you're reading...
News/ප්‍රවෘත්ති

ග‍්‍රෑන්ඞ්පාස්හි අඳිරි නීතිය:බෞද්ධ අන්තවාදීහු මුස්ලිම් දේවස්ථානයට සහ මුස්ලිම් නිවැසියන්ටත් පහර දෙති; 8ක් රෝහලේ

sirasa

අන්තවාදී රාවන බලය මෙම මුස්ලිම් දේවස්ථානය ඉවත් කිරීමට දී තිබූ කාලය ඊයේ අවසන් විය

 ග‍්‍රෑන්ඞ්පාස් හි ස්වර්ණ චෛත්‍ය පාරේ (පැරණි බෝලවත්ත පාර) මුස්ලිම් දේවස්ථානයට සහ අවට මුස්ලිම් නිවාස වලට පිටතින් පැමිණි බෞද්ධ අන්තවාදී සංඝ මැරයන් සහ යකඩ පොලූ වලින් සන්නද්ධ මැරයන් විසින් කරන ලද පහර දීමකින් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ. තුවාල කරුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වේ.
මුස්ලිම් භක්තිකයන්ගේ අවුරුදු දිනය වන ඊද් උත්සව දිනයට පසුදා වන අද මෙම මුස්ලිම් දේවස්ථානයේ සවස පූජාව පැවැත්වෙද්දී අන්තවාදී බෞද්ධ ප‍්‍රහාරය එල්ල වී තිබේ. ප‍්‍රහාරය සිදුවෙද්දී එය වැළැක්වීමට පොලිසිය කිසිදු ක‍්‍රියා මාර්ගයක් ගෙන නැත. මැරයන්ට ආරක්ෂාව ලබා දී තිබේ. අවට නිවෙස් වල සිටින මුස්ලිම් ජාතික කාන්තාවන් පවා නිවෙස් වලින් එළියට ඇද දමමින් මැරයෝ යකඩ පොලූවලින් පහර දී ඇත. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති පුද්ගලයාගේ හිසට යකඩ පොලූ පහරක් වැදී තිබේ.

මෙම මුස්ලිම් පල්ලිය වසර 30 ක් පමණ පැරණි එකක් වන අතර එය වසා දමා ඊට මඳක් ඈතින් පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීමට කටයුතු කරද්දී අන්තවාදී බෞද්ධයන් ඊට විරුද්ධ වී තිබේ. නමුත් පැරණි ස්ථානයෙන් නව ස්ථානයක ස්ථාපනය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ද මුස්ලිම් කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේද නගර සභාවේද ලිඛිත අවසරය ලබා තිබේ.

මේ පිලිබඳ උණුසුම් වාතාවරණයක් මාස එක හමාරක් පමණ තිස්සේ ඇවිලෙමින් තිබී ඇති අතර බලධාරීන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැත.

පසුව අද සවස සිට දුර පළාත් වලින් පවා මැර පිරිස් පැමිණ රොක් වෙමින් තිබියදී පොලිසිය දැනුවත් කළද ඒ සඳහා කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නැත.

අවසානයේදී පැමිණි මැරයෝ පල්ලියටත් අවට නිවැසියන්ටත් පහර දීමට පටන් ගත්හ. එවිටද පොලිසිය කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගත් අතර මැරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේය. ප‍්‍රදේශයේ තත්ත්වය උණුසුම් වී ඇති අතර මේ වන විට හමුදාව කැඳවා ඇත.

කොළඹ ග‍්‍රෑන්පාස් පොලිස් බළ ප‍්‍රදේශයට හෙට (11) පෙරවරු 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිසිය රාත‍්‍රී 9.30 ට පමණ ප‍්‍රකාශ කෙළේය.

-ලංකා ඊ නිව්ස්

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: