තරම් නමුත් ඉක්මනින්ම එය ඩකා නගරයේ ජීවිතයේ කොටසක් බවට පත් වෙයි. පරිසර හිතකාමී මෙම රික්ෂෝකරුවෝ අභ්‍යාගයකට මෙන් දුප්පතුන්ගේ ද දුප්පතුන් ය. මෙතරම් සයිකල්කරුවන් සිටින නගරයකින් ලෝක සයිකල් ශූරයකු බිහි නොවූයේ මන්දැයි කුකුසක් ඇති වූ නමුත් ඔවුන්ගේ දුගී බව ඊට ඉඩ නොදෙන බව ජනමාධ්‍යවේදිනියක වන සල්පනා කීවේ ය.

මෙම වසරේ මුල් මාසයන්හි සිට ප්‍රෙජොන්මෝ චොතාර් නොහොත් ෂර්බග් වට රවුම එක්තරා විදියක ඊජිප්තුවේ තහීර් චතුරශ්රයක් බවට පත් විය. 1971 ජන ඝාතන යුද්ධයහි යුද අපරාධ කළ බවට චෝදනා ලැබූවන්ට මරණ දඩුවම දිය යුතු බව මෙම උද්ඝෝෂණකරුවන්ගේ ප‍්‍රධාන එකක් නැත්නම් ප‍්‍රධානතම සටන් පාඨයක් බවට පත් විය. දස දහස් ගණනින් තරුණ ජනයා ෂර්බග් කරා ඇදී එන කාන්දම බවට පත් වුයේ එහි තිබූ නිදහස් සහ විවෘත ස්වභාවය යි. ෂරබග් වට රවුම කරා පා ගමනින් යන්නේ නම් ඩකා විශ්ව විද්‍යාලය හරහා ගමන් කොට සෞන්දර්්‍ය විශ්ව විද්‍යලය ද පසු කළ යුතු ය. ඩකා සරසවිය නිදහස් අදහස් හි තොතැන්නකි. එහි කවර හෝ අන්තවාදයකට ඉඩක් නැති අතර බන්ගලදේශයේ ඓහිලෞකික රාජ්‍ය රැක ගැනීමට සටන් වැද සිටින බලපවුරක් වන්නේ ඔවුන් ය. අන්තවාදී පිරිස් සෞන්දර්ය සරසවි භුමියට කඩා පැන එහි වූ ප‍්‍රතිමා ආදිය විනාශ කළ ළකුණු තවමත් දක්නට තිබුණි. ‘‘ මටත් එස්එම්එස් එකක් ආවා ජමාත් ඊ ඉස්ලාම් පිරිස් කඩා පැනපු ගමන්. මාත් මගේ සම්බන්දකම් වලට යැවුවා. වැඩි වේලාවක් නොගිහින් සිය ගණනාවක් නිදහස් මතධාරීන් සරසවි භූමියට ආව. සරසවිය ආපහු අල්ල ගත්ත’’ යැයි කීවේ අපට මඟ පෙන්වමින් සිටි කබීර් කාන් ය.

ෂර්බග් උද්ඝෝෂනයේ උද්යෝගිමත් බ්ලොග්කරුවකු වු අහමඞ් රජීව් හයිඩර් පසුගිය මාර්තු මාසයේ දී පහර දී මරා දමන ලද්දේ ඉස්ලාමීය අන්තවාදී පිරිස් විසිනැයි චෝදනා එල්ල වී තිබේ. ඔහුගේ මරණය බිය ගැන්වීමක් වෙනු වනුවට ධෛර්යක් බවට පත් විය. ඔහු දැන සිටි වෙනත් ජනමාධ්‍යවේදියකු කීයේ හයිඩර් නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බන්ගලිදේශයක අපේක්ෂාව වෙනුවෙන් සිය පෑන මෙහෙය වු බවයි. ගුවන් තොටෙහි සිට හෝටලයට යන අතර තුර අන්තවාදී කළහකාරී පිරිස් විසින් ගිනි තබන ලද අලූත්ම වාහනයක් ගිනි ගනිමින් තිබුණි. ඊට පසු දිනෙක දීර්ඝ කාලයක් දැනහදුනන කතුවරයකු කීයේ ඔවුන්ගේ කාර්යාල වාහනයකට කිසිදු හේතුවක් නැතිව එම සවස් යාමයේ ගිනි තබා ඇති බවයි.

ත්‍හාටෙල් 71 හි විදුලි සෝපාන ක‍්‍රියාකරු කී පරිදිම දශක හතරකට පසු අද යළිත් බන්ගලිදේශයේ දේශපාලන කතිකාව 1971 කරා ගොස් තිබේ. ඒ එකළ සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ නඩු විභාග වටා ය. පකිස්ථානයේ ම කොටසක් ලෙස බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදීන් විසින් ඉරි ගසා වෙන් කරන ලද එකළ නැගෙනහිර පකිස්ථානය යැයි කියූ අද බන්ගලිදේශය බිහිවුයේ රුධිර ගංගාවක් මැදිනි.

පසුගිය සතියෙහි බන්ගලිදේශ යුද අපරාධ අධිකරණය නඩු විභාග දෙකක් අවසන් කොට තීන්දු ප‍්‍රකාශයට පත් කළා ය. ඉන් එක් තීන්දුවකින් ජමාත් ඊ ඉස්ලාමි පක්ෂයේ ප‍්‍රධානියා වූ අනු වියැති අසාම් ට අනූවසරක සිර දඩුවමක් නියම විය. ඔහුට විරුද්ධව නඟා තිබූ චෝදනා වූයේ වර්ග සංහාරය, ඝාතනය, පැහැර ගැනීම සහ ගිනි තැබීම් ය. ඔහු සියළු චෝදනා ප‍්‍රතික්ෂේප කළ නමුත් බන්ගලිදේශ විමුක්ති යුද්ධය අවස්ථාවෙහි පකිස්ථානයේ පැත්ත ගනිමින් මිනීමරු හමුදාවක් මෙහෙය වූ බවට අනෙක් පාර්ශවය චෝදනා කරති. අනෙක් තීන්දුවෙන් එම පක්ෂයේ වත්මන් නායකයා වන රහමාන් නිසාමි ය. ඔහුට මරණ දඩුවම ලැබුණි.

ෂර්බග්හි පතාක් ෂමාබේශ් පොත් අලෙවි සැළහි පොත් තෝරන අතරවාරයේ තරුණ විශ්ව විද්‍යල ආචාර්්‍යවරුන් දෙදෙනෙකු පැටලී සිටි උණුසුම් කතාවකට සවන් දීමට ලැබුණි. ඇමෙරිකාවේ ජීවත්වන සුභාෂ් වන්ද්‍ර බෝෂ්ගේ මිණිපිරියක විසින් ලියන ලද 71 ඝාතන පිළිබද පොතක් සම්බන්ධයෙනි. ඝාතනය වූ සංඛ්‍යාව පොදුවේ සඳහන් කෙරෙන තුන් ලක්ෂයක් නොවිය හැකි බවට ඇය තර්ක කර තිබුණි. සාමානයයෙන් යුද්ධවලදී මිය යන ගනන් අතිශෝක්තියට නැවෙන බන මාගේ 71 අත්දැකීම බව කී විට ඔව්හු අසතුටට පත් වූහ. ඔවුන් සමඟ වූ කතා බව බන්ගලදේශයේ උපත කරා අප ගෙන ගියේ ය.

1947 නිදහස දිනූ පකිස්ථානයේ පළමු වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලද්දේ 1970 දී ය. එතෙක් කළක් එරට පාලනය වූයේ යුද්ධ ආණ්ඩු යටතේ ය. මැතිවරණයෙන් බටහිර පකිස්ථානය යැයි කියූ අද පකිස්ථානයේ අතිශය බහුතර බලය අලි බූටෝගේ පකිස්ථාන ජනතා පක්ෂයට හිමි විය. ඒ ආසන 81කි. අද බන්ගලදේශය යැයි හැදින්වෙන නැගෙනහිර පකිස්ථානයේ අතිශය බහුතර බලය ෂික් මුජිබර් රහමාන් නායකත්වය දුන් අවාමි ලීගයට හිමි විය. ඒ ආසන 160කි. එනයින් රටෙහි පාලන බලය හිමිවිය යුතුව තිබුනේ අවාමි ලීගයට ය. නමුත් ධනවත් සහ යුද බලය පාලනය කළ නැගෙනහිර පකිස්ථානය අවාමි ලීගයට බලය දීම ප‍්‍රතික්ෂේප කළේ ය.

ඹුජිබර් රහමන් බන්ගලිදේශයට නිදහස ප‍්‍රකාශයට පත් කර තමන් වෙනම රටක් ලෙස කටයුතු කරන ප‍්‍රකාශයක් නිකුත් කළේ ය. පකිස්ථාන හමුදා නායකත්වය ඊට එරෙහිව නොවූ විරූ යුදමය ප‍්‍රහාරයක් මුදා හැරි අතර එහි විපාකය වූයේ 30 ලක්ෂයක් අවතැන් වී දශ ලක්ශයක් සරනාගත වී දෙලක්ෂයේ සිට පන් ලක්ෂය දක්වා ජනකායක් ඝාතනයට ලක් වීමයි. අද බන්ගලිදේශයෙහි යුද අධිකරණය හමුවෙහි චෝදනාවන්ට ලක්ව සිටින්නේ, එළෙස පකිස්ථාන හමුදා නැගෙනහිර පකිස්ථාන ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්ෂාවන්ට කන් නොදී මුදාහළ භීෂනයට සහාය දුන් පිරිස් ය. මෙම පිරිස් අයත්වන්නේ අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් වන ජමාත් ඉස්ලාම් පක්ෂයට ය.

බන්ගලිදේශයේ විමුක්ති සටනේ පියා ලෙස සැළකෙන මුජිබර් රහුමාන් පවුල පිටින්ම ඝාතනය කළ ජෙනරල් ෂියා හමුදා ආන්ඩුවක් පිහිටුවා පකිස්ථාන හමුදා විසින් සිදු කළ ජන සංහාරය වසා දැමීමට පියවර ගත්තේ ය. අද යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පිරිස් පකිස්ථානයේ රැකවරණ ලබා සිටි සිය රට පැමිණියේ ඉන් පසුවය. සිය අපරාධකාරී අතීතය වසා ගැනීමට ලෙහෙසියෙන්ම ඇවිල විය හැකි ආගමික අන්තවාදී දේශපාලනය කඩතුරාව කර ගත්හ. බන්ගලිදේශය ආගමික රටක් බවට පෙරළිය යුතු බවට නොදැනුවත් පිරිස් උසිගැන්වීමට පටන් ගත්හ. ජනමාධ්‍යවේදීනට පහර දුන්හ.

ජනමාධ්‍යවේදීන් දහසකට වඩා පැමිනි රිපෝටරස් යුනිටි (වාර්තාකරුවන්ගේ සමගිය), සංවිධානය කළ රාමසාන් රාත‍්‍රී ආහාරය යෙදුනේ අවසාන රැයෙහි ය. එහි මා රැගෙන ගියේ උග‍්‍ර ඓහිලෞකිකවාදිනයක වන මුසීමා ය. ත්‍යාගලාභී ජනමාධ්‍යවේදිනියක වන ඇයගේ නිදහස් අදහස් නිසාම වරක් පහර දී සිර ගත කරන ලද්දියකි. ‘‘මෙයත් එක්ක පාරේ ගියොත් ඉන්න වෙන්නේ හිර ගෙදර’’ යැයි දන්නා හදුනන ජනමාධ්‍යකරුවෝ විහිළු කළහ. තමා සඟරාවක් පටන් ගන්නා බවත් ඊට එක්වීමට ඩකා සරසවියේ මාක්ස්වාදී ශිෂ්‍ය කවයක් කැමැත්ත පළ කර ඇති බවත් කී ඇය සිටියේ නව ව්‍යාපෘතිය ගැන උද්දාමයෙනි.

රාමසාන් බත සහෝදරත්වයේ සංකේතයක් වැන්න. වැඩ අවසන්ව ආපසු හොටෙල් 71ට එන මා සිටි 1 වන මහලේ කාර්ය මණ්ඩලය හවුලේ එකම බේසමකින් කන ? කෑමට ආරාධනය කරයි. ඩකාහි ගත කළ අනෙක් රාත‍්‍රීන් ගතවුනේ දැවැන්ත ඩකා ප්‍රෙස් කල්බ් හි කල් මරමින් රාමසාන් ? කෑම සමඟ ය.

ඈතට පෙනෙන ව්‍යකූලතාවයන් නොසළකා එම සමාජයෙහි ද ඉතිහාසයේ රෝද කරකැවෙන්නේ ඉදිරියට ය. යුද අපරාධ වසන් කිරීමට කරන ලද අනෙක් අපරාධ නොසළකා වසර 40කට පසු ඝාතනයට ලක්වූවන්ගේ දේශපාලන අවතාර අපරාධකරුවන් පසු පස එළවති.

ජන ඝාතනයක් සදා කාලිකව ඉකිහාසයෙන් මකා දැමූ රටක් නැත. අද බන්ගලිදේශයේ යුද අපරාධ නඩු විභාග මගින් ද එය සමාජය තුළ ඇතිකර ඇති මහා සංවාදයෙන් ද යළිත් වරක් සනාථ වන්නේ ඒ සත්‍යයි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya

ප.ලි

මේ සටහන ලියා අවසන්ව එය ඊ මේලයට දැමීමට ජී මෙල් අඩවියට ගිය විට බන්ගලිදේශයේ අපේ ජනමාධ්‍ය වැඩ කන්ඩායමේ සිටි ජනමාධ්‍යවේදිනියක එවූ ඊ මේලයක මෙසේ සදහන් වී තිබුනි.

සුනන්ද.

මම ඊයේ බීබීසීයේ කලූ ජූලිය ගැන ලිපියක් කියෙව්වා. එතකොටයි මට වැටහුනේ දෙමළ ජනයා විදපූ දුක්. මා ඒ ලිපිය බන්ගලි බසට පෙරළා අපේ අන්තර් ජාල පුවත් පතේ පළ කළා
……
මංදා

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: