you're reading...
News/ප්‍රවෘත්ති

මුස්ලිම් අන්තවාදයක් මෙරට ඇත්නම් පෙන්වනු! ගෝරා මහතාට අභියෝගයක්

ගෝටාභය රාජපක්ෂ

අන්වර් මනතුංග

මුස්ලිම් අන්තවාදීන් ඇතුළු අවදානම් 5ක් නිසා ලංකාව අවදානමේ – ගෝරා ගේ ප්‍රකාශය විමසුමක්!

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදෙස් රටවල නියෝජිතයන් සිය ගණනකින් සමන්විත ආරක්ෂක සමුළුවක් ඊයේ පවත්වමින් එහිදී ඔහු විසින් කළ කථාව තුලදී ලංකාව වත්මන් කාලයේ මුහුණ දෙන අවදානම් 5 ක් ගැන සඳහන් කරන ලදී. පිටරට වල ආරක්ෂක සේවයට සම්බන්ධ අයවළුන් ශ්‍රී ලංකා රජයේ වියදමින් මෙසේ කන්නට බොන්නට දී ගෝරා මහතා බලාපොරොත්තු වන්නේ යුධ අපරාධ සම්බන්ධයෙන් තමන්ට එල්ල වී තිබෙන චිත්‍රයට සුදුහුණු ගා ගැනීමටයි.
සාමාන්‍යයෙන් මෙවැනි සමුළුවක් පැවැත්වීමේදී එයට ආරාධිතයන් වශයෙන් පිටරටවලින් සහභාගී වන අයට යාම්ඊම් ගුවන් ටිකට්පත් මෙරට දී ඉඳුම්, හිටුම්, ආහාරපාන ඇතුළුව සියළුම වියදම් ආරාධාන කළ පාර්ශවය විසින් දැරිය යුතුය. විදෙස් නියෝජිතයන් සිය ගණනක් යනු වියදම කොපමණදැයි ඔබටම සිතාගත නොහැකි වනු ඇත. මෙලෙස ගෝරා මහතා විසින් වියදම් කරන්නේ ඔහු විසින් ඇමරිකාවේදී උපයන ලද පුද්ගලික මුදල් නොව මහජනතාවගේ ආහාර පාන සහ අනෙකුත් සේවා වලින් අය කරන බදු මුදල් වලිනි. යුධ අපරාධ චෝදනාවක් තිබේ නම් ඇත්තටම නිර්මාංශිකයෙකැයි කියාගන්නා තමන් එසේ යුධඅපරාධ කර නොමැති නම් කළයුත්තේ යුධඅපරාධ සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයකට මුහුණ දීමයි. එවිට මෙතරම් රජයේ මුදල් නාස්ති කිරීමක් සිදුනොවන්නේය. මගේ මතකයට අනුව මොහු විසින් මෙවැනි සමුළුවක් පසුගිය වසරේදීද තබන ලදී. නමුත් එයින් කිසිදු ප්‍රගතියක් අත්නොවු තත්වයකදී තවදුරටත් මෙලෙස මහජන මුදල් නාස්ති කරන්නේ මන්ද? යැයි ප්‍රශ්න කිරීම සාධාරණ නොවේද?

මෙහිදී ඔහු විසින් කළ කථාව තුලදී ලංකාවේ ජනතාව මුහුණ දී ඇති අවධානම් පහක් ගැන සඳහන් කර ඇති අතර ඉන් එකක් ලෙස මුස්ලිම් අන්තවාදය සටහන් කර ඇත. ඇත්තටම ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් තිබෙන බවක් රජයේ ඉහල පෙලේ කෙනෙකු සඳහන් කළ පලමු අවස්ථාව මෙය වේ. එසේ නම් එය සිදුවුයේ වත්මන් ආරක්ෂක ලේකම්ගේ කාලය තුල විය යුතුය. තමන්ගේ කාල පරිච්ඡේදය තුල එවැනි දෙයක් ඇතිවුවා නම් ඔහු ඒ ගැන ලැජ්ජා විය යුතුය. නමුත් අප දන්නා පරිදි ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ගැන මේ වන තුරු කිසිදු වාර්තාවක් ලැබී නැත. පසුගිය කාලවකවානුව තුල ලංකාවේ මුස්ලිම් ජනතාවට රජයේ අනුග්‍රහය ලබන බෞද්ධ අන්තවාදී කල්ලි කන්ඩායම් වලින් නොයෙකුත් ගැටළු ප්‍රශ්න ඇති වුවද මුස්ලිම් වරුන් විසින් ඒ අරබයා කිසිදු ප්‍රචන්ඩකාරී පිළිවෙතකට නොයන ලදී.

එමෙන්ම මුස්ලිම් සමාජය තුලින් මේ අරබයා කිසිදු අන්තවාදී ප්‍රකාශයක්වත් නොකරන ලදී. නමුත් රජයේ අනුග්‍රහය ලැබු බෞද්ධ අන්තවාදී කල්ලි විසින් දිගින් දිගටම කළේ රටේ සාමය කඩවන ප්‍රකාශයන් සහ ක්‍රියාකාරකම් සිදු කිරීමයි. අප මේවාට රජයේ අනුග්‍රහය ලැබෙන්නේ යැයි පවසන්නේ මේවාට සම්බන්ධ කිසිවෙකුට නීතිමගින් කටයුතු නොකරන ලද තත්වයක් තුලදීය. එමෙන්ම එම අන්තවාදී කල්ලි කන්ඩායම් සමග ආරක්ෂක ලේකම් වරයා සහ ජනාධිපති වරයා එකට සිටින ඡායාරූප පවා මාධ්‍ය තුල පලවිය. ඉදින් අන්තවාදයක් තිබෙන්නේ මුස්ලිම් ජනතාව තුලද? අපට ආරම්භයේ සිටම පෙනුනු පරිදි ආරක්ෂක ලේකම් වරයාට අවශ්‍ය වුයේ ලංකාවේ මුස්ලිම් ජනතාව අන්තවාදයකට පටලවා ගැනීමයි. නමුත් මුස්ලිම් සමාජයේ තිබුණු සංහිඳියාවේ ලක්ෂණ සහ බෞද්ධ සමාජය මුස්ලිම් සමාජය වෙත දැක්වු සුහදතාවය නිසා එය වැලකිණි.

ඇත්තටම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරනු, හලාල් වර්ජනය කරනු, මුස්ලිම් පල්ලි වසනු යන මේ සටන් පාඨ සියල්ල හමුවේ සිංහල බෞද්ධ ජනතාව ඒ අන්තවාදීන්ගේ කූඨ කුමන්ත්‍රණ වලට හසුනොවී තවමත් මුස්ලිම් ජනතාව සමග අත්වැල් බැඳගෙන සිටීම ප්‍රශංසනීයය. මේ නිසා ජාතීන් දෙකඩ කරවන්නට හැදු බෞද්ධ අන්තවාදීන්ගේ සියළුම කූඨ උපක්‍රම ව්‍යර්ථ විය. එමෙන්ම තමන්ට වැදී ඇති යුධඅපරාධ චෝදනාව මුස්ලිම් අන්තවාදයක් ඇතිකර වෙනතකට හරවන්නට උත්සාහ දැරූ ගෝරා මහතාගේ උපක්‍රමද ව්‍යර්ථ විය. දැන් ඔහු ඒ පිළිබඳව සිටින්නේ නොසතුටකින් සහ කෝපයකින් බව නොරහසකි. ඔහුට අද ගෑවී තිබෙන අන්තවාදී සහ ජාතිවාදී පැල්ලම් වලට මුස්ලිම් වරුන් පලි නැත. ඔහුට එම පැල්ලම් වැදුනේ ඔහු විසින් කරගෙන ගිය ක්‍රියාදාමයේ ප්‍රථිඵල මතයි. තවදුරටත් ඔහු නොනවතින්නේ නම් ඔහු පමණක් නොව ඔහුගේ රජයේ ප්‍රධානියා වන අයියාවද අමාරුවේ දමන්නට එය සමත් වන්නේය.

අද රජය සමග සතුරුව සිටින පාර්ශවයන් ගණනාවක්ම රජයෙන් ඉවත් වීමට හේතුව ගෝරා මහතාගේ නොහික්මුණු ක්‍රියාදාමයන්ය. මේවා ජනපති මහින්ද රාජපක්ෂයන් තේරුම් ගත යුතුව ඇත. ඔහු විසින් එය තේරුම් නොගන්නේ නම් දිනක එහි විපාක අත්විඳින්නට සිදුවන්නේ ඔහුට පමණක් නොව පරපුරටමය. මේවා අප මුල සිටම පෙන්වා දුන්නෙමු.

ලංකාවෙහි මුස්ලිම් අන්තවාදයක් තිබෙනවා නම් එය හෙළිකරන ලෙස අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන්නෙමු. ඔහු විසින් එවැනි එක් සිද්ධියක් හෙළි කරන්නේ නම් එයට අප විසින් බෞද්ධ අන්තවාදීන් විසින් කරන ලද අන්තවාදී ක්‍රියාවන් දහයක් පෙන්වන්නෙමු.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: