you're reading...
Articles / ලිපි

පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව ඇදී යන්නේ ඒකාධිකාරී පාලනයක් කරා ය – නවී පිල්ලේ

7E548E14-8C6A-42B8-B137-6543AADC183A_w640_r1_sපිල්ලේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේ කළ කතාව

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් නවි පිල්ලේ මහත්මියගේ ශ‍්‍රී ලංකා සංචාරයේ දී 2013 අගෝස්තු 31 කොළඹ දී පැවති පුවත් පත් සාකච්ඡාවේ ප‍්‍රාරම්භක සටහන්
සුභ උදෑසනක්, ඔබගේ පැමිණීමට ස්තූතියි.මෙවැනි සංචාරයක අවසානයේ දි පවත්වන මෙම අවස්ථාවේ දී සම්ප‍්‍රදායක් ලෙස මේ රටේ මානව අයිතිවාසිකම් තත්වය ගැන නිරීක්ෂණ කීපයක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.

දින හතක් වූ මෙම සංචාරයේ දී මම ජනාධිපති මහින්ද රාජපක්ෂ හා රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සමග සාකච්ඡුා පැවැත් වූයෙමි. විදේශ කටයුතු, අධිකරණ, ආර්ථික සංවර්ධන, ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා, තරුණ කටයුතු හා මානව අයිතිවාසිකම් පිළිබඳව ජනාධිපති විශේෂ නියෝජිතයා ද වන වැවිලි කර්මාන්ත යන අමාත්‍ය වරුන් සහ ආරක්ෂක ලේකම් ඊට අයත්ය. මම අග විනිසුරු, නීතිපති, පාර්ලිමෙන්තුවේ සභා නායක හා උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් සභා ( LLRC වාර්තාව ක‍්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට පත් කළ කාර්ය සාධක බලකායේ ප‍්‍රධානියා ද වන ජනාධිපති ලේකම් මුණ ගැසුනෙමි.
විපක්ෂ නායක හා දෙමළ සන්ධානයේ නායකයා ද ඊට අමතරව ජාතික මානව හිමිකම් කොමිසම යනාදී වශයෙන් රජයේ පාර්ශ්වයන් නොවන දේශපාලකයන් සමග ද සාකච්ඡුා කෙළෙමි. එමෙන්ම කොළඹ, යාපනය හා ත‍්‍රිකුණාමලය යන ප‍්‍රදේශවල මානව අයිතිවාසිකම් ආරක්ෂකයන් සිවිල් සමාජයේ සංවිධාන අටක නියෝජිතයන් හමු වූයෙමි. උතුරු හා නැගෙනහිර පළාත් වල රජයේ හා වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ද තොරතුරු මට ලැබුණේය. මට මෙම ආරාධනය කිරීම ගැනත් මෙම ඉතාමත් සංකීර්ණ සංචාරය සැලසුම් කිරීමේ දී සහ සංචාරයේ දී ලබා දෙන ලද අනගි සහයෝගය ගැනත් ශී‍්‍ර ලංකා රජයට ස්තූති කරමි. මා කැමති තැනකට යෑමටත් මා කැමති දෙයක් දැක බලා ගැනීමටත් අවස්ථාව ලැබෙන බව ආරාධනයේ සඳහන් විය. ඉදිරියේ දී සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන අවාසනාවන්ත සිද්ධීන් කීපයක් හැර එම පොරොන්දුව මුළු කාලය පුරාම රැකිණ.

මෙය මා මෙතෙක් එක රටක සිදු කළ දීර්ඝතම සංචාරය වුවද, මා මුණ ගැසීමට අවශ්‍ය හැම කෙනෙකුටම අවස්ථාවක් ලබා දීමට නොහැකි වීම මට අවධාරණය විය. තවද ශ‍්‍රී ලංකාවේ ජනතාව හා රජය මුහුණ දී ඇති මානව අයිතිවාසිකම් පිළිබඳ සියලු ප‍්‍රශ්න වලට සාධාරණයක් ඉටු කිරීමට ද මට නොහැකිය. සැප්තැම්බර් අග දී ජිනීවා හි මානව අයිතිවාසකිම් කවුන්සලයට වාචිකව අලුත්ම තත්වය ගැන කරුණු ඉදිරි පත් කරන අතර ලබන වසරේ මාර්තු මාසයේ දී සම්පූර්ණ ලිඛිත වාර්තාව ඉදිරිපත් කරන නිසා මා අද අවධානය යොමු කරන්නේ සංචාරය තුළදී හැඳින ගත් මූලික කරුණු කිපයක් ගැන පමණි.

මම මෙහි පවතින මානව අයිතිවාසිකම් ප‍්‍රශ්න කොටස් දෙකකට වෙන් කරනු කැමැත්තෙමි. වසර 27 ක් තිස්සේ රජය හා එල්ටීටීඊය අතර පැවති කුරිරු හා බෙලහීන කරවන යුද්ධය හා ඊට පසු තත්වය හා සමස්ත රටටම අදාල ප‍්‍රශ්න වශයෙනි.
මගේ ඉන්දියානු සම්භවය නිසා සමහර මාධ්‍ය, ඇමතිවරුන්, බ්ලොග් පිටු ලියන්නන් හා නොයෙකුත් ප‍්‍රචාරකයන් වසර ගණනාවක් තිස්සේ මා හැඳින් වූයේ එල්ටීටීඊ යේ ඉත්තෙකු ලෙසිනි. මා ඔවුන්ගෙන් ගෙවීම් ලබන බවත් මා ‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටි කතක් ’’ ලෙසිනුත් හැඳින් විණ. මෙය සම්පූර්ණ මුසාවක් පමණක් නොව ඉතාමත් නින්දිතය. මේ ආකාරයේ අපහාස කිරීම් පසුගිය සතියේ දි උච්චත්වයට පැමිණියේය. ඊට අඩුම වශයෙන් රජයේ ඇමති වරුන් තිදෙනෙකු එකතු වූහ.

පළමුව දකුණූ අප්‍රිකානුවෙක් වන මම ඒ ගැන ආඩම්බර වන බවත් පවසනු කැමැත්තෙමි.දෙවනුව එල්ටීටීඊ ය යනු නොයෙකුත් අපරාධ කළ බොහෝ ජීවිත විනාශ කළ මිනීමරු සංවිධනයකි. ඇත්තෙන්ම මා පළමු වරට ශ‍්‍රී ලංකාවට පැමිණියේ 1999 ජුලි මාසයේ දී එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් මිය ගිය සුප‍්‍රකට ව්‍යවස්ථාදායකයෙකු, සාම ක‍්‍රියාකාරිකයෙකු මෙන්ම උගතෙකු වන නීලන් තිරුචෙල්වම් සැමරුම් උත්සවයකට සහභාගිවීමටය. එල්ටීටීඊ මතකය ගෞරවාන්විත තත්වයට පත් කිරීමට වෙර දරන ඩයස්පෝරාව එවැනි කුරිරු සංවිධානයක් ගරුත්වයට පත් කිරීමට ඉඩක් නොදිය යුතු බව තේරුම් ගත යුතුය.

දශක තුනක් පුරා පැවති ගැටුම් වලින් රටේ විවිධ ප‍්‍රදේශ වල මිය ගිය සියලු ශ‍්‍රී ලාංකිකයන්ට මගේ ආචාරය පිරි නමමි. කුමන තරාතිරමක වුවත් ඒ සියලු පවුල් වලට පොදු කරුණ වන්නේ අහිමි වූ ජීවිත නැවත හිමි කර දිය නොහැකිවීමය. මම ඒ සියලු දෙනාට මගේ හෘදයාංගම ශෝකය පළ කරන්නෙමි. මගේ සංචාරයේ දී තම ඥාතීන්, පවුලේ සාමාජිකයන් අහිමි වූ සාමාන්‍ය ජනතාව මෙන්ම හමුදා පවුල් වල අය මුණ ගැසිණ. මේ සමහරකු මරා දමා ඇත. නැතිනම් අතුරුදහන්ව බොහෝ දුරට මිය යන්නට ඇත.

යුද්ධය අවසන් වුවත් විඳවීම අවසන්ව නැති බව සියලු දෙනාම අවධාරණය කර ගැනීම වැදගත් ය.
මා සංචාරය කළ සියලු තැන් වලදී මුණ ගැසුණු මිය ගිය අයගේ සහ අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සහ යුද්ධයෙන් දිවි ගලවා ගත් අයගේ ගැඹුරු ආතතීය සහ ඔවුන්ගේ ඔරොත්තු දීමේ ශක්තිය බෙහෙවින් කම්පා කරවයි. මෙය වඩාත්ම කැපී පෙනුනේ අවසාන සංග‍්‍රාමය පැවති මුලතිවු කලපුව අසළ දැවී ගිය ගස් කොළන්, විනාශ වූ නිවාස හා අනෙකුත් සුන්බුන් අතර ජීවත්වීමට වෙර දරන පුද්ගලයන් අතරය.

සටන් බිමේ දී, බස් රථ තූළ, මහ මග හෝ රැඳවුම් කඳවුරු තුළ මිය ගිය දස දහස් සිංහල, දෙමළ, මුස්ලිම් හා වෙනත් අය වෙනුවෙන් දුක් වන හා ඔවුන් සිහිපත් කරන අයට ගරු කිරීමකින් තොරව තුවාල සුව වන්නේ හෝ ප‍්‍රතිසන්ධානය සිදු වන්නේ නැත. අතුරුදහන් වූවෙකුගේ බිරිඳ එය මෙසේ කීවාය: ‘ අප කෑම ගන්නා හැම විටම ඔහු වෙනුවෙන් කොටසක් වෙන් කර තියනවා’.

මා ගිය සෑම තැනකදීම සියලු මට්ටම් වල බලධාරීහු 2009 දී එල්ටීටීඊය සමග ගැටුම් අවසන් වීමෙන් පසු ගතවූ සාපේක්ෂ වශයෙන් කෙටි කාලයේ දී නැවත පදිංචි කිරීම, යළි ඉදි කිරීම හා පුනරුත්ථාපනය සම්බන්ධයෙන් අත් කර ගත් ජයග‍්‍රහණ කොපමණදැයි පෙන්වා දීමට උත්සුක වූහ. ප‍්‍රදානකයන්, එ.ජා. ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන වල ආධාර ඇතිව උතුරු හා නැගෙනහිර පළාත් දෙකේම නව මංමාවත්, පාලම්, නිවාස, වෛද්‍ය පහසුකම් හා පාසල් විශාල සංඛ්‍යාවක් නැවත හෝ අලුතින් ඉදිකර ඇත. විදුලිය හා ජල සැපයුම් විශාල වශයෙන් දියුණු කර ඇත. බිම් බෝම්බ බොහොමයක් ඉවත් කර ඇත. ඒ සියල්ල සිත් ගන්නා සුලුය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගැටුම් අවසානයේ දී අවතැන්ව සිටි පුද්ගලයන්ගෙන් 450,000 කට වැඩි සංඛ්‍යාවක් ආපසු නිවෙස් වලට ගොස් ඇත.

මේවා වැදගත් ජයග‍්‍රහණ වන අතර ඒවා ප‍්‍රමාණවත්ව හඳුනාගෙන නැති බව රජය අවධාරණය කරන බ වමට වැටහිණි. කෙසේ වුවත්, භෞතික ඉදි කිරීම් තුළනි පමණක් ප‍්‍රතිසන්ධානය, ගරුත්වය හා චිරස්ථායී සාමය අත් වන්නේ නැත. පැහැදිලිවම සත්‍යය, යුක්තිය හා යුද්ධයේ දී පීඩාවට පත් ජනතාවට වන්දි ලැබීම සඳහා සමස්ත පිවිසුමක් අවශ්‍යය. ඒ සඳහා මේ ක්ෂේත‍්‍රවල උපකාර කිරීමට OHCHR සංවිධානයේ ආධාර ලබා දිය හැකි බව මම නැවත නැවත කියා සිටියෙමි.

සාමාන්‍ය තත්වයට පත්වීම වළක්වන්නා වූද, ඉකම් ණින්ම නිවැරදි නොකරන්නේනම් අනාගත අසහනයේ බීජ වන්නා වූද, නිශ්චිත සාධක ගණනාවක් පවතී. ඒ තත්වය පුද්ගල නිදහස හා මානව අයිතිවාසිකම් සීමා කිරීම හෝ අහිමි කිරීම හෝ නීතිය ඉටු නොවීම හා නීතියේ ආධිපත්‍යයේ පිරිහීම හා අඩු වැඩි වශයෙන් බද්ධව පවතී.ආරම්භයේ සිටම ශ‍්‍රී ලංකාව යුද්ධයෙන් පසුව සැබෑ සාමය හා ප‍්‍රතිසන්ධානය අත්කර ගනු ඇතැයි මට මහත් විශ්වාසයක් තිබිණ. ගැටුමේ දී දෙපාර්ශ්වයෙනම් සිදු කරන ලද අපමණ වූ යුද අපරාධ හා අනෙකුත් උල්ලංඝණය කිරීම් ගැන පූර්ණ, විනිවිද භාවයෙන් යුත් අපක්ෂපාති විමර්ශනයක් බෙහෙවින්ම අවශ්‍ය වුවද LLRC වාර්තාව ඉන් බැහැර වුවත් එය ප‍්‍රතිසන්ධානය සඳහා වැදගත් පියවරක් සේ සැලකුවෙමි. මානව හිමිකම් කවුන්සලය ඉතාමත් වැදගත් LLRC නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමත්, ඉදිරිපත්ව ඇති බොහෝ චෝදනා හා සැක සංකා ගැන නිසි විමර්ශනය කිරීමත් ගැන ප‍්‍රගතියක් දැකිමට දැඩි උනන්දුවෙන් පසුවන බව ප‍්‍රකාශ කර තිබිණ.

මානව අයිතිවාසිකම් නිශ්චිතවම වැඩි දියුණු කිරීම පිළිබඳව අගනා පුළුල් නිර්දේශ ගණනාවක්ම LLRC වාර්තාවේ අඩංගු වන අතර, මෙම නිර්දේශ වලින් සමහරක් කොපමණ දුරට ක‍්‍රියාත්මක කර ඇත්ද යන්න ගැන තොරතුරු ජනාධිපති ලේකම්ගෙන් ලබා ගැනීමට මම උනන්දු වූයෙමි. මගේ කාර්යාලය ඉදිරියේ දී LLRC වාර්තාව අනාගතයේ කි‍්‍රයාත්මක කිරීමේ සැබෑ ප‍්‍රගතිය ගැන වඩාත් පුළුල්ව පරික්ෂාවෙන් සිටින අතර කිසියම් ප‍්‍රගතියක් වන්නේනම් එය මානව හිමිකම් කවුන්සලයට මා ඉදිරිපත් කරන වාර්තාවට ඇතුළත් කරමි.

මම දැන් උතුරු හා නැගෙනහිර පළාත් වලදී මට ඉදිරිපත් කළ වෙනත් ප‍්‍රශ්න ගැන කෙටියෙන් සඳහන් කරන්නෙමි. ඒවා මම නොයෙකුත් ඇමතිවරුන්ට ද ඉදිරිපත් කෙළෙමි.

උතුරු පළාත් සභාව සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම ගැන මම සතුටු වෙමි. එය සාමකාමී, නිදහස් හා සාධාරණ පරිසරයක් යටතේ පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන අතර බලය බෙදා හැරීම පිළිබඳ වැදගත් අවස්ථාවක් වනු ඇතැයිද විශ්වාස කරමි.

යුද හමුදාව මුල් බැස ගන්නා ආකාරයත්, සිවිල් කටයුතු සම්බන්ධයෙන්, නිදසුන් වශයෙන් අධ්‍යාපනය, කෘෂිකර්මය හා සංචාරක කර්මාන්තයේ පවා මැදිහත්වීම ගැනත් මම සැලකිල්ල යොමු කෙළෙමි. හමුදා කඳවුරු හා මධ්‍යස්ථාන ඉදි කිරීමට පමණක් නොව නිවාඩු නිකේතනයක් ඉදි කිරීමට පවා පුද්ගලික ඉඩම් අත්පත් කර ගැනීම ගැන පැමිණිලි මට අසන්නට ලැබිණ. එය දැනටමත් ඉඩම් පිළිබඳව රජය මුහුණ දී ඇති සංකීර්ණ ප‍්‍රශ්නය වඩාත් ගැටලු සහගත කරවන අතර එය විසඳීම සංකීර්ණ හා දුෂ්කර කාර්යක් විය හැකිය. පැහැදිලිවම හමුදාවට කඳවුරු පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් පවතී. එහෙත් යුද්ධය අවසන්ව වසර හතරක් පසුව ඇතත් ප‍්‍රජාව තුළ හමුදාවේ ක‍්‍රියාත්මක වීමත් හැසිරීමත් නිශ්චිතවම හමුදාමය හෝ යළි ඉදි කිරීමේ කාර්යන් සඳහා අවශ්‍ය ප‍්‍රමාණය ඉක්මවා යෑමකි.

මෙතරම් විශාල හමුදාවක් සැලකිය යුතු ප‍්‍රමාණයකින් එක වරම නිෂ්ක‍්‍රීය කළ නොහැක්කක් බව ආරක්ෂක ලේකම් පෙන්වා දීම මම තේරුම් ගතිමි. එහෙත් යුද්ධයෙන් පීඩාවට පත් ප‍්‍රදේශ වලින් හමුදාව ඉවත් කිරීමේ ප‍්‍රයත්නය කඩිනම් කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටියෙමි. හමුදාව සහ වෙනත් ආරක්ෂක බලකායන් මහා පරිමාණයෙන් මෙම ප‍්‍රදේශවල දිගටම පවත්වා ගැනීම බොහෝ දෙනා පීඩාවක් සහ හිරිහැරයක් සේ දකින අතර හිටපු සටන්කරුවන් හා ආපසු පැමිණියවුන් ගැන පවත්වන ඉහළ මට්ටමේ සෝදිසිය පීඩාකාරී වන අතර සමහර විට හිංසාකාරී ලෙසද හැඳින්විය හැකිය.
ස්ත‍්‍රීන් සහ ගැහැණු ළමයින්, විශේෂයෙන්ම ස්ත‍්‍රී ගෘහමූලිකාවන් සිටින ස්ථානවල ලිංගික හිරිහැර හා අපචාර වලට ලක්වීමේ අනතුර ගැන අසන්නට ලැබීමෙන් මම බෙහෙවින් කණස්සල්ලට පත්වූයෙමි. ආරක්ෂක ලේකම් සමග පැවති රැස්වීමට පැමිණි ඇමතිවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන් හා හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන්ට මම මේ ප‍්‍රශ්නය ඉදිරිපත් කෙළෙමි. ලිංගික අපචාර කිසිසේත් නොඉවසන ප‍්‍රතිපත්තිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට මම ඔවුන්ට අභියෝග කෙළෙමි.

තවමත් සිටින රැඳවියන්ගේ තත්වය ගැන මම විමසිලිමත් වූයෙමි. ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම කඩිනම් කිරීමෙන් හෝ ඔවුන් පුනරුත්ථාපනය සඳහා මුදා හැරීමෙන් මෙම තත්වය අවසන් කිරීමට ඉක්මන් පියවර ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටියෙමි.

දිගු කලක් තිස්සේ කණස්සල්ලට කාරණයක් වූ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට කාලය පැමිණ ඇතැයි මම යෝජනා කෙළෙමි.

ඉමහත් චිත්ත පීඩාවට පත්වීමේ ඉතිහාසයක් ඇති නිසා උතුරේ උපදේශනයට හා මනෝසමාජයීය සහය සඳහා දැඩි අවශ්‍යතාවයක් පවතී. මේ ක්ෂේත‍්‍රයේ රාජ්‍ය නොවන සංවිධාන වල ක‍්‍රියාකාරිත්වය සීමා කර තැබීම පිළිබඳව පුදුමයටත් කණගාටුවටත් පත් වූයෙමි. මෙවැනි ආධාරකිරීම් සඳහා ඇති බාධක රජය ලිහිල් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

සොයා ගත නොහැකි හෝ අතුරුදහන් කළ සාමාන්‍ය ජනතාවගේ සහ සොල්දාදුවන්ගේ ඥාතීන් මම මුණ ගැසුණෙමි. ඔවුහු තවමත් තම ආදරණීයයන් සිටින්නේ කොතැනදැයි දැන ගැනීමට උනන්දු වෙති. මෙම ප‍්‍රශ්නය විසඳීමේ අත්‍යාවශ්‍යතාවය ඔවුහු අවධාරණය කරති. මෙය ඉතාමත් හොඳින් ප‍්‍රදර්ශනය වූයේ ඊයේ පැවති බලහත්කාරයෙන් අතුරුදහන් කළ පුද්ගලයන්ගේ අන්තර් ජාතික දිනය සැමරීමට මා ද සහභාගි වූ රැස්වීම් දෙකේ දීය. එහිදී මෙම අවශ්‍යතාවය තදින්ම කැපී පෙනුණි.

අතුරුදහන් කිරීම් පිළිබඳව නව කොමිසමක් පත් කිරීම ගැන වැඩි විස්තර රජයෙන් ඉල්ලා සිටි මම කලින් පත් කරන ලද මෙවැනි කොමිසන් සභා පහට වඩා මෙය ඵලදායීවීමේ අවශ්‍යතාවය අවධාරණය කෙළෙමි. මෙය උතුරු හා නැගෙනහිර සිදු වූ අතුරුදහන් කිරීම් පිළිබඳව පමණක් ආවරණය කරන බව දැන ගැනීමට ලැබීමෙන් මම කණගාටුවට පත් වූයෙමි. ඉන් අදහස් වන්නේ මෑත වසර වල කොළඹ හා අනෙකුත් ප‍්‍රදේශ වලින් වාර්තා වූ ‘සුදු වෑන්’’ අතුරුදහන් කිරීම් බොහොමයක් මෙහි විෂය පතයට හසු නොවීමයි.

නව අතුරුදහන්වීම් පිළිබඳව පරික්ෂා කිරීමේ කොමිසමේ මැන්ඬේට් බල අධිකාරය වඩාත් පුළුල් කිරීමටත් මෙය අතුරුදහන් කිරීමේ ප‍්‍රශ්නය සදහටම විසඳීමේ පුළුල්තම ප‍්‍රයත්නයක් බවට පත්කර ගැනීමේ අවස්ථාවක් කර ගැනීමටත් මම රජයෙන් ඉල්ලා සිටියෙමි. එමනිසා අතුරුදහන් කිරීම් දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ අපරාධයක් බව ප‍්‍රකාශ කිරීමේ නව යෝජනාව ගෞරවයෙන් පිළිගන්නා අතර එය අප‍්‍රමාදව ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. අතුරුදහන් කිරීම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය අපරානුමත කිරීමෙන් හා අතුරුදහන් කිරීම් පිළිබඳ ක‍්‍රියාත්මක කණ්ඩායමට ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කිරීමෙන් තම කැපවීම ගැන ජාත්‍යන්තර ප‍්‍රජාවට පැහැදිලි සංඥාවක් ලබා දීමට රජයට ඇති අවස්ථාවකි. මාර්තු මාසයේ මානව හිමිකම් කවුන්සලයට මගේ වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර මෙය සිදු වන්නේ නම් වඩාත් අගය කළ හැකිය.

යුද්ධය අවසාන වූ අවධියේ දී සහ ඊටත් පැරණි සිද්ධීන් ගණනාවක් ගැන සිදු වූයේ කුමක්ද යන්න විමර්ශනය කිරීමේ දී විශ්වාසය රැඳවිය හැකි කිසියම් ප‍්‍රතිඵලයක් මානව හිමිකම් කවුන්සලය අපේක්ෂා කරයි.

2006 දී ත‍්‍රිකුණාමලය වෙරළේ දී ශිෂ්‍යයන් පස් දෙනකු මරා දැමීමේ සිද්ධිය ගැන එය සිදුවන අවස්ථාවේ දී අසළ සිටි පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ 12 ක් අත් අඩංගුවට ගැනීමෙන් පරීක්ෂණ නැවත පන ගැන්වීම ගැන මම සතුටට පත් වන්නෙමි. මෙම සිද්ධියේ ප‍්‍රගතිය හා එම වසරේ දීම එම ස්ථානයට කිලෝ මීටර් කීපයක් දකුණේ ්ක්‍ත්‍ සහන සේ්වකයන් 17 ක් මරා දැමීම ගැන මෙතෙක් නොවිසඳී ඇති කරුණු ගැනද මම උනන්දුවෙන් බලා සිටිමි.
සිවිල් ජනතාවට අනතුරු සිදුවීම් සහ නඩු විභාගයක් නැතිව මරා දැමීම පිළිබඳව එල්ලවී ඇති චෝදනා තවදුරටත් විමර්ශනය කිරීමට හමුදාව විසින් පත් කරන ලද පරීක්ෂණ උසාවියක් ගැන වැඩි විස්තර මම ඉල්ලා සිටියෙමි. අතීතයේ පත්කරන ලද විමර්ශන හා පරීක්ෂණ කොමිසන් ගණනාවක් අතර මග නැවතී ඇති තත්වයක් යටතේ හමුදාව විසින් තමනව් විමර්ශනය කිරීම විශ්වාසය තහවුරු නොකරන්නක් බව ද පෙන්වා දුනිමි. විශ්වාසය රැුඳවිය හැකි ජාතික ක‍්‍රියා පටිපාටියක් නොවන තාක් ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටීම නොනවතිනු ඇත.

අඩුම වශයෙන් මරණ තුනක් සිදු කළ වැලිවේරිය මහජන උද්ඝෝෂණ පාලනය කිරීමට පොලීසියේ සහයට හමුදාව මෙහෙයවීම ජනතාව තුළ කම්පනයක් ඇති කරවීය. මෙම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඉක්මණින්ම පවත්වා වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය මම ආරක්ෂක ලේකම්ට අවධාරණය කෙළෙමි.

විමර්ශන ලිපි ගොනු ගණනාවක්ම තවම අවසන්ව නැත. නිදසුන් වශයෙන් 2012 දී වවුනියාව සහ වැලිකඩ බන්ධනාගාරවල අත් අඩංගුවේ සිටි සිරකරුවන් මිය යෑම දැක්විය හැකිය. රජය දැන් පොලිස් බලතල ආරක්ෂක අමාත්‍යාංශයෙන් අ ̈තින් ඇති කළ නීතිය හා පාලනය පිළිබඳ අමාත්‍යාංශයකට පවරා ඇත. නමුත් මෙය උපරිම වශයෙන් අර්ධ වෙන් කිරීමක් ලෙෂ හඳුන්වන්නට හැකිය. මක්නිසාද යත් සිවිල් අමාත්‍යාංශයකට පවරනු වෙනුවට අමාත්‍යාංශ දෙකම ජනාධිපති යටතේම තබා ගැනීමක් ලෙෂ හැඳික්ව්ය හැකිය.

2007 සිටම කෙටුම් පත් අවස්ථාවේ පවතින සාක්ෂිකරුවන් සහ වින්දිතයක් ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ශ‍්‍රී ලංකාවේ තදින්ම පවතින බව මම රජයට සිහිපත් කෙළෙමි.

මම, මෑතක සිට පල්ලි හා මුස්ලිම් දේවස්ථාන වලට පහරදීම ඇතුළත් ආගමික සුළුතරයට එරෙහිව වෛරය හා ප‍්‍රචණ්ඩත්වයට පෙළඹවීම උත්සන්න වීමත්, ඒවා සිදු කරන්නන්ට එරෙහිව පියවර නොගැනීමත් ගැන කණසල්ල පළ කෙළෙමි. මෙම ප‍්‍රශ්නය රජය සුලු කොට තැකීම ගැන මම විමතියට වූයෙමි. එවැනි ක‍්‍රියා කිසිසේත් නොඉවසන බවට හැකි ප‍්‍රබලම සංඥා ලබා දෙනු ඇතැයි ද වගකිව යුත්තන්ට ( වීඩියෝ පටි වලින් එම පුද්ගලයන් පහසුවෙන් හඳුනා ගත හැකිය.) දඬුවම් පමුණුවනු ඇතැයි ද මම අපේක්ෂා කරමි. වෛරී ප‍්‍රකාශන පිළිබඳ නව පනතක් තමා යෝජනා කළ බව ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා ඇමතිවරයා මා සමග පැවසුවේය. එවැනි නීති ගැන අධ්‍යයනයක් අප මෑතකදී නිම කළ නිසා එම ක්ෂේත‍්‍රයේ දී සහාය ලබා දීමට අපි කැමැත්තෙමු. අධිකරණ ඇමති වරයා ද මෙම ඇමති වරයා සමග සුළුතරයන් පිළිබඳ ස්වාධීන විශේෂඥයකුගේ පැමිණීමට ඔවුන්ගේ සහය ලබා දෙන බව මා සමග පැවසූහ. එය හැකි ඉක්මණින් සිදු වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. රට පුරාම භාෂා තුනම හඳුන්වාදීමේ රජයේ ප‍්‍රතිපත්තිය මම අගය කරමි.

මම දැන් මගේ සංචරයෙදී මා කැළඹීමට පත් කළ කරුණු කෙරේ යොමු වන්නෙමි. එනම් මානව අයිතිවාසිකම් ආරක්ෂකයන් ගණනාවක් හා අඩුම වශයෙන් පූජකයන් දෙදෙනෙකු හා ජනමාධ්‍යවේදීන් හා මා හමුවීමට සැලසුම් කළ හෝ මා හමු වූ පුරවැසියන් බොහෝ දෙනෙකු හිරිහැර කිරීම් හා බියවැද්දීම් වලට ලක් වූහ. මුලතිවු ප‍්‍රදේශයට මා යාමට පෙර හා ඉන් පසුව පොලිසිය හෝ හමුදාව හෝ ඒ දෙකම එහි ගම් හා ජනාවාස වලට ගොස් ජනතාව හමු වූ බවට වාර්තා මට ලැබිණ. ත‍්‍රිකුණාමලයේ දී මා හමුවූ පුද්ගලයන්ගෙන් සිදු වූ කතාබහ ගැන පසුව ප‍්‍රශ්න කර ඇත.

විවේචනය බොහෝවිට ප‍්‍රහාරයට ලක්වෙන හෝ සමහර විට එය සම්පූර්ණයෙන්ම නිහඬ කරන රටක් වන ශ‍්‍රී ලංකාවේ මේ ආකාරයට සෝදිසියට ලක්වීම හා හිරිහැර පැමිණවීම රට වඩාත් නරක තත්වයකට පත් කෙරෙන්නක් බව පෙනේ. එවැනි දේ කුමන අවස්ථාවක හෝ පිලිගත නොහැකි වුවත් වඩාත් සුවිශේෂ වන්නේ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ සංචාරයක් තුළ එවැනි දේ සිදුවීමයි. එ.ජා. නිලධාරීන් හා කතාබහ කිරීම නිසා පලිගැනීමට ලක්වීම එක්සත් ජාතීන් බරපතළ කාරණයක් සේ සලකන බවත් මෙම සංචාරය පිළිබඳව මානව හිමිකම් කවුන්සලයට වාර්තා කිරීමේ දී මෙම සිද්ධීන් ඇතුළත් කරන බවත් අවධාරණය කරමි.

මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්ට හා ජනමාධ්‍යවේදීන්ට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වන හිරිහැර හා බියවැද්දීම් නතර කිරීමට නියෝග කරන මෙන් මම ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමි. 2005 සිට මේ වන තෙක් ජනමාධ්‍යවේදීන් 30 කට වඩා මරා දමා ඇති අතර කාටුන්ශිල්පි ප‍්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු කීප දෙනෙකු අතුරුදහන් වී ඇත. තවත් බොහෝ දෙනකු රට හැර ගියහ. පුවත්පත් හා රූපවාහිනී කාර්යාල කඩා බිඳ දමා ඇත. නැතිනම් ගිනිබත් කර ඇත. යාපනයේ පළ වන උදයම් වැනි පුවත් පත් අවස්ථා කීපයකදීම එවැනි තත්වයන්ට මුහුණ දුන්හ. බිය නිසා පනවා ගත් ස්වයං වාරණයෙන් නොලියන ලිපි ගැන ජනමාධ්‍යවේදීහු වාර්තා කරති. වෙනත් අය තම ලිපි පළ කිරීමට කතුවරුන් බියවෙන බව පවසති. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශන නිදහස නොකඩවාම ප‍්‍රහාරයට ලක්වේ. අසල්වැසි සාර්ක් රටවල මෙන් තොරතුරු ලබා ගැනීමේ පනතක් සම්මත කර ගන්නා මෙන් මම ඉල්ලා සිටියෙමි.

යුද්ධය අවසන් වූවා විය හැකිය. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටපත් කොට නීතියේ ආධිපත්‍යය හීන කෙරිණ. කලකට පෙර මැතිවරණ කොමිසම හා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතන වල පත්වීම් නිර්දේශ කළ ව්‍යවස්ථා සභාව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායකයේ බලය පිළිබඳ වූ වැදගත් සංවරණ හා තුලන ක‍්‍රමය දුර්වල කෙරිණ. මෙම වසරේ මුලදී අගවිනිසුරුවරිය විවාදාත්මක ලෙස ඉවත් කිරීම හා ජ්‍යෙෂ්ඨ අධිකරණ පත්වීම් පැහැදිලිවම දේශපාලනීයකරණය වීම අධිකරණයේ ස්වාධීනත්වය ගැන වූ විශ්වාසය පළුදු කරවීය.

යුද්ධය අවසානයේ දී නව ගතිකත්වයෙන් පිරි සියල්ලන් ඇතුළත් කර ගන්නා අවස්ථාවක් උදා වුව ද ශ‍්‍රී ලංකාව අධිපතිවාදී පාලනයක් කරා වැඩි වැඩියෙන් යොමුවීමේ ලක්ෂණ පෙන්නුම් කිරීම ගැන මම බෙහෙවින් කණස්සල්ලට පත් වන්නෙමි.
අවසාන වශයෙන් තරමක් බලාපොරොත්තු සහගත සිද්ධියක් ලෙස, රජයේ යෝජනාවක් අනුව මම ඊයේ යොවුන් පාර්ලිමෙන්තුවට ගියෙමි. 2010 දී පිහිටුවන ලද මෙම තරමක් වෙනස් ආයතනය රටේ විවිධ ප‍්‍රදේශ වල දීප්තිමත්, උද්‍යෝගිමත් ශිෂ්‍යයන්ගෙන් පිරී පවතී. ඔවුහු කැපවීම හා ඉවසීම හා සියල්ලන් ඇතුළත් කර ගන්නා පිවිසුමක් පිළිබිඹු කරති. ඡන්දයෙන් තේරී පත්වන තරුණ කණ්ඩායම් වලින් සමන්විත මෙම පාර්ලිමෙන්තුව 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා LLRC වැනි වැදගත් ප‍්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට මසකට වරක් රැස්වෙති. ( LLRC වාර්තාව පාර්ලිමෙන්තුවේ සාකච්ඡා කිරීමට පෙර ඔවුහු ඒ ගැන සාකච්ඡා කළ බව කීහ.)

යොවුන් පාර්ලිමෙන්තුවේ වත්මන් හා අනාගත සාමාජිකයන් – ඔවුන්ගෙන් තිදෙනෙක් මා ඉදිරියේ අගනා කතා පැවැත් වූහ. – ප‍්‍රධාන දේශපාලන වේදිකාවට ඔවුහු පිවිසෙන විට මෙම සුන්දර දිවයිනේ ඉවසීමෙන් යුත් සහජීවනයේ නව යුගයක් උදා වනු ඇතැයි මම අපේක්ෂා කරමි. ඉහතින් මා සඳහන් කළ ප‍්‍රශ්න තිබුණ ද මට උණුසුම් පිළිගැනීමක් හා ආගන්තුග සත්කාරයක් ලැබිණ.

උපුටා ගැනීම – රන්දොර

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: