you're reading...
වර්ගීකරණය නොකළ

උතුරු ජන්දය: පනිවිඩය සහ අභියෝගය

srilanka1

උතුරට පළාත් සභා ජන්දය මහා උත්සවයකි

සුනන්ද දේශප්‍රිය
අපේක්ෂිත අයුරින්, ඇත්ත වශයෙන්ම නම් අනපේක්ෂිත වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්  උතුරු ජන්දයෙන් දෙමළ සන්ධානය ජය ගත්තේ ය.  එපමණක නොවේ. එය විසින් දෙමළ ජනයාගේ දේශපාලන ලැදියාවන් සහ අභිලාෂයන් සම්බන්ධයෙන් යථාර්තවාදී චිත්‍රයක් ද ඒ විසින් රට හමුවේ ද ලෝකයා හමුවේ ද ඉදිරිපත් කළේ ය.
යුද හමුදා මැදිහත් කර ගනිමින්  සහ රාජ්‍ය සම්පත් අසීමිත ලෙස යොදා ගනිමින්  දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගිය ආන්ඩුවේ බලවේග පරාජය කරමින් දෙමළ ජාතික සන්ධානය ලද මෙම  ජය විසින් ශ්‍රී ලංකාව නියතවම නව දේශපාලන සන්ධිස්ථානයකට ගෙනවිත් තිබේ.

උතුරු පළාතෙහි සිය පරාජය අවම කර ගනු පිණිස ආන්ඩු පක්ෂය අවසන් මොහොතේ දී පවා ගෙන ගිය ජනමාධ්‍ය ප්‍රචාර කණගාටුදායක ලෙස පහත් මට්ටමෙහි විය. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කරන ලද සම්මුඛ සාකච්ජාවක් අඩංඟු වූ දෙමළ භාෂා පුවත්පතක් වන වීරකේසරී පුවත්පතෙහි පිටපත් 50,000කට වැඩි ප්‍රමාණයක් මැතිවරණය ප්‍රචාර අවසන් වූ 20 දින උතුරු පළාතෙහි නොමිලයේ බෙදා හරින ලදී. මෙම පුවත් පත් වීරකේසරී සමාගමෙන් ලබා ගැනුනේ ද මිල නොගෙවා බව වාර්තා වී තිබේ.

උතුරු පළාතෙහි වැඩිම අලෙවියක් ඇති සහ දෙමළ ජාතික සන්ධානයට පක්ෂපාතී උදයන් පුවත් පතෙහි ව්‍යජා කලාපයක පිටපත් ලක්ෂයක් මුද්‍රණය කර බෙදා හරින ලද්දේ මැතිවරණ දිනයෙහි මය. එම ව්‍යාජ පුවත් පතෙහි දෙමළ ජාතික සන්ධානයේ ආන්නදි ශශිදරන් ආන්ඩු පක්ෂට එක්ව ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයකු වන මාවෙයි සේනාධිරාජා ජන්දය වර්ජනය කරන ලෙස ඉල්ලා ඇති බවටත් යනාදී වශයෙන් ජන්ද දායකයා නොමඟ යැවෙන වාර්තා පළ කර තිබුණි.

ඊට අමතරව මැතිවරණ නීති වළපල්ලට යවමින්  අංකය 10 වූ විග්නේශ්වරන්ගේ  අංකය 7 ලෙස දැක් වූ සහ දෙමළ ජාතික සන්ධනය යනු යුද්ධය  යළි  ඇතිවීම බව දැක්වෙන පෝස්ටර් යාපනයේ අලවා තිබුණි.  මේ සියල්ලටම උඩින් මැතිවරණ දිනයෙහි යාපනයේ ප්‍රචාරය කැරෙන රාජපක්ෂවාදී ඩෑන් රූපවාහිනී සේවාව දෙමළ ජාතික සන්ධානය මැතිවරණයෙන් ඉවත්ව ඇතැයි යන ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යමින් සිටියේ ය. මෙම රූපවාහිනී සේවාවෙහි ප්‍රධානියකු වන්නේ එල්ටීටීඊ මාධ්‍ය ප්‍රකාශක වූ දයා මාස්ටර් ය! තවද යුද හමුදාව විසින් සම්බන්ධීකරණය කරන ලද ජනමාධ්‍ය හමුවක් ඇමැතූ ප්‍රභාකරන් විසින් තමාගේ මරණයෙන් පසු නායකයා බවට නිර්දේශ කර තිබූ එල්ටීටීඊ අවි ජාවාරම්කරු වූ කේපී නොහොත් කුමරන් පත්මනාදන්  පළාත් සභා මැතිවරණයේ දී ආන්ඩුවට ජන්දය දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

මෙම සියළු ප්‍රචාර වැඩ කළේ අනෙත් අතට ය. එනම් දෙමළ සන්ධානය කරා ජනයා ඇදී යාමට ය.  මන් ද යත් මැතිවරණය ජාතිකත්ව දෙකක් අතර දේශපාලන අරගලයක් බවට පත්ව තිබූ නිසා ය. ආන්ඩුවේ බිය ගැන්වීමේ ප්‍රහාර මැද දෙමළ ජාතික සන්ධානය සිය ජාතික ගරුත්වය පිණිස දෙමළ ජනයා තුල පවත්නා පාරම්පරික අභිලාෂයේ සකේතය බවට පත් විය. එසේ නැතහොත් සිය ජනයා මත මර්දනය කැඳ වූ කොළඹ ආන්ඩුවේ අනෙකා බවට පත් විය.

ඇත්ත වශයෙන්ම නම් ආන්ඩුවාදී බලවේග උතුරු ජන්දය සම්බන්ධයෙන් අනුගමනය කළේ 2005 ජනාධිපතිවරණයේ දී එල්ටීටීඊය ගෙන ගිය පිළිවෙතය. එනම් දෙමළ ජනයා මැතිවරණයට සහභාගි වීමෙන් වැළැක්වීම ය. යුද හමුදා පිරිස් යැයි සැක කෙරුණු පිරිස් ජන්දය ප්‍රකාශ නොකරන ලෙසට  බොහෝ ගම්වැසියනට තර්ජනය කළෝ ය. බිය ගැන්වූහ.

දෙමළ සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක සී.වී. විග්නේශ්වරන් මෑතක් වන තුරුම දෙමළ ජාතිකවාදී ව්‍යාපාරයේ කොටස්කරුවකු ලෙස සිටියේ නැත. එමෙන්ම ඔහුගේ අපේක්ෂකත්වය දෙමළ ජාතිකවාදී ව්‍යාපාරයේ අන්තවාදී පිරිස් විසින් පිළිගත්තේ ද නැත. ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික ප්‍රශ්ණයට එකම විසඳුම වෙනම ඊළාම් රාජ්‍යක් පිහිටුවීම යැයි විශ්වාස කරන දෙමළ ඩයස්පෝරා පිරිස් ඔහුට විරුද්ධ ලිපි මගින් සිය අන්තර් ජාල පුවත් පිටු පිරවූහ. එමෙන්ම ඔහු ජන්ද ව්‍යාපාරය තුළ සිය දේශපාලන ආධුනිකත්වය පෙන්නුම් කරමින්  අවස්ථා ගණනාවකදීම අනවශ්‍ය සහ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ ගණනාවක්ම කළේ ය. එසේ නමුත් යාපන ජන්ද දායකයෝ ඔහු ඉහළින්ම තෝරා පත් කළහ. එක් අතකට ඉන් පෙනී යන්නේ  දෙමළ ජාතික සන්ධානය කෙරෙහි යාපන ජනයා දක්වන පක්ෂපාතීත්වයි. අනෙක් අතට   ජාතික සහ අන්තර් ජාතික තලයෙහි ගරුකටයුතු ලෙස තමන් නියෝජනය කළ හැකි මහ ඇමැතිවරයකු පත් කර ගැනීමට ඔවුන් තුල වූ අභිලාශය යි.

යාපනයේ දෙවන ස්ථානයට ආන්නදි ශශිදරන් පැමිණියේ යාපනයේ යුද හමුදාවට ස්තුති වන්නට ය. එල්ටීටීඊ දේශපාලන අංශයේ නායකයකු වූ සිය සැමියා 2009 මැයි 18 වන දින සිය දෑස් හමුවෙහි යුද හමුදාවට බාර වූ බවත් ඉන් පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් තමාට දැන ගන්නට ලැබුනේ නැතැයි ඇය මානව හිමිකම් මහ කොමසාරිස්වරියට පවා පැමිණිළි කළා ය. එනයින් යුද්ධය අතරතුරදී හමුදාවට බාර වීමෙන් පසු අතුරුදහන් වූ දෙමළ ජනයා පිළිබඳ අතිශය ප්‍රබල සාක්ෂියක් ඇය සපයයි.  ඇය පළාත් සභාවට තේරී පත් වන බව කල් තබා නිගමනය වී තිබූ නමුත් මැතිවරණයට පැය 36කට පෙර  රාත්‍රියෙහි ඇයගේ නිවසට කඩා වැදුණූ යුද හමුදා නිල අඳුම් ලූ පිරිස් ඇය සොයා නිවැසියනට එල්ල කළ ප්‍රහාරය විසින් ඇය කෙරෙහි වැඩි කැමැත්තක්  ජන්ද දායකයා අතර ඇති කළේ ය. මෙම ප්‍රහාරකයින් යුද හමුදා පිරිස් බව දැන් සාර්ක් මැතිවරණ නිරීක්ෂකයින් විසින් ද සනාථ කර තිබේ.   මෙම කරුණු සියල්ල ආන්නදි ජන්ද සටනෙහි ඉහළට ඔසවා තැබුවේ ය.

යාපනයේ තෙවැනි වැඩිම මනාප ලැබූයේ ආරම්භයේ දී වාමාංශික සටන්කාමී සංවිධානයක් වූ එවකට උමා මහේශ්වරන් නායකත්වය දුන් ප්ලොට්හි වත්මන්  නායක ධර්මලිංගම් සිද්ධාර්තන් ය. ඔහු කිසි විටෙක එල්ටීටීඊය අනුමත නොකළේ ය. තව ද  එල්ටීටීඊ ය විසින් ඝාතනය තරන ලද ප්ලොට්   සටන්කරුවන් සහ ප්‍රධානීන් සිය ගණනාවකි.  දෙමළ ඩයස්පොරාව ඔහුට කිසිදු කැමැත්තක් දැක්වූයේ නැත. එනමුත්  යාපන දෙමළ ජනයා ඔහු තෙවැනි තැනට පත් කළහ.  වවනියාවේ දී වැඩිම මනාප ලබා ගත්තේ ද ප්ලොට් සංවිධානයේ අපේක්ෂකයෙකි.

එමෙන්ම යාපනයේ දෙමළ ජාතික සන්ධානයෙන් තේරී පත් වූ ලැයිස්තුවෙහි එල්ටීටීඊ ය විසින් විනාශ කරන ලද තවත් සංවිධානයක් වන ඊපීආර්එල්එප් සංවිධානයේ නියෝජිතයින් දෙදෙනෛකු ද වෙති. ටෙලෝ සංවිධානයේ නායක සිවාජි ලිංගම් ද යාපනයෙන් තේරී පත් විය. යාපනයෙහි  දෙමළ සන්ධානයෙන් තේරී පත් වූ පළාත් සභා නියෝජිත කන්ඩායම මහත් විවිධත්වයෙන් යුතු එකක් වන අතර එය එල්ටීටීඊ මතවාදයේ නියෝජනයක් ලෙස දැක්වීමට කොහොත්ම නොහැකි ය.

උතුරු පළාත් සභා මැතිවරණයෙහි කැපී පෙනෙන පරාජයන් දෙකක් තිබේ. එක් එවැනි පරාජිතයකු නම් ආන්ඩු පක්ෂයේ මහ ඇමැති නියෝජිතයා වූ ඊපීඩීපි  නායක ඩග්ලස් දේවානන්දාගේ ළගම සගයකු වන එස්. තවරාසා ය. එමෙන්ම ඩග්ලස් දේවානන්දාගේ බල කොටුව ලෙස සැළකෙන කයිට්ස් ආසනයෙහි දී ආන්ඩු පක්ෂය මෙන් දෙගුණයක ජන්ද ලබා ගනිමින් දෙමළ සංධානය කැපී පෙනෙන ජයක් ලබා ගත්තේ ය. ආන්ඩුවෙන් ස්වාධීනව පළාත් සභා මැතිවරණයට තරඟ කළේ නම් නියතවම ඩග්ලස් දේවානන්දාගේ ඊපීඩීපී ය මෙයට වඩා ජන්ද ලබා ගන්නට ඉඩ තිබුණි.

1088-ananda_sangaree

සංගරී: මර්දකයා සමඟ හාදකෑමට පරාජයෙන් වන්දි ගෙවීස

අනෙක් කැපී පෙනෙන පරාජිතයා නම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙහි නායක ආන්නද සංගරී ය. තමා වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ කිලිනොච්චියට තරඟ කළ ඔහු පරාජය විය. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ යුද සමයෙහි ඔහු රාජපක්ෂවාදී ස්ථාවරයක් ගැනීමයි. යාපනයෙන් පාරජය වූ ආන්ඩු පක්ෂයේ අපේක්ෂකයින් අතර යුද හමුදාව සමඟ සමීප සබඳතා පවත්වන සහ යුද හමුදා සහාය ලැබූ හතර දෙනෙක් ද වෙති.  කිලිනොච්චියෙහි දෙමළ සන්ධානයෙන් තේරී පත් වූයේ අධ්‍යපන සේවයේ යෙදී සිටි උගතුන් තිදෙනෙකි. මුලතිව් දිසාවෙහි දෙමළ සන්ධානයෙන්  වෛද්‍යවරුන් දෙදෙනෙකු තේරී පත් වී තිබේ.

දෙමළ සන්ධානයේ උතුරු ජයග්‍රහණය පෙන්නුම් කරන එක් ප්‍රධාන නියාමයක් නම්  ආර්ථික සංවර්ධනය මගින් දෙමළ ජනයාගේ ජාතිකත්ව දේශපාලනය තුරන් කර දැමිය හැකිය යන රාජපක්ෂවාදී න්‍යායේ අසාර්ථකත්වය යි. ඇත්ත වශයෙන්ම නම් තමන් ජාතික පීඩනයකට ලක්ව සිටින්නේ ය යන්න මුල්බැස ගත් සමාජයක දී ආර්ථික සංවර්ධනය විසින් ජාතික හැගීම වර්ධනය කරනු මිස යටපත් කරන්නේ නැත. මෙම තීරුවෙහි මෙයට පෙරද ලියා ඇති පරිදි දකුණේ ලබන මැතිවරණ ජය රට පාලනය කිරීමේ වරමක් නම් උතුරේ ලබන පරාජය උතුර පාලනය කිරීමට රාජපක්ෂවරුන්ට වරමක් නැති බව පෙන්වීමක් නොවේ ද යන්න මෙම මැතිවරණ ප්‍රතිපල විසින් අසනු ලබන ප්‍රශ්ණය බවට පත් වනු ඇත. මන්ද යත් 2009 සිට පවත්වන ලද සෑම මැතිවරණයකදීම උතුරු නැගෙනහිර දෙමළ ජනයා අති බහුතරයක් ජන්දය පාවිච්චි කර ඇත්තේ රාජපක්ෂවරුන්ට එරෙහිව ය.

අනෙක් අතට මෙරට දෙමළ ජනයාගේ ජාතිකත්ව ඉල්ලීම් ලේ සාගරයක ගිල්වා අහෝසි කිරීමට ගත්තැත අසාර්ථකව ඇති බව දැන් රාජපක්ෂවරුන් තේරුම් ගත යුතු ය.  දෙමළ ජනයාගේ දේශපාලන දිශානතිය  යුද්ධ ජයග්‍රහණය මගින් සිංහල ජනයා අතර රාජපක්ෂවරුන් දිනා ගත් ජනප්‍රියත්වයට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ය. ප්‍රථමයෙන්ම අවශ්‍ය වන්නේ  මෙම ප්‍රතිවිරෝධය තේරුම් ගැනීම යි. එය ප්‍රතික්ෂේප කිරිම් මගින් යටපත් කළ නොහැක. පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවෙහි ජාතිකත්ව දෙකක් මත පදනම්ව ධ්‍රැවී ගතවන ජනවාර්ගික දෙකක ( මුස්ලිම් ප්‍රජාවෙහි දේශපාලන දිශාගත වීම ඒකීය නොවේ) පැවැත්ම තවදුරටත් ප්‍රතික්ෂේප කල නොහැකි ය. යුද්ධය රට භෞතික වශයෙන් එක් කර ඇතැයි උදම් ඇනුව ද එය විසින් රට ජාතික වශයෙන් ගැඹුරටම බෙදා වෙන් බව දැන් පැහැදිලි ය.

උතුරු ජන්දයේ පනිවිඩය ද අභියෝගය ද එය යි.

29. 09.13
– ශ්‍රී ලංකා ගාර්ඩියන්

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: