you're reading...
Articles / ලිපි

පෙම්ලොවදී දුටු ඔහුමද මේ- ඔහුටද මා අන්ධ වුණේ? | Killing Fields වැලිවේරිය

යුධ හමුදාව යළිත් වතාවක් ජනතාවට පහර දී තිබේ. යළිත් වතාවක් කීවේ එය ඉතිහාසය පුරාම නැවත නැවත සිදු වී ඇති බැවිනි. තම පුරවැසි අයිතීන් ඇස් පනා පිට වැනසී යන මොහොතක අවම පහසුකම වන ‘පිරිසිදු දිය පොදක්’ යන ඉල්ලීම ඉදිරිපත් කළ පමණින් ජනතාව මරා දැමෙයි. තව දුරටත්, ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදු ෆැන්ටසිමය තත්ත්වයකි. බලහත්කාරයන් සාමාන්‍යකරණය වී ඇති අතර ව්‍යවස්ථාදායකය, අධිකරණය යන සියලු වචන විධායකය යන පරම වචනාර්ථය තුළ දිය වී ගොසිනි. මෙබඳු රටක් සම කළ හැක්කේ කවර දෙයකට ද? එහි ජීවත් වන්නේ කවර අන්දමේ ජීවීන් ද? ලංකාව ඒකාධිපතිත්වය ද ඉක්මවා ගිය ම්ලේච්ඡ තත්ත්වයකට වැටී ඇති බව බහුතර ජනතාවකට වටහා ගත නොහැක්කේ එහි මතුපිට තලයේ ඇති සංකීර්ණ මානුෂීය හා යටි තල සංවර්ධන අයිසිංකරණය නිසා ද?

ජනතාව පුදුමයෙනි. කම්පාවෙනි. ඒ යොවුන් දරුවෙකු සහ (නිල නොවන ආරංචි මගින් කියවෙන පරිදි) තවත් සිව් දෙනෙකු මළ දුකට ත් වඩා තමන් විසින් බෝධි පූජා තබමින් රැක ගත් රණ විරුවන් තමන්ට එරෙහිව අවි එසවීම නිසාවෙනි. දකුණේ ජනතාවට හැමදාමත් සතුරෙකු අවශ්‍ය වූ අතර එය බොහෝ විට අවසාන වූයේ සතුරා මිතුරා තෝරා බේරා ගත නොහැකි ව මිතුරාට නෙලීම සඳහා සතුරා ට පාන ඇල්ලීමෙනි.

මිථ්‍යාව නම් දදයේ සනීපය

ලංකාවේ බහුතර ජනතාව සහ බොහෝ බුද්ධිමතුන් යයි කියා ගන්නා පිරිස් පවා රටෙහි ඇති වූ තරුණ නැගිටීම්වලට වෛර කළ අතර අද ද ඒවා හෙළා දකිති. ඔවුහු උතුරේ නැගිටීම්වලට ඊටත් වඩා වෛර කළහ. ජනතාව විශ්වාස කරන්නේ තමන් ‘එසේ‘ සිතන්නේ රටට ඇති ආදරය නිසා බවය. එහෙත් ඇත්ත නම් මේ වෛරය ඇති වන්නේ සිය අති පෞද්ගලික පරිභෝජනවාදී සනීප ජීවන රටාව කොහේවත් ඇති උලව් සමස්ත සාධාරණයක් උදෙසා මඳක් එහා මෙහා වන්නට පටන් ගන්නා බැවිනි. 71 සහ 89 දී දස වධ දී මරා දැමුණු තරුණ තරුණියන් ට අත් කර දුන් ඉරණම සාධාරණ එකක් බව කල්පනා කරන ඔවුහු වික්ටර් අයිවනියානු සිද්ධාන්තයට අනුව ‘ඒ වෙලාවේ එසේ නොකළා නම් රට වැනසී යන්නට තිබුණු බව‘ සිතා සැනසුම් සුසුම් හෙළති. ඔවුනට අනුව ‘දැන් තිබෙන රට‘ ඒ තරුණ නැගිටීම්වලින් වැනසී යන්නට තිබුණ රටට වඩා ‘හොඳ‘ ය.

එහිම ඊළඟ පියවර තමන් සමඟ සියවස් ගණනක් ජීවත් වූ දෙමළා නැත්නම් මුසල්මානුවාය. රටක් යනු පොළවක් පමණක් නොවේ. එහි සිටින සියලු මිනිසුන් ද සතා සීපාවන් ද ගහ කොළ ඇළ දොළ ද ඊට අයත් ය. ඒත් මේ රටේ මිනිසුන් ආදරය කරන්නේ පර්චස්වලින් මැනිය හැකි පොළවට ය. අවුරුදු තිහක් තිස්සේ එම පොළව අල්ලා ගැනීමේ කාර්යයේ ක්‍රියාකාරීන් වූ ජනතාව එසේ ජයගත් අඟලින් අඟලට සව් දිය පිරූ අතර ඒ පර්චස් මත මිය ගිය තමන්ගේ ම මිනිසුන්ගේ කටු උඩ නටා සියල්ල අමතක කර දැමූහ. පාරක් පාරක් ගානේ කිරිබත් දෙසා බෑහ. කිරිබත් නොකෑ හෘද සාක්ෂියක් තිබූ අතළොස්සක් මිනිසුන්ට ‘දේශද්‍රෝහීත්වයේ’ කටු ඔටුන්න පැළඳවූහ. අන්තිමේ දී එසේ මිය ගියවුන් සිහිපත් කිරීම ද වාරණය කළහ. අද මිය ගිය උතුරු නැගෙනහිර දෙමළ මිනිසුන්ගේ උපන් ගම් බිම් ගේ දොර ඇස් පනා පිට රජයේ හමුදාවලින් අත්පත් කර ගනිද්දී ඔවුහු එළිපිට සතුටු වෙති. අත් පත් කරගත් ‘ලොකේෂන්’ බැලීමට යාපනයට ට්‍රිප් යති. දෙමළුන් මරා අත්කරගත් ඒ සාමූහික තෘප්තිය සිංහල ජාතියක් ලෙස භුක්ති විඳින අතර මහින්ද චින්තනයට අනුව තමන්ට ෆැන්ටසිමය අර්ථයෙන් හිමි වූ- එහෙත් කිසිදාක භෞතික ලෙස අයත් නොවන ‘යමක්‘ නිසා සැනසිලි සුසුම් හෙළති. ඔවුනට අනුව ‘දැන් තිබෙන රට‘ යුද්ධය තිබුණු රටට වඩා හොඳ ය….!

රජය දිනෙන් දින අපකීර්තියට පත්වන විට අලුත් දුෂ්ටයන් තැනීමේ ඊළඟ පියවර වූයේ චිර ප්‍රසිද්ධ ‘බොදු බල සේනාව’ යි. බුද්ධි හීන චීවරධාරියෙකු ප්‍රමුඛ කරගත් මන්ද මානසික සිංහල බෞද්ධ ජාතිවාදීන් රැළක් කරළියට පිවිස යහමින් ඒ චරිතය රඟ පෑ අතර දෙමළා වෙනුවට මුසල්මානුවාගේ ලේ බීම ආදේශ කර ගත යුතු බව ජනතාවට වටහා දෙනු ලැබිණි. ඒ පිපාසය කොතෙක්ද යත් සේනාවට ආශිර්වාද කරන ආරක්ෂක ලේකම්වරයාගේ සිනාමුසු මුහුණ නොකතා හැරිණි. මේ සිංහල බෞද්ධයින් මුස්ලිම් කඩ කඩද්දී, ගිනිතියද්දී සහ කාත්තාවන්ට හිරිහැර කරද්දී ආරක්ෂ අංශ කළේ ඒ මැරයින් ආරක්ෂා කිරීමයි. ගිනි තිබ්බේ තමන්ට නොවන නිසාත් මුසල්මානුවන් අතු ගා දැමිය යුතු නිසාත් සිංහලයාට පාරේ ඇවිද යන්නට බැරි තත්ත්වයක් තිබුණ ද ‘දැන් තිබෙන රට‘ යුද්ධය තිබුණු රටට වඩා හොඳ ය…!

රෙජීමය හෙවත් බූවලුකරණය

පශ්චාත් යුධ වාතාවරණය තුළ පාලක රෙජීමය හෙවත් රාජපක්ෂ පවුල, රෙජීමයේ කොටස් වන ඇමතිවරුන් සහ පුතුන්, යාන්ත්‍රණයේ ඉහළ සිට පහළට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා සභාපතිවරු මෙන්ම මැරවරයින් සහ චණ්ඩින් ගේ හැසිරීම පුළුල් තිරයක දක්වා, ඒ තුළ දෙමළ සිංහල මුස්ලිම් සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය ද ස්ථානගත කළහොත් දක්නට ලැබෙන්නේ කුමක්ද? බේරුවල අලුත්ගම වෙරළ තීරයේ හෝටල්වල අලුත් හිමිකාරීත්වය විමසා බැලීමම මෙහි රුදුරු බව සනාථ කරනු ඇත. එම හෝටල් බහුතරයක් රාජපක්ෂ පවුල විසින් මිළ දී ගෙන ඇති අතර ලංකාව පුරා අභයභූමි, වෙරළ සංරක්ෂණ තීරයන් ද ඇතුළුව සෑම තැනකම දේපළ අයත් කර ගෙන ඔවුන්ගේ නමින් හෝටල් ඉදිවෙයි. ඒවා ඉදි වනුයේ පොලිස්, එස්.ටී.එෆ්. හෝ යුධ හමුදා ආරක්ෂාව මැද ය. කොළඹ මැද අක්කර ගණනාවක් යොදවමින් ඉදිවන ‘සුපිරි කැසිනෝ ලෝකය’, ප්‍රශ්ණ කිරීම්වලට පවා ලක් නොවන තරම් සාමාන්‍ය ජනතාවගෙන් දුරය. කොළඹ ඉදිකළ ජොගිං පාත්වල තත්ත්වය ද මීට නොදෙවෙනි වන අතර ඉදින් ඔබ එහි සුව විඳීමට යන්නේ නම් මීටර් දහයෙන් දහයට හිටගෙන සිටින යුධ හමුදා සෙබළුන් අතර මැද එය විඳ ගත යුතුය. කොළඹ මැද ඉඩම් කීයක් මේ වන විට ආරක්ෂක ලේකම්වරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතට ගෙන ඇත්දැයි බැලුවහොත් වසර ගණනක් තිස්සේ වෙසක් තොරණ ඉදිකළ බොරැල්ල මංසන්ධියේ හිස් ඉඩම, විහාරමහා දේවී උද්‍යානයේ එළිපෙහෙළි කිරීම්, සතුටු උයන ඉවත් කිරීම, බන්ධනාගාර නගරවලින් ඉවත් කිරීම ආදී මේ සියල්ල නගර සංවර්ධනයේ මුවාවෙන් කෙරෙන දේපළ අයත් කර ගැනීම් බව ඉතා පැහැදිළි කරුණකි. මින් අමතරව රටපුරා බලහත්කාරයෙන් කුණුකොල්ලයට අයත් කර ගත් නිවෙස් සහ හෝටල් – ඒවා විකුණා දැමීමට හිමිකරුවන්හට බලපෑම් කෙරෙන අයුරු- මේවා ප්‍රසිද්ධ රහස් ය. මේ සියල්ල කෙරෙන්නේ (ඒ ඔබ පෙම් කළ) ආරක්ෂක අංශවල ආරක්ෂාව සහිතවය.

නීතිය වෙනත් ඕනෑම ඒකාධිපති රටක සිදුවන පරිදි විධායකයට අවැසි පරිදි හැසිරෙන ලෙස සකස් කර ඇති අතර ඉතිහාසයේ නොවූ විරූ ලෙස විලිලැජ්ජාවකින් තොරව එය අපරාධකරුවන්ට භාර දී ඇත. නඩු අසන අපරාධකරුවන් විසින් විත්තිකාර අපරාධකරුවන් නිදහස් කරන අතර සාමාන්‍ය ජනතාවගේ පැමැණිලි ලියා ගැනීමකින් පවා තොරව හරවා යවනු ලැබේ. රෙජීමයේ ම හෙංචයියන්ගෙන් පීඩනයට පත්ව සාධාරණය බලාපොරොත්තු වන විදේශිකයන්ගේ සිට මහ ජාතික සිංහලයා දක්වා නීතිය ඉදිරිපිට පොල් කුඩු බවට පත් වෙති. දුමින්ද සිල්වා ඇප ලැබූ විගස හාස්කමකින් සුව වී අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපතිට වැඳ ආශිර්වාද ලබා ගැනීම එහි ආසන්නතම කූඨප්‍රාප්තිමය අවස්ථාවයි.

මැරයින්ගෙන්, සොරුන්ගෙන්, දූෂකයින්ගෙන් පිරුණු ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභා දක්වා එළියේ හැසිරෙන ආකාරය පාලනය කිරීමට මහින්ද චින්තනයට අවශ්‍ය නැත. මර්වින් සිල්වාට තමන්ට රිසි දෙයක් කොට මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ හැකි අතර මාලක සිල්වා ට රඹුක්වැල්ල පුතාට මෙන්ම ජනපති පුතුන්ට ද කැමති තැනක කැමති කෙනෙකුට (හාස්‍යජනක ලෙස – යුධ හමුදාවට වුව) පහර දීමේ, කැමති පරිදි මිනිසුන් වාහනවලින් හප්පා දමා යාමේ හා කැමති ගොන් පාට් එකක් කිරීමේ ශුද්ධ වූ අයිතියක් ඇත. ඔවුන්ට (තාත්තලා ට මෙන්ම) කැමති නිළියක් හෝ තරුණියක් පාවිච්චි කළ හැකි අතර ඒ සමූහ ක්‍රියා අතරතුර මතුවන හදිසි අවස්ථාවලදී ලංකාවේ ඕනෑම රෝහලක වෛද්‍යවරයෙක් රෑ නිදිමරාගෙන තරුණියට හෝ නිළියට ‘හදිසි ප්‍රතිකාර‘ කිරීමට සැරසී සිටිය යුතුය. මේ සියලු ඇමතිවරුන්ව ආරක්ෂක අංශ විසින් කොන්දේසි විරහිතව රකිනු ලැබෙයි.

රටෙහි අන් සියලු අංශ, අධ්‍යාපනය, පරිපාලනය, ව්‍යාපාර දිනෙන් දින පිරිහෙන අතර ඒවා යළි යළිත් උම්මත්තක ඇමතිවරුන් අතින් කෙළෙසෙමින් පවතියි. මෙහි ප්‍රතිඵලය කුමක්ද? විනයක් නැති, හෘදය සාක්ෂියක් නැති පුරවැසියන් පිරි රටකි. ඔබ දැන් ජීවත් වන්නේ, පෙර කිසිදාකට වඩා ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, සිය දිවිනසා ගැනීම්, අපරාධ, මංකොල්ලකෑම් වලින් පිරි සසිරිබර රටකය. ගුරුවරු හිටගෙන කරන විට ගෝලයෝ දුව දුව කරති

මේවා සිදුවන්නේ පශ්චාත් යුධ ලංකාවේ මහ ජාතිය වන සිංහලයා ට ය. ඒ වුනත් දෙමළාට හා මුසල්මානුවාට කෙළ වූ නිසා මේ රට සිංහලයාට හොඳ ය….!

වැලිවේරිය- රතුපස්වල සිද්ධිය, යුධ හමුදාව සහ ජනතාව

හමුදාවක ප්‍රධාන කාර්යය වන්නේ අණ පිළිපැදීම යි. ඉතිහාසය පුරා සිදුවූ ශිෂ්‍ය නැගිටීම්වලට පහර දීම සඳහා රජයන් හමුදාව යොදාගත් අතර 71, සහ 89 තරුණ නැගිටීමවල ප්‍රධාන මර්ධන යාන්ත්‍රණය වූයේ ද එයයි. සාධාරණය ඉල්ලා කරන සාමකාමී පා ගමනක සිට උද්ඝෝෂනයක් දක්වා කවරාකාරයේ වුව ජනතා හඬක් නිහඬ කිරීමට යොදා ගන්නා අවිය ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යි. යුධ හමුදාව උතුරු නැගෙනහිර සිවිල් වැසියන් යුද්ධයේ නාමයෙන් මරා දමන විට හුරේ දැමූ ජනතාවට අමතක වූ කරුණ නම් ඉතිහාසය තුළ දෙවරක්ම දස දහස් ගණනින් තම දකුණේ දරුවන් මරා දැමූවේ ද මේ හමුදාව ම බවයි.

“අනේ පුතේ අපි උඹලාට බෝධි පූජා තිබ්බා.. ඇයි අපිට වතුර ඉල්ලුවම ගහන්නේ…” යයි අපට අසන්නට සිදුවන්නේද ඒ නිසාම ය. රණවිරුවන්ට ලේ දන් දුන් අත් දැන් ඉතින් කපා දමන බව කියන්නට තරුණයන්ට සිදු වී ඇත්තේ ද ඒ නිසාය.

ජනතාව විසින් ම ඡන්දය දී පත්කළ පාලකයින් සුපිරි වාහනවල පාරේ යන විට තමන් ට බෝධි පූජා තැබූ ජනතාව කාණුවට බස්සවා ඉඩ අරන් දෙන්නේ කවුද? (ඒ ඔබ පෙම් කළ) හමුදාව ය. ගාල්ල බස් නැවතුම්පොළේ හයිවේ බස් රථයෙන් කොළඹ ඒම සඳහා හරි පෝලිමෙන් පිට ‘හමුදා පෝලිම්‘ යනුවෙන් එකට දෙකක් හදාගෙන පෝලිමේ උන් ජනතාව බලා සිටියදී බලය පාවිච්චි කර යන්නේ ද ඒ හමුදාව ම ය. තමන් ජනප්‍රිය කොට දේවත්වයට නැංවූ මාධ්‍යකරුවන්ට ‘තොපි තමයි මේ හැමදේම කරන්නේ‘යි කියමින් රතුපස්වලදී පහර දෙන්නේ ද (ඒ මාධ්‍යකරුවන් පෙම් කළ) හමුදාවම ය.

මාධ්‍ය විසින් සහ රජය විසින් සූත්‍රගත කරන ලද සමීකරණයකට අනුව ‘අපි වෙනුවෙන්‘ සටන් කළ හමුදාව එක්වරම ‘අපට‘ එරෙහි වන්නේ මන්දැයි යන පැනය බේරා ගැනීමට සාමාන්‍ය ජනතාවට අපහසු ය. සත්‍යය නම් රජයේ හමුදාවක් කිසිවිටෙක ජනතාව වෙනුවෙන් සටන් නොකරන අතර ඔවුන් අණ පිළිපදිනවා පමණි. එතැනදී එය හුදු අවි දැරූ යාන්ත්‍රණයක් මිස ‘අපේ‘ යමක් නොවේ. ‘අපේ අය‘ හෝ ‘ඔවුන්‘ යන්න වෙනුවට ‘එය‘ යනුවෙන් ආදේශ කොට හමුදාව දෙස බැලුවහොත් මෙය ජනතාවට පැහැදිළි වනු ඇත. මනසක් නැති යාන්ත්‍රණයක් වන එයට ‘මානුෂීය මෙහෙයුමක‘ අයිසිං තැවරූ මාධ්‍ය හා පැහැදිළි ලෙස ම උපක්‍රමයන් භාවිත කරමින් සූක්ෂමව දේපළ සහ බලය භුක්ති විඳින රෙජීමය ද එකසේ ජවය සපයයි. ඒ සිය පැවැත්ම තකා ය. යථාර්ථය තුළ ජනතාව යනු මේ සියල්ලෙන් පරිබාහිර යමක් වන අතර බලෙන් යාන්ත්‍රණයට අයත් වෙන්නට උත්සාහ කිරීම තුළ හෝ ‘අපි වෙනුවෙන් අපි‘ වීම තුළ හෝ ඔවුන් සොයන ආරක්ෂාව සහ අධිපති මානසිකත්වය යනු හුදු ෆැන්ටසිමය මනෝභාවයක් පමණි.

ඊළඟ සති කිහිපය තුළ දී ආරක්ෂක ලේකම්තුමා හෝ ජනාධිපති තුමා මැදිහත්ව මැරුණු අයගේ පවුල්වලට වන්දි ගෙවා කර්මාන්ත ශාලාවට අවවාද කොට, ‘යුධ හමුදා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ‘ වැනි ප්‍රවෘත්තියක් දිනමිණ පත්තරේ වාටියක පළ කර මේ සිද්ධිය අමතක කොට දැමීමට නියමිත ය.

ලංකාව කියවීම

1956, 1971, 1989 හෝ 2009 මඟ හැර අපට ලංකාව කියවිය නොහැක. එ මෙන්ම මීගමුවේ ඇන්ටනී, කටුනායක රොෂේන් චානක, තුම්මුල්ලේ සාමකාමී විරෝධතාව බොබොසෙ සහ ආරක්ෂක අංශ විසින් පලවා හැරීම, මාධ්‍යවේදීන් රටින් පලවා හැරීම, අතුරුදන් කිරීම සහ මරා දැමීම, කලාකරුවන් ද විපක්ෂ දේශපාලකයින් ද රෙජීමයේ අසීමිත බව තුළ හැකිලී අවනත වීම ඇතුලු ඉහත කී සියලු කාරණා සංයුක්තව කියවා ගැනීමකින් තොරව සිද්ධියෙන් සිද්ධිය වියුක්තව කියවා ප්‍රතිචාර දැක්වීම තුළ ද කිසිවක් සිදු නොවනු ඇත.

ලංකාවේ පොදු ජනතා මනසට කවදාවත් කරගත නොහැකි වූ දෙය නම් සැබෑ සතුරා හඳුනාගැනීම යි. තමන් සිටින්නේ ද අනෙක් සුළු ජන හා ආගමික කොටස් සමඟ ම පීඩිත අවවරාප්‍රසාදිත කුලකයේ ම බව වටහා ගන්නා තෙක් ඔවුන් මේ ව්‍යාධිමය මහ ජාතික සිහිනයේ පල් වෙමින් සිටීමට නියමිත ය. හමුදාව බඳු අසංවේදී යාන්ත්‍රික ව්‍යුහයන්ගෙන් ආත්මීය හා මානුෂික ප්‍රශ්න අසමින් යැදීමට නියමිත ය. ඔවුන් සැබෑව වටහා ගත් දිනෙක මේ සියලු යාන්ත්‍රණයන් බල රහිත වන බව පාලකයින් ද හොඳින් දනියි. මේ සියලු රංගනයන් ඒ වැටහීම වඩා දුරස් කොට තබනු පිණිස ම ය.

(ප්‍රධාන ඡායාරූපය- සංඛ විදානගමගේ මූණු පොත් පුටුවෙන් කළ උපුටනයකි. අනෙක් සියළු ඡායාරූප බී.බී.සී සංදේශය වෙබ් අඩවියෙනි.)

Aloka Ranasinghe | ආලෝක රණසිංහ/ srilanka gaurdian 

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: