you're reading...
Articles / ලිපි

මිනිසුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන අය අද ත‍්‍රස්තවාදීන් වෙලා – සීතා රංජනී,

seetha-ranjaniයුක්තිය පුවත්පතෙන් ක‍්‍රියාකාරී ජනමාධ්‍ය ජීවිතය ඇරඹූ ඇය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිනියක් ලෙසින් පසුගිය කාලයේ විශාල ක‍්‍රියාකාරකම් ප‍්‍රමාණයකට දායක වූවාය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක‍්‍රියාකාරී සාමාජිකා, පුවත්පත් පැමිණිලි කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වන ඇයට 2012 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මාධ්‍ය නිදහස වෙනුවෙන් කළ කැප කිරීම වෙනුවෙන් ‘සේපාල ගුණසේන සම්මානය හිමි විය. මේ ‘ජනරළ’ ඇය සමඟ කළ සංවාදයක ප‍්‍රතිඵලයයි.
———————————–

  •  ඔබ මාධ්‍ය වෘත්තිකයකු බවට පත් වීම කියන තැනින් මේ කතා බහට ප‍්‍රවේශයක් ගත්තොත් ඔබ කොහොමද මාධ්‍ය වෘත්තිකයෙක් බවට පත් වෙන්නෙ?

මාධ්‍ය වෘත්තිකයෙක් බවට පත් වෙන්නෙ ගුවන් විදුලියේ රජරට සේවයෙන්. ඒ 1979 දී. මම පාසල් යන කාලෙ දි ඉඳන්ම ලේඛනයෙ යෙදුණ කෙනෙක්. මේ අතරතුර තමයි ගුවන් විදුලියෙන් රජරට සේවය පටන් ගන්න බව දැන ගත්තේ. මම මේකට මගේ පළමු වැනි කෙටිකතාව යොමු කළා. පළමු සතිය තුළදීම මට විදුලි පණිවිඩයක් ආවා. මගේ කෙටිකතාව අගය කරල මට ඒක ගුවන් විදුලියෙ ඉදිරිපත් කරන්න කිව්වා. එදා කෙටිකතාවටයි, ඉදිරිපත් කළාටයි දෙකටම මට මුදලක් ලැබුණා. මම ලියපු දේවල්වලට මුදලක් ලැබුණ දවසෙ තමයි මගේ මාධ්‍ය ජීවිතය පටන් ගන්නෙ. එදා සිට අවුරුදු 6ක් රජරට සේවයේ වැඩ කළා. ගුවන් විදුලි නාට්‍ය, ළමා නාට්‍ය, විචිත‍්‍රාංග, වැඩසටහන් පිටපත්, පැය බාගේ පිටපත්, කාන්තා වැඩසටහන් පිටපත් ලියන ඒවා අතරේ ශිල්පිනියක් විදිහටත් කටයුතු කළා.

  •  ඔබේ වැඩ කිරීමේ ස්වභාවය සහ ක‍්‍රමවේදය වුණේ මොකක්ද?

රජයේ ගුවන් විදුලි මාධ්‍යයක සීමාවක් තුළ ඉඳගෙන සමාජ ප‍්‍රශ්න, දේශපාලනික ප‍්‍රශ්න, කතා කරන්න යම් උත්සාහයක් දරල තිබුණා. විශේෂයෙන්ම රජරට සේවයට ගොඩක් ගීත නිර්මාණය කළා. නිර්මාණ හරහා තමයි මම මගේ කාර්යය ඉටු කළේ.

  •  ඔබ කොළඹට පැමිණෙන්නෙ කොහොමද?

මම කොළඹට එන්නෙ 1986. ඒ විවරණ සඟරාවත් සමඟ සම්බන්ධ වෙමින්. මේක විකල්ප සඟරාවක් විදිහට සැලකුවේ. විවරණ සංස්කාරක මණ්ඩලයටයි ආවේ. ශක්ති, ධරණී වගේ කාන්තා සඟරාවලත් මම ෑාසඑදර විදිහට වැඩ කළා. ඊට අමතරව සංකලන කියල සංස්කෘතික සඟරාවක් මම කළා. ‘යුක්තිය’ට සම්බන්ධ වෙන්නෙ ඊට පස්සෙ. ‘සංකලන’ සංස්කෘතික සඟරාවත් ‘යුක්තිය’ට එකතු කරගන්නවා. ජනවාර්ගික ප‍්‍රශ්නය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, මානව හිමිකම් ක්ෂේත‍්‍රය වගේ පැති ගණනාවකින් ‘යුක්තිය’ සමන්විත වුණා. ‘පත්තරේකට වඩා වැඩි යමක්’ කීම තමයි අපේ සටන් පාඨය වුණේ.

  •  මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ කටයුතු කිරීමේ දී ඔබ විශේෂිත තත්වයන්ට මුහුණ දෙන්න ඇති. විශේෂයෙන් කාන්තාවක් වීම නිසාම මුහුණ දෙන්න වෙන ගැටලූසහගත තැන්, අභියෝග තියෙන්න ඇති?

ගමේ ඉඳලම මට නායකත්ව භූමිකාවක් තිබුණා. ඒ හැකියාව නිසා තමයි මට කොළඹට එන්න හැකියාව ලැබෙන්නෙ. මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ ඉදිරියට යන්න හරි, අවස්ථාව ලබා ගන්න හරි ගැටලූවක් වුණේ නැහැ. මොකද මම සාම්ප‍්‍රදායික සමාජයෙන් එහාට ගියපු වෙනස් හරයන් සහිත වෙනත් ධාරාවක් එක්ක ගමන් කරමින් හිටියේ. මාධ්‍ය ක්ෂේත‍්‍රය කියන්නෙ පිරිමින්ගෙ රජදහනක්. කාන්තාවන් ඉන්නෙත් ඉතාම අතළොස්සයි. යුක්තිය පත්තරෙත් මාධ්‍ය කටයුතුවල හිටපු එකම කාන්තාව මම. කාන්තාවක් විදිහට විශාල කැප කිරීමක් මාධ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් කරල තියෙනවා. සමහර අවස්ථාවල එය නොසලකා හැරීම් තිබ්බා. ඒ වගේ අවස්ථාවල හිත් රිදීම් වෙලා තියෙනවා. නමුත් මම ඒවා ගැන හිතන්න ගියේ නැහැ. මොකද මම දන්නවා එක් එක් පුද්ගල ස්වභාවයන් ගැන.

  •  විකල්ප පුවත්පතක වැඩ කරනවා කියන්නෙ තර්ජන, ගර්ජන, මර්දන සාමාන්‍ය දෙයක්. මර්දනය සම්බන්ධයෙන් ඔබටත් අත්දැකීම් ඇති?

ඒවා ඉතින් ඕන තරං තියෙනවා. යුක්තිය පත්තරේ මුද්‍රණාලයට සීල් තිබ්බා. කඩල බිඳල දැම්මා. නඩු වැටෙනවා. මඩ ප‍්‍රහාර එල්ල වුණා. 94න් පස්සෙත් අපට විවිධ බාධාවන් එල්ල වුණා. වෙළෙඳ දැන්වීම් පවා නැති වුණා. හැබැයි අද ඒක තවදුරටත් වැඩි වෙලා තියෙනවා. එදාට වඩා ලොකු ආතතියකින් තමයි වැඩ කරන්න වෙලා තියෙන්නෙ. ඒ කාලේ අපි යුක්තියෙන් කරගෙන ගියා ‘බියෙන් අත්මිදෙමු’ කියල වැඩසටහන් මාලාවක්. මිනිස්සුන්ගෙ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට බාධා පමුණුවන භීෂණයට, මර්දනයට එරෙහිව
අපි රැුස්වීමක් පැවැත්වුවා. අද මෙහෙම දේවල් කරන්න පුළුවන්කමක් නැහැ. උසාවි නියෝගවලින් හරි වළක්වනවනෙ. අද එදාට වඩා සියගුණයකින් මර්දනය බරපතළයි.

  •  මේ මර්දනය හමුවේ ක‍්‍රියාකාරීත්වය අඩපණ නොකර ගනිමින් වැඩ කරන අයත් ඉන්නවා. ඒ වගේම යම් යම් සීමා පනවාගෙන කටයුතු කරන අයත් ඉන්නවා. මේ තත්වයන් ගැන ඔබේ ස්ථාවරය මොකක්ද?

1992 නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පටන් ගන්නෙත් එවකට තිබුණ මර්දනයට එරෙහිව. විපක්ෂය පවා සම්බන්ධ වුණා. මාධ්‍ය නිදහස දේශපාලන සටන් පාඨයක් බවට පවා පත් වුණා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තමා ප‍්‍රථම වරට ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් සමඟ මාධ්‍ය නිදහස සඳහා අරගල කරන සංවිධානය බවට පත් වුණේ. සමහර අය ඉතින් මූලික කාරණාවලින් පස්සෙ නිහඬ වුණා. සමහර අයට රට දාලත් යන්න වුණා. මොකද දැන් කතා කරන්න බෑ. ගුටිකන්න වෙනවා. ලසන්ත වික‍්‍රමතුංග වගේ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් ඝාතනය වෙනවා. උතුරේ පවා මාධ්‍යවේදීන් විශාල ප‍්‍රමාණයක් ඝාතනය වුණා. පෝද්දලට, නාමල්ට, උපාලි තෙන්නකෝන්ට පහර දුන්නා. සමහරු මොකද වුණේ කියල කියන්නත් බය වුණා. මේ මර්දනය නිසාම එදාට වඩා අද මාධ්‍ය ක‍්‍රියාකාරිකයන්ට තියෙන ශක්තියත් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් තමන්ට මුහුණ දෙන්න වුණ සිදුවීම කියන්නත් බයයි. එවැනි බයකින්නෙ අද වැඩ කරන්න වෙලා තියෙන්නෙ.

  •  මේ මර්දනය ඉදිරියේ මාධ්‍ය නිදහස හොඳ සටන් පාඨයක් වෙලා තියෙනවා නේද?

මෙහෙමයි. යම් යම් සිදුවීම්වලට ක‍්‍රියා කරන එක, එක් පැත්තක්. නිදහස් මාධ්‍ය සංස්කෘතියක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් වෙනුවෙන් තවත් කළ යුතු බොහොමයක් තියෙනවා. රජය එක්කත් කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ප‍්‍රකාශනයේ අයිතිය පිළිගන්න, මානව හිමිකම් ගරු කරන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන රටක් බවට පත් වෙන්න ඕනෙ. ඒක නොවෙන නිසා තමයි සටන් කරන්න වෙලා තියෙන්නෙ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගේම කර්තෘ සංසදය, ප‍්‍රකාශකයන්ගෙ සංසදය වගේ ඒවා තියෙනවා. මේ සංවිධාන තුන එකතු වෙලා 1998 පවත්වපු ‘මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම’ සම්මන්ත‍්‍රණයේ දී ‘කොළඹ ප‍්‍රකාශනය’ කියල එකක් මාධ්‍ය ප‍්‍රගතිය සඳහා ඇති කරගත්තා. ඒ හරහා ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනය ඇති වෙලා තියෙනවා. කර්තෘ සංසදයෙ මූලිකත්වයෙන් මුද්‍රිත මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වල දීල තියෙනවා. මේ ක‍්‍රියාවලි හරහා ස්වයං නියාමනයක් ඇති කරගෙන තියෙනවා. මේ ස්වයංනියාමනය කාරණය සඳහා තමයි පුවත්පත් පැමිණිලි කොමිසම ඇති වෙලා තියෙන්නෙ. ඒවා ලොකුවට පෙනෙන්නෙ නැති වුණාට එහෙම දේවලූත් වෙනවා. අපිට ගොඩක් වෙලාවට පේන්නෙ සිද්ධි මුල් කරගෙන එළියට බැහැල කරන සටන්. නමුත් දැන් මේවා ඇති වෙන මට්ටමට බරපතළ දේවල් වෙලා තියෙනවනෙ. මේවයෙන් රට තුළ ලොකු බලපෑමක් නොවුණට ඒ හඬ ජාත්‍යන්තරයට යනවා. මොකද මේ සංවිධාන ජාත්‍යන්තරවත් සම්බන්ධයි. අද පුළුවන් තරම් බය කරල නිහඬ කරවන්නනෙ හදන්නෙ.

  •  මාධ්‍ය මර්දනය කියන කාරණයෙ දි තවදුරටත් ජනතාවගෙ ඇත්ත දැන ගැනීමේ අයිතිය තහවුරු කරගැනීම වෙනුවෙන් මාධ්‍ය සංවිධාන හා එම වෘත්තිකයන්ගෙ වර්තමාන කි‍්‍රයාවලිය ගැන ඔබට තියෙන්නෙ මොන වගේ අදහසක්ද?

අද මාධ්‍ය ගත්ත වුණත් එක එක න්‍යාය පත‍්‍රවලට යට වෙලානෙ. සමහරු ඉන්නවා තමන් දන්න සීමාව තුළ යමක් කරන්න උත්සාහ කරන. අවසාන සිදුවීම විදිහට වැලිවේරිය සිද්ධිය ගත්තොත් දැන් ඇත්ත මොකක්ද කියන්නත් අමාරුයිනෙ. මාධ්‍යයටත් ගහල මිනිස්සුන්ටත් ගැහුවා. ඒත් රජයේ මාධ්‍ය කියන්නෙ මිනිස්සු හමුදාවට ගැහුවා, ඊට පස්සෙ අවම බලය පාවිච්චි කරල විසුරුවා හැරියා කියලා. බොහොම සරලයිනෙ. ඊට පස්සෙ එක එක දේශපාලන පක්ෂ මතට දානවා. නැත්නම් භඨධ වල වැඩක් කියනවා. අන්තිමට මේක ඇතුළේ යක්කු ටිකක් මවල ඇත්ත වසං කරනවා.
ගොඩක් ඈත ගම්දනව්වලට යද්දි පත්තරවලට වඩා රූපවාහිනී මාධ්‍ය ප‍්‍රබලයි. හැබැයි ඈත ගම්දනව්වල ජනතාවට පෙනෙන රූපවාහිනී මාධ්‍ය සම්බන්ධයෙනුත් ගැටලූවක් තියෙනවනෙ. ඒ වගේම තමයි ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මුහුණ දෙන්න වෙන තත්වය. වැලිවේරිය වගේ සිදුවීමකින් පස්සෙ ඔවුන් ඇත්ත හෙළිදරව් කරන්න බයයි. මොකද කොළඹට කේන්ද්‍රගත වෙලා ඉන්න මාධ්‍යවේදීන් වගේ නෙවෙයි ඔවුන් තනි වෙන ස්වභාවයක්නෙ තියෙන්නෙ. නමුත් ඉතින් රජයේ මාධ්‍යයන්ට වඩා පෞද්ගලික මාධ්‍ය යම් ස්වාධීනතාවකින් වැඩ කරන බවක් පේන්න තියෙනවා. එක එක න්‍යාය පත‍්‍ර තිබුණ වුණත් ජනතාවට ඇත්ත ලබා දීම වෙනුවෙන් යම් ක‍්‍රියාකාරී බවක් තියෙනවා.
මාධ්‍යවේදීන්ට තොරතුරු ලබා ගැනීමේ නීතිමය ආවරණයක් නැහැ. දූෂණ වංචා, අකටයුතුකම් ගැන මාධ්‍යවේදීන් තොරතුරු ලබා ගන්නෙ තමන්ට තියෙන හිතවත්කම්, සබඳතා මඟින්. තොරතුරු ලබා ගැනීමේ නිල අයිතියක් නැහැ. මේ අයිතිය ජනතාවටත් තියෙනවා. නමුත් ජනතාවටත් මේ ගැන හරි අවබෝධයක් නැහැ.

  •  නමුත් යම් යම් සිදුවීම්වල දී මාධ්‍යවේදීන්ට මුහුණ දෙන්න වෙන සිදුවීම් හමුවේ නෛතික ක‍්‍රියාමාර්ග හෝ ගැනීමට සමහර මාධ්‍ය ආයතන වුුණත් මැදිහත් නොවෙන අවස්ථා තියෙනවා. මාධ්‍ය ආයතනවල ස්වාධීනතාව සම්බන්ධයෙන් නැවත ප‍්‍රශ්නයක් නැෙඟනව නේද?

එහෙම නීතිමය ක‍්‍රියාමාර්ග ගත්තද, නැද්ද කියල මම හරියටම දන්නෙ නැහැ. කැමරා කුඩු වෙන අවස්ථා තියෙනවා. නමුත් ඉතින් වන්දියක්වත් ගන්න බැරි වෙන අවස්ථාත් තියෙනවා.

  •  රාජ්‍ය නොවන සංවිධානවල ආධාර, උපකාර වෙනුවෙන් සටන් ක‍්‍රියාමාර්ග තෝරනවා කියලත් මාධ්‍ය සංවිධානවලට චෝදනාවක් තියෙනවා?

රජයේ පාර්ශ්වයෙන් තමයි භඨධ කියල ගෝනි බිල්ලෙක් මවල තියෙන්නෙ. භඨධ එක්ක ඉන්නෙ ත‍්‍රස්තවාදයට උදව් කරන අය, රට පාවා දෙන අය කියලනෙ මවල තියෙන්නෙ. රජයේ නොවන අනෙක් සංවිධාන හැම එකක්ම රාජ්‍ය නොවන ඒවා තමයි.

  •  උතුරට අදාළව මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් අද බරපතළ ප‍්‍රශ්නයක් තියෙනවා. දකුණට සාපේක්ෂව ගත්තොත් එහි විශාල මර්දනයක් දියත් වෙනවා. නමුත් මාධ්‍ය සංවිධාන ඇතුළු ක‍්‍රියාකාරිකයන් ඊට මැදිහත් වීම ප‍්‍රමාණවත්ද කියන ප‍්‍රශ්නය අද තියෙනවා?

උතුරට සාපේක්ෂව බැලූවොත් අපිට පොඩි හරි ආවරණයක් තියෙනවා. උතුරේ අය හුදෙකලා වෙලා ඉන්නෙ. හමුදාකරණය වුණ සමාජයක් තියෙන්නෙ. යුද කාලයේ ඉඳලම තමා ඒ මාධ්‍ය මර්දනය පටන් ගත්තෙ. දැන් පශ්චාත් යුද වාතාවරණය හෙළිදරව් නොවීම සඳහා ඒ මර්දනය යොදා ගන්නවා. උතුරේ තමයි විශාල ප‍්‍රමාණයක් මාධ්‍යවේදීන්, මාධ්‍ය හිමිකරුවන්, බෙදා හරින අය පවා ඝාතනය වුණේ, මර්දනයට ලක් වුණේ. මිනිස්සුන්ගේ ඇත්ත ප‍්‍රශ්න ලියන, කතා කරන අය තමා අද ත‍්‍රස්තවාදියො වෙලා තියෙන්නෙ. අද උතුරේ මොනවත් කරන්න බැහැ. මානව හිමිකම් ප‍්‍රඥප්ති, අයිතිවාසිකම්, නිදහස කියන දේවල් අවලංගු වෙලා. සීමා මායිම්වලට යටත් වෙලා තමයි ඔවුන් වැඩ කරන්නෙ.

  •  මාධ්‍ය නිදහස වෙනුවෙන් ක‍්‍රියාකාරී වීම වෙනුවෙන් ඔබට මෙවර සේපාල ගුණසේන සම්මානය හිමි වුණා. ඔබේ මාධ්‍ය ක‍්‍රියාකාරීත්වය සහ සම්මානය ලැබීම ගැන දරන්නේ මොන වගේ ආකල්පයක්ද?

මට මේ සම්මානය ගැන කවදාවත්ම අදහසක් තිබුණෙ නැහැ. නමුත් මගේ නම යෝජනා වුණාට පස්සෙ මම හිතුවා මගේ ජීවිතයේ වැඩි කාලයක් කැප කළේ මාධ්‍ය නිදහස සහ ඒ අරගලය වෙනුවෙන් කියල. අපි ජාලයක් විදිහට තමයි මේ කාර්යභාරය කළේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක රැුස්වීමේ ඉඳල අඛණ්ඩව කි‍්‍රයාකාරී වුණු එකම කාන්තාවත් මම. ඉතින් මේ කැප කිරීම් සහිතව වැඩ කරල තියෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. කොහොමත් මම එදා වගේම හෙටත් මගේ වැඩ කොටස කරනවා. එක පැත්තකින් මේ පුරුෂ මාධ්‍ය අධිකාරිය තුළ කාන්තාවන් විදිහට මගේ කාර්ය භාරයට ඉතිහාසය තුළ යම් ලියවීමක් හිමිව තිබීම ගැන මම සතුටු වෙනවා.

-ජනරළ

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: