you're reading...
Articles / ලිපි

රතුපස්වල මැරුව එකයි වැරුද්ද (වතුර ඇසිඩ් කරපු එක නොවෙයි) කියන විපක්ෂ කතා

රතුපස්වල ගැන අහද්දි අපේ කටෙත් පස්
ජනතා සටන් වර්ග දෙකක් තියෙනවා. එකක් දේශපාලන ව්‍යාපාර මැදිහත් වෙලා දේශපාලන නායකත්වයක් සහිතව කරන සටන්. අනෙක් ඒවා දේශපාලන ව්‍යාපාරයක නායකත්වයෙන් තොරව තමන්ගේ දෛනික ජීවිතයේ ගැටලූ නිසා ජනතාව අතරින්ම පැන නඟින සටන්. පළමු වර්ගයේ සටන් දැන් ලංකාව ඇතුළේ අතාර්කික වෙලා තියෙන්නේ, දේශපාලනය පහුගිය කාලේ හැසිරුණු විශ්වාසය තැබිය නොහැකි, පටු සහ කට්ටිවාදී ස්වරූපය නිසා. දෙවැනි වර්ගයේ සටන් පහුගිය කාලයේ ලංකාවේ සමාජය ඇතුළේ අධිනිශ්චය වුණෙත් දේශපාලන ව්‍යාපාරවල මැදිහත් වීමට යම් විරෝධාත්මක ආකල්පයක් වර්ධනය වුණෙත් ඒ නිසා. ඒ මොනවා වුණත් ජනතාව අතරින් පැනනඟින (සාංසිද්ධික* අරගල හමුවට ගිහින් ලකුණු දා ගන්න, ඒ අරගල තමන්ගේ බූදල් බවට පත් කරගන්න දේශපාලන ව්‍යාපාර උත්සාහ ගන්නා අත්දැකීමකුත් පහුගිය කාලේ අත්දකින්න ලැබුණා. ඒ මැදිහත්වීම්වලින් ඒ දේශපාලන පක්ෂවල ඇත්ත ස්වරූපය මොකක්ද කියලාත් අනාවරණය වෙනවා. පිරිසිදු වතුර ඉල්ලා වැලිවේරියේ ජනතාව ගෙන ගිය අරගලයේදීත් එවැනි අත්දැකීම් තිබුණා.

වැලිවේරියේ ජනතාව උද්ඝෝෂණය ආරම්භ කරලා, ධම්මික පෙරේරාගේ හේලීස් කර්මාන්ත ශාලාව ළඟ රැුකවල් දාගෙන විරෝධය පළ කරන කොට ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිතුමා එතැනට ගියා. ජනතා ප‍්‍රශ්න විසඳන්න හරිම ලොකු ආසාවක් දක්වන එතුමා උද්ඝෝෂණය නතර කරන්න යයි ජනතාවට කියලා රූපවාහිනී කැමරා ඉස්සරහ සිංහ නාදයක් කළා.
‘‘අද දහවල් වන තුරු කර්මාන්ත ශාලාව තාවකාලිකව වහන්න පියවර ගන්නවා’’

අනූ ගණන්වල ඉඳලා ප‍්‍රදේශයේ භූගත ජලය දූෂණය කරන කර්මාන්ත ශාලාවක් පැය දෙකක් වහලා දාලා කරන්න පුළුවන් බම්බුව මොකක්ද කියලා අහන්න, එතැන බම්බු මහත්තයා කියන විරුදාවලිය ලත් මෛත‍්‍රීපාල ඇමැතිතුමා නොහිටියාට ජනතාව එහෙම අහලා මර්වින් සිල්වාට හූ… කිව්වා. මර්වින් සිල්වාට හූ කිව්වේ ජනතාව විතරක් නෙවෙයි, ධම්මික පෙරේරාත් ආණ්ඩුවත් ඒ හූ…වට සම්බන්ධ වුණා. ඒ නිසා කර්මාන්ත ශාලාව වැහුණේ නැහැ.

ඒ සැරේ කේන්ති ගිය මර්වින් සිල්වා එතැන තිබුණු කඬේකට ගිහිල්ලා මමත් මේ උද්ඝෝෂණයට සපෝට්, උද්ඝෝෂණය කරන අයට හාල් මිටි දෙකක් දෙන්න කියලා කැලණිය පැත්තට පහු බැස්සා. හාල් ගේන්නේ හඳෙන් නෙවෙයිනේ, මුදලාලි හාල් ගේන්නේ තොග මුදලාලිගෙන්නේ. තොගමුදලාලිගෙන් හාල් ගන්න සල්ලි දෙන්න ඕන. ඒ නිසා කඬේ මුදලාලි මර්වින්ගේ වචනවලට හාල් දුන්නේ නැහැ. මර්වින් හාල් මිටි දෙකක් දෙන්න කියලා සද්දෙට කියලා ගියාට කඬේට සල්ලි ගෙව්වේ නෑ. ඒ නිසා ඒකත් මර්වින්ට හූ…වක් වුණා.

ආණ්ඩුවේ හමුදාව වෙඩි තියලා කිහිප දෙනෙක් මරා දැම්මාට පස්සේ රනිල් වික‍්‍රමසිංහ එතැනට ගියා. එයා සාමාන්‍යයෙන් මෑත කාලයේ ප‍්‍රසිද්ධ වෙලා ඉන්නේ ආණ්ඩුවට විරුද්ධව උණුසුමක් මතු වෙනවා නම් ඒක පාලනය කරන්න මැදිහත් වෙන කෙනෙක් විදියට. රනිල් වැලිවේරියේත් කළේ ඒක. එයා වැලිවේරියට ගිහිල්ලා ජනතාවට කිව්වා, මම පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරනවා, ඒ නිසා ශබ්ද කරන්න එපා කියලා. රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කරන විශේෂ ප‍්‍රකාශවලින් වැලිවේරියේ වතුර නැතිව ඉන්න ජනතාවට කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. දැනටමත් රනිල් ප‍්‍රකාශයක් කරලා තියෙනවා. ඒත් වෙච්ච දේකුත් නැහැ.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහනුවර දී රැුස්වීමක් තියලා වැලිවේරියේ සිද්ධිය ගැන කතා කළා. ෆොන්සේකාගේ පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය. ඇත්තටම කෙනෙක් තමන්ගේ පක්ෂයට හරි සංවිධානයට හරි නමක් දා ගන්න ඕන, ඒ නමට ගැළපෙන වැඩපිළිවෙළක් තියාගෙන. එහෙම නැතිව ලස්සනට නෙවෙයි. ෆොන්සේකා කියන්නේ, වැලිවේරියේ ජනතාවට යුද හමුදාව ලවා වෙඩි තැබීම නිසා හමුදාවට කැළලක් වුණා කියලා. උද්ඝෝෂකයන්ට ගහන්න තිබුණේ පොලිසිය දාලාලූ. සමහර විට ෆොන්සේකා කතා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ හමුදාව වෙනුවට පොලිසිය වෙඩි තියන එක වෙන්න ඇති. හමුදාවේ නැතිව පොලිසියේ තුවක්කුවලින් උණ්ඩ පිට වෙලා මිනිස්සු මැරුණාම ප‍්‍රජාතන්ත‍්‍රවාදය කඩ වෙන්නේ නැතිව ඇති.
මීට සමානම කතාවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා ව්‍යාපාරයේ උද්ඝෝෂණයක දී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් කියලා තිබුණා. වැලිවේරියේ දී ජනතාවට වෙඩි තැබීම ආණ්ඩුවේ ඔළමොට්ටළ වැඩක්ලූ. ආණ්ඩුව කරන්නේ මෙවැනි සිද්ධිවලින් නවනීදන් පිල්ලේලාට පාර කපන එකලූ. එක එක පිල්ලිවලට පාර කපනවාට වඩා ලොකු ප‍්‍රශ්නයක් වැලිවේරියේ තියෙනවා. වැලිවේරියේ ජනතාවට බොන්න, නාන්න විතරක් නොවෙයි වැසිකිළි යන්නවත් සුදුසු වතුර නෑ. ඒ නිසා එයාලගේ මූලික අයිතියත් උල්ලංඝනය වෙලා. ඒ වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියත් උල්ලංඝනය වෙලා. ඒක එක එක පිල්ලිවලට පාර කපනවාට වඩා ලොකු ප‍්‍රශ්නයක්. ඒත් ජවිපෙට තියෙන ලොකුම ප‍්‍රශ්නෙ නවනීදන් පිල්ලේට ලංකාවට එන්න පාර කපන එක.

කරූ ජයසූරිය කියන්නෙත් මීට වඩා ලොකු වෙනස්කමක් නැති කතාවක්. ආණ්ඩුව නියපොත්තෙන් කඩන්න තියෙන එකට පොරවක් පාවිච්චි කළා කියලා කරූ කියනවා. ඒ කියන්නේ ගැහුවාට කමක් නෑ, වෙඩි තියපු එකයි අප්සට් එක. මේ කවුරුවත් වැලිවේරියේ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්නයට සංවේදී වෙලා නැහැ. ඒ හැමෝම මේ වෙලාවේ ජනප‍්‍රිය දේශපාලන මාතෘකාවලින් තමන්ගේ කතා හදා ගන්නවා මිසක් ඇත්තටම ජනතාවට මොකද වෙලා තියෙන්නේ කියලා සොයන අය නොවෙයි.

ඒ අතරේ කතාවක් යනවා පොලිසිය හොඳයි, හමුදාව තමයි නරක කියලා. පොලිසිය මැදිහත් කළා නම් හරි, හමුදාව මැදිහත් කළ එකයි වැරදි කියලා. මේකත් මහම මහ ඔළමොට්ටළ කතාවක්. කටුනායක දී රොෂේන් චානකට වෙඩි තිබ්බේත් හලාවත දී ඇන්ටනීට වෙඩි තිබ්බේත් හමුදාව නෙවෙයි, ඔය හොඳයි කියන පොලිසිය. මේ තර්කයට විපක්ෂයේ දේශපාලන පක්ෂ වගේම සංවිධානත් යට වෙලා. හමුදාව මැදිහත් කිරීම වැරදියි කියලා මේ අය කියන්නේ ඒ නිසා. එයාලා වරද්දා ගත්තු තැනක් තියෙනවා, පොලිසිය වගේම හමුදාව කියන්නේත් ධනපති ආණ්ඩුවේ මර්දන උපකරණ. කරූ කියන්න වගේ මුලින් පොලිස් නියපොත්තෙන් කඩන්න හදනවා. අමාරුයි කියලා හිතුණාම හමුදා පොරව ගේනවා. හමුදාවයි පොලිසියයි දෙකම තියෙන්නේ ජනතා සටන් මර්දනය කරන්න.

හැමෝම මේවා ගැන කතා කළාට කර්මාන්ත ශාලාව ගැන කතා කරන්නේ නැති තරම්. ඒ ඇයි කියන ප‍්‍රශ්නය තියෙනවා. මේ කර්මාන්ත ශාලාව අයිති ධම්මික පෙරේරාට. එයා ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයේ ලොකු කෙරුම්කාරයෙක්. ටයිල් කර්මාන්තයේ ඒකාධිකාරය හිමියි. ආණ්ඩුව ධම්මික පෙරේරා වෙනුවෙන් පෙනී ඉන්න එක ගැන නම් සැකයක් නැහැ. මොකද ධම්මික පෙරේරා මේ ආණ්ඩුවෙන් ආයෝජන මණ්ඩලයේ සභාපති විදියට පත් කරලා තිබුණා. ඒ වගේම ප‍්‍රවාහන අමාත්‍යාංශයේ තනතුරකුත් ඔහුට දීලා තිබුණා. නමුත් එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි නිහඬ ඇයි? ඒක අහන්න ඕන ඒ පක්ෂවල මහලේකම්වරුන්ගෙන්ද, භාණ්ඩාගාරිකවරුන්ගෙන්ද කියලා අපි තාම කල්පනා කරමින් ඉන්නවා. අහලා කියන්නම්…

මේ ඔක්කොම එක එක කතා කිය කිය ඉන්න අතරේ වැලිවේරියේ ජනතාව වෙනුවෙන් මොනවා හෝ මතයක් පළ කරන්න පුළුවන්කම තිබුණේ පුවත්පත්වල. නමුත් ධම්මික පෙරේරා දිනපතා පුවත්පත්වල පිටු කාලක දැන්වීමක් පළ කළා. දැන්වීම් කියලා කියන්නේ සමාගම්වල මතය රටට කියන මාධ්‍යයක් විතරක් නෙවෙයි කියලා, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඉන්න අපි දන්නවා. බොහෝ වෙලාවට පුවත්පතකට ලොකු ප‍්‍රාග්ධනයක් හිමි ව්‍යාපාරිකයෙක්ගෙන් දැන්වීමක් ලැබෙන්නේ තවත් එකඟතා කිහිපයක් එක්ක. ඒ නිසා දැන් වැලිවේරියේ ජනතාවට මාධ්‍යවලින් ලැබුණු ඉඩත් ඇහිරෙමින් තියෙනවා කියලා පෙනෙන්න තියෙනවා. මොකද කර්තෘලාගේ කතුරුවලින් බෙල්ල කැපෙන්න වගේ ලිපිවල වැදගත්ම කොටස් කැපෙන්න මේ වගේ දැන්වීම් සෑහෙන්න බලපෑමක් කරනවා.

දැන් මේ ඔක්කොගෙන්ම පේන්නේ වෙන මොකක්වත් නොවෙයි, ජනතාවට විකල්පයක් ඕන. ඒ විකල්පය ගොඩනඟා ගන්න පුළුවන් වෙන්නේ පීඩාවට පත් වෙලා, විසිරිලා, වෙන් වෙන්ව ඉන්න ජනතාව එක් වීම තුළින් විතරයි කියලා.

ජේ.ටී. ගමගේ/ ජනරළ

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: