you're reading...
Articles / ලිපි

ජිනීවා: ශ්‍රී ලංකාන්ඩුවේ සැබෑ වෙනස

ravinatha-aryasinha

තනාපති රවිනාථ

දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාන්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව ගෙන ගිය සංග්‍රාමකාරී පිළිවෙත හා සසඳන විට අද සිදුවන දේ ඇදහිය නොහැකි තරම් ය.

2009 මැයි මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම විශේෂ සැසි වාරයක් කැඳවන ලද්දේ ඒ සඳහා අවශ්‍ය වූ රටවල් 16ක කැමැත්ත ලබා ගැනීමට යුරෝපා සංගමය සමත් වීමෙන් පසු ය. එම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ස්විස්ටර්ලන්තය විසිනි.  පසුගිය දෙවසර තුළ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා හා සසදන විට එම යෝජනාව අහිංසක එකකි. එම අවස්ථාවෙහි යුරෝපා සංගමය ඇතුළු එම යෝජනාවට සහාය දැක්වූ රටවල් සමඟ සාකච්ජා කොට එකඟතා යෝජනාවක් සකස් කිරීමට ඉඩ තිබුණි. එනමුත්   එවකට රටතුළ තිබූ යුද ජයග්‍රහණයේ උන්මාදයෙන්ම කටයුතු කරමින් ශ්‍රී ලංකාන්ඩුව මානව හිමිකම් කවුන්සිලය තුළ පසමිතුරු ආකල්පයක් ගත්තේ ය.

ඇත්ත වශයෙන්ම නම් 2012 සහ 2013 වසරයන්හි මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාන්ඩුව අත්විඳි පරාජයන්ට පදනම වැටුනේ එම ආකල්පය ද නිසා ය.  ශ්‍රී ලංකාන්ඩුව එක්සත් ජාතීන් හමුවෙහි පරාජය වූවා පමණක් නොව යුද අපරාධ දක්වා දිවෙන චෝදනා වැළක ආරම්භය ද ඒ සමඟ ඇති විය. මන්ද යත් 2009 විශේෂ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාන්ඩුව දැක්වු ආකල්පයෙන් පෙනී ගියේ යුද්ධකාලීන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්දයෙන් කිසිදු වගවීමකට ශ්‍රී ලංකාන්ඩුව සූදානම් නැති බව නිසා ය.

යුද ජයග්‍රාහී මානසිකත්වය මතම තව දුරටත් ක්‍රියා කළ ලංකාන්ඩුව යුරෝපා සංගමය ලංකාවට ලබා දී තිබූ ජී.එස්.පී. ප්ලස් ආර්ථික සහනය නැති කර ගැනීමට ක්‍රියා කළා ය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍ර තුනක් පමණක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ යුරොපා සංගමයේ කොමිසමට ශ්‍රී ලංකාවට ඇතුළු වීමටවත් අවසර දුන්නේ නැත. එනමුත් අවසානයේ දී තත්ත්වය නරක බව අවබෝධ  වී  ශ්‍රී ලංකාන්ඩුව පිටු 200 ඉක්මවූ ස්වකීය වාර්තාවක් යුරෝපා සංගමය වෙත බාර දුන්නේ ය. අද මෙන්ම එකළත් ඇමැති ජී.එල්. පීරිස්  ශපථ කලේ තමා සහනය ලබා ගන්නා බවයි. එනමුත් යුරෝපා සංගමයේ කොමිසම සහනය අහෝසි කරන ලෙස නිර්දේශ කළේ ය. මෙම සහනය නැතිවීම නිසා අද වන විට අඩුම වශයෙන් ලක්ෂයට ආසන්න ඇඟළුම් සේවක සේවිකාවන්ගේ රුකියා අහෝසි වී තිබේ.

ඉන් අනතුරුව 2010 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් විසින් පත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කමිටුවට එරෙහිව ද යුද්ධ ප්‍රකාශ කළ ශ්‍රී ලංකාන්ඩුව එයට ද  දොර වැසුවේ ය. විපාකයක් වශයෙන් එම  කමිටුව යුද්ධ කාලීන මානව හිමිකම් කෙළසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාන්ඩුවට බරපතල වෝදනා රැගත් වාර්තාවක් 2011 දී ඉදිරිපත් කළේ ය.

අනතුරුව 2012 මාර්තුවේ දී මානව හිමිකම් කවුන්සිලයට එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් කෙළෙසීම්  සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එම  අවස්ථාවෙහි හෙංචයින් සහ කළහකාරීන් ඇතුළු සියයකට ආසන්න දූත පිරිසක් ජිනීවා කරා එවූ ශ්‍රී ලංකාන්ඩුව බිය ගැන්වීමෙන් සහ  මැර බලයෙන් එම යෝජනාව යටපත් කිරීමට වැර දැරුවේ ය. යෝජනාව අනපේක්ෂික වැඩි ජන්දයෙන් සම්මත විය. එම යෝජනාව ශ්‍රී ලංකාන්ඩුව ගණනකටවත් ගත්තේ නැත. 2013 මාර්තුවේ දී නිර්දේශ ඉටු කළ යුතු කාල සටහනක් සහිතව තවත් යෝජනාවකට මඟ පෑදුනේ එම ගණන් නොගැනීම නිසා ය.

ඉන් පසු ඇති වූ වෙනස හුදු මතුපිට ඇස් බැන්දුමක් වුවත් ලැයිස්තුවකට ගැනීමට තරම් අපූරුය. වසර ගනනාවක් වසා දමා තිබූ ත්‍රිකුනාමළයේ සිසුන් පස් දෙනා ඝාතනය කිරීම පිළිබඳ නඩු විභාගය යළි අරඹන ලදී. එමෙන්ම වසා දමා තිබූ තවත් එවැනි ඝාතනයක් වූ මුතූර් හි සහන සේවයින් 17දෙනාගේ මරණ පිළිබද පරීක්ෂන යළි ඇරඹුනි.  දැනටමත් සියයට 80 තරම් ඉටු කර හමාර යැයි කියමින් සිටි  උගත් පාඩම් කොමිසමේ නිර්දේශ තවත් 50ක් ක්‍රියාකාරී සැළැස්මට ඇතුළත් කරන ලදී. කරන්නේ නැතැයි ආරක්ෂ ලේකම් රාජපක්ෂ ප්‍රසිද්ධයේ පරදු තිබූ පොලිස් සේවාව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කර වෙන්ම අමාත්‍යාංශයක් යටතට පත් කෙරුනි. සීමා සහිත අධිකාරයක් සහිතව වුව, 2009න් පසු සිදුව ඇති අතුරුදහන්වීම්  පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කෙරුණි. ඒත් සමඟම අතුරුදහන් කිරීම් අපරාදයක් බවට පත් කැරෙන නීති කෙටුම්පතක් සකස් කර හමාර කෙරුණි. රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රසිද්ධ අතකොලුවක් සේ ක්‍රියා කරමින් සිටි ජාතික මානව හිමිකම් කොමිසම තරමක ස්වාධීනත්වයක් පෙන්වන්නට පටන් ගත්තේ ය.

2009 දී ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ යෝජනාව කවුන්සිලයට ඉදිරිපත් කළ ස්විස්ටර්ලන්ත ආන්ඩුවේ මැදිහත්වීම මත 2013 දී ශ්‍රී ලංකාන්ඩුව සත්‍ය සෙවීමේ සහ සමාදානයේ දකුණු අප්‍රිකානු මාදිලිය පිළිබඳ සාකච්ජාවන්ට එකඟ වූවා ය.

මේ සියල්ලටම ඉහලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට ශ්‍රී ලංකාවට පැමිණ ගවේෂනයක යෙදෙන ලෙස කරන ලද ආරාධනය කැපී පෙනෙයි. යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් කොමිසමට සහ එජා මහ ලේකම්ලේ විශේඥ කමිටුවට දොර වැසූ ලංකාන්ඩුව මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රි ලංකා රජයේ වෛරයට ලක්ව සිටි මහ කොමසාරිස් නවී පිල්ලේ ට ආරාධනය කළා ය. ඇය සහ ඇගේ පිරිවරට දින පහක් පුරා ගවේශනාත්මක හමුවීම් බොහෝ ගනනාවකට ඉඩ පෑදුනි. අන්තිමේ දී ඇයට ශ්‍රී ලංකාවේ අගනුවර පුවත් පත් සාකජ්චාවක් පවත්වා ශ්‍රී ලංකාන්ඩුවේ මානව හිමිකම් වාර්තාව අභියෝගයට ලක් කිරීමට ද ඉඩ ලැබුණි.

2009 මැයි මාසයෙහි  ජිනීවා මානව හිමිකම් කොමිසමෙහි ශ්‍රි ලංකාන්ඩුව දක්වන ලද සංග්‍රාමික ආකල්පය  සමඟ සසඳන විට මේ වනාහී අහසට පොළව මෙන් වෙනසකි. එපමණක් නොව නවී පිල්ලේ බොහෝ පිරිස් හමුවෙමින් රට තුළ ගවේශනයේ යෙදෙත්  දී කලින් එක්සත් ජාතීන්ට එරෙහිව මාරක වේසයෙන් කතා දෙමින් උපවාස කරමින් රට කැළඹූ වීරවංශ වැන්නෝ දෙමුඛයම වසා ගත්වනම සිටියහ. ඇය විසින් කොළඹදී ප්‍රකාශ කරන ලද කරුණු 2009 මැයි මාසයේ දී මානව හිමිකම් කවුන්සිලය හමූයේ මා කියා සිටි ( එනිසාම ඝාතනයකළ යුතු ද්‍රෝහියකු  ලෙස රාජ්‍ය ප්‍රචාරකයින් විසින් නම් කරන ලද ) කරුණු වලට වඩා බොහෝ බර පතල ය.  සිව් වසරක වෙනස!

එපමණක් ද? අභ්‍යන්තර සරණාගතයින් පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාට 2014 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණ තතු සොයා බලන ලෙස ආරාධනය කිරීමටත් තවත් එවැනි විශේෂ නියෝජිතයින් දෙදෙනෙකුට ඉදිරියේ දී ආරාධනය කිරීමටත් ලංකාන්ඩුව දැන් එකඟ වී තිබේ.

එළෙසම කැපී පෙනෙන තවත් ප්‍රතිහාර්‍යක් තිබේ. එය නම් තමනට බලය දිනා ගැනිමට නොහැකි බව දැන දැනම සහ අහෝසි නොකරන්නේ නම් අවලංගු කාසියක් බවට පත් කරන බවට ශපථ කළ 13 වන සංසෝධනය යටතේම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රාජපක්ෂ රජය ක්‍රියා කිරීම යි.  එහිලා ද 13 වන සංසෝධනය කප්පාදු නොකරන්නේ නම් තමන් රාජපක්ෂ රජය කප්පාදු කරන බවට කටමැත දෙඩූ අන්තවාදී ඇමැති ඝනයා ද මහ කොමසාරිස්වරියගේ සංචාරය අවස්ථාවෙහි දී ම ගලේ පැහැරූ බළලුන් බවට පත්ව සිටිති.

මෙම වෙනස්කම් සියල්ළ මෙවර මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාන්ඩුවේ පිළිවෙතින් විද්‍යාමාන වෙයි. මහ කොමසාරිස්වරිය සමඟ බද්ධ වෛරයකින් කටයුතු කළ ඇමැති සමරසිංහ මෙවර ජිනීවා කරා එවා නැත.  කවුන්සිලයේ ආරම්භක සැසියෙහි දී  තානාපති රවිනාථ දිර්ඝ ප්‍රකාශයක් කළේ ය. එය සහමුලින්ම වාගේ වෙන්ව ඇත්තේ 2012 සහ 2013 මාර්තු සැසිවාරයන්හිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවන්ට අදාළව ශ්‍රී ලංකාන්ඩුව විසින් ගෙන ඇති පියවරයන් පැහැදිළි කිරීමට ය. මහ කොමසාරිස්වරිය විසින් කළ ශ්‍රී ලංකව සම්බන්ධ සඳහන එනම් ඇය හමුවූ පිරිස්හි ආරක්ෂාව සළසන ලෙස කරන ලද ප්‍රකාශයට  තානාපති රවිනාථ දැක්වූයේ මෘදු විවේචනයකි. එමෙන්ම සුනිලා අබේසේකරගේ අභාවය සම්බන්ධයෙන් කැනේඩියානු මානව හිමිකම් නීතිවේදී සංවිධානය වෙනුවෙන් ගැරී ආනන්දසංගරී විසින් කවුන්සිලයෙහි දී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් තානාපති දූත පිරිස පුද්ගලිකව සිය ප්‍රසාදය පළ කළහ.

හුදෙක් මතුපිට වෙනස්කම් වලට සීමා නොවනු ඇතැයි තවම කිව නොහැකි නමුත් පෙනෙන්නට ඇති මෙම ආකල්පයමය වෙනසට බලපානා ප්‍රධාන සාධකය වන්නේ අන්තර් ජාතික බලපෑම් සහ තෙරපුම් ය. දේශීය දේශපාලන පරිභෝජනය පිනිස අන්තර් ජාතික තෙරපුම් දරුණු වාග් ප්‍රහාරයන්ට හසු කරන නමුත් රාජපක්ෂවරුන්ගේ අන්තර් ජාතික පිළිවෙත බවට පත්ව ඇත්තේ  ඊට වෙනස් එකකි. එනම් ඒවාට ඇහුම්කන් දීමයි. නැත්නම් ඇහුන්කම් දෙන බව පෙන්විම යි.

මෙම වෙනස, එක්තරා අන්දමකට සිය ජිවිතයේ අවසාන වසරයන්හි ශ්‍රී ලංකාන්ඩුවට එල්ල වන අන්තර් ජාතික මානව හිමිකම් තෙරපුම් දිගටම පවත්වා ගැනීමටත් ඒවා නිසි මඟෙහි පවත්වා ගැනීමටත් කාලය කැප කළ පසුදා අප හැර ගිය සුනිලා අබේසේකර සහෝදරියට වන උපහාරයක් ද වන්නේ ය.

22.09.13

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: