you're reading...
වර්ගීකරණය නොකළ

මාතර ගැටුමේ ඇත්ත නැත්ත – මංගල සමරවීර

untitled

ශිරාල් පොලු සමඟ

අද රාජපක්ෂ රෙජීමය යටතේ බොහෝ රාජ්‍ය ආයතන පාලකයන්ගේ අවශ්‍යතා පමණක් ඉටු කරන පිළිගත් නීතින්ගෙන් පරිබාහිරව කි‍්‍රයාත්මක වෙන දේශපාලනික සමිති බවට පත්ව ඇත.   විශේෂයෙන්ම මහජන මුදලින් පවත්වාගෙන යන රජයේ ජනමාධ්‍ය ආයතන පිළිගත් ආචාර ධර්ම පද්ධතීන්ම සියල්ලක්ම පසෙකට දැමූ වෙනත් අදහස් ඇති විරුද්ධ පාක්ෂිකයන්ට ඉතාමත් මිලේච්ඡු අන්දමින් පහරදෙන රාජපක්ෂ පවුලේ සහ ඔවුන්ට ඍජුව සහ වක‍්‍රව කඬේ යන කුමන්ත‍්‍රණකාරීන්ගේ අතකොලූ බවට පත්ව ඇත.  පසුගිය ඔක්තෝබර් 05 වන සෙනසුරාදා මාතරදී ඇති වූ සිද්ධීන් මේ මාධ්‍ය ආයතන හරහා ප‍්‍රචාරය වූ ආකාරයෙන්ම ඉහත කී කරුණ නැවත වතාවක් අපට හොඳටම පැහැදිලි වෙනවා.

  ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය වසං කරමින් අනෙකුත් කරුණුද විකෘති කරමින් මේ මාධ්‍ය ආයතන හරහා මට පමණක් නොව, අප පක්ෂයේ නායකතුමාටත්, මුළු මහත් පක්ෂයටත් ඉතාමත්ම ද්වේෂ සහගත අන්දමින් පහරදීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා.

මෙහිදී මේ ආයතන පුන පුනා කියා සිටින්නේ, මාගේ මැරවරයන් පිරිසක් සාමකාමී පා ගමනකට පහරදුන් බවත්, ඒ පහරදීම එකම පක්ෂයේ කණ්ඩායම් දෙකක ගැටුමක් බවත් පෙන්වාදීමට උත්සාහ කරයි.

05 වනදා ඇති වූ සිද්ධිය මුල් කරගෙන රජයේ මෙහෙයවීමෙන්, විපක්ෂයේ හිතවතුන් යැයි පෙන්වන පිරිසක් හරහා දැවැන්ත පාක්ෂික දඩයමක් මේ වෙනකොටත් කි‍්‍රයාත්මක වී ඇත.

දැනටමත් මාගේ සමීපතම දේශපාලන කි‍්‍රයාකාරීන් 24 දෙනෙක් මාතර රිමාන්ඞ් භාරයට පත් කර ඇත්තේද මේ කුමන්ත‍්‍රණයේ කොටසක් හැටියට.

මේ ආකාරයට දඩයම් කර ඇත්තේ මැරවරයන් හෝ පාතාල ලෝකයේ චන්ඞීන් නොව, මාතර එක්සත් ජාතික පක්ෂයේ සහ මාගේ දේශපාලන ව්‍යාපාරයේ කොඳු නාරටිය හා සමාන මාගේ ප‍්‍රබල කි‍්‍රයාකාරීන්ය.

මේ ලැයිස්තුවේ සිටින 24න්, 19ක්ම පක්ෂයේ තීන්දුව අනුව අපගේ සාමකාමී පෙළපාලියට සහභාගි වුවද, කිසිම ආකාරයකින් කෝටු කෑල්ලකින්වත් හිංසාවාදී කි‍්‍රයාවක යෙදුනේ නැති බවට ඔප්පු කිරීමට අවශ්‍ය පොලිසියේම විඩියෝ දර්ශන මා සතුව ඇත.

අනෙකුත් පස්දෙනා පක්ෂ නායකතුමාටත්, මටත් පක්ෂයටත් විශාල ආදරයක් ඇති තරුණ පාක්ෂිකයන් බැවින් ආරම්භයේ සිටම කරන ලද ප‍්‍රකෝප කිරීම් ඉදිරියේ තවදුරටත් ඉවසා ඉන්නට බැරුව ඔවුනද මහනගර සභාව ඉදිරියේ පෙරළා කුරුදු කෝටුවලින් පහරදීමට උත්සාහ කර ඇත.

 මාතර ජනතාව ඇත්ත දන්නවා

මේ ලැයිස්තුවේ කිසිම මැරවරයෙකු නැති බව මාතර ජනතාව හොඳින්ම දන්නවා.

මීට සති දෙකකට ප‍්‍රථම මාතර එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය ගත් තීන්දුවක් අනුව, දෙවිනුවර විශ්ණු දේවාලය අසල අප පක්ෂය කුමන්ත‍්‍රණකරුවන්ගෙන් බේරා ගැනීමේ තේමාව ඇතිව අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට තීන්දු කළ අතර, මේ බව එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර සංවිධායක එච්.ආර්. විමලසිරි මහතා විසින් මාතර පොලිසියටද පූර්ව දැනුම්දීමක් කරන ලදී.

එදිනම මේ ප‍්‍රදේශය අසල එක්සත් ජාතික පක්ෂය නොවන එක්තරා කණ්ඩායමක් විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා නෙරපීමේ තේමාව යටතේ තවත් පාගමනක් සංවිධානය කර ඇති බවට කෝටි ගණනක නොමිලේ දැන්වීම් රාජ මහේන්ද්‍රන් නොහොත් කිලීගේ මහරාජා රූපවාහිනිය විසින් දිගින් දිගටම මේ කුමන්ත‍්‍රණකාරී කණ්ඩායමට ලබාදීම නිසාම අප පාක්ෂිකයන් තුළද රනිල් වික්‍‍්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබාදීම සඳහා එකතුවීමට දැඩි උනන්දුවක් ඇති විය.

මාතර දිස්ති‍්‍රක්කයෙන් පමණක් නොව, අවට දිස්ති‍්‍රක් කිහිපයකින්ද තම වියදමින් පාක්ෂිකයන් විශාල පිරිසක් එකතු වෙමින් 05 වැනිදා උදෑසන 8.30 ට වැල්ලමඩම ප‍්‍රදේශයේ රොනී ද මෙල් මැතිතුමාගේ නිවස ආසන්නයේ සිට දෙවිනුවර විශ්ණු දේවාලය දක්වා මේ පාගමන ආරම්භ කරන ලදී.

මෙය ආරම්භයේදීම පැමිණ ජනතාව අමතමින් මා කියා සිටියේ, මෙය සාමකාමී අධිෂ්ඨාන පූජාවක් බවත්, කුමන්ත‍්‍රණකාරීන් විසින් කුමන අභියෝග අප වෙත එල්ල කළද ඒ සෑම දේකටම සාමකාමීව මුහුණ දිය යුතු බවටය.

ඒ අනුව, දහසකට ආසන්න ජනකායක් දෙවිනුවර දේවාල භූමියට ළඟා වන විට 300 ක පමණ කණ්ඩායමක් අප මග හරස් කරමින් දෙවිනුවර ප‍්‍රජාභූමිය ඉදිරියේ සිටියා.

පක්ෂයෙන් නෙරපන ලද අද ස්වාධීන මන්තී‍්‍රවරුන් හැටියට පළාත් සභාවල කටයුතු කරන මන්තී‍්‍රවරු දෙපළක් සහ තමා ජනාධිපතිවරයාට නිතර නිතර උපදෙස් දෙන බවට පම්පෝරි ගැසීමට සුප‍්‍රසිද්ධ හර්මන් ගුණරත්න මහතාද මෙහිදී මම හඳුනා ගත්තා.

මෙහිදී ඔවුන් ඉතාමත්ම අසභ්‍ය වචනයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාටත්, මටත් බැණ වදිමින් එහි සිටි තවත් පිරිසක් පොලූ මුගුරුවලින් තර්ජනය කරන ලදී.

මෛතරීගේ පුතා ලඟත් ඔටෝමැටික් ගිනි අවියක්

රනිල් වික‍්‍රමසිංහ මහතාට අපහාසාත්මක කටවුට් ප‍්‍රදර්ශනය කර තිබූ ඩබල් කැබ් රථයක පිටුපස පොලූ මුගුරු රාශියක් තිබූ අතර, මේවාද ඉහත කී නායකයන් ඉදිරියේ එම පාගමනට එකතු වූ මැරයන්ට බෙදා දෙන ලදී.

මෙහිදී ගුණරත්න මහතාගේ මුණුබුරා යැයි පසුව හඳුනා ගත් කෙනෙකු ස්වයංක‍්‍රීය ගිනි අවියක් පෙන්වමින් අප පාක්ෂිකයන්ට තර්ජනය කළ හැටි මා දුටු අතර, ඔහු වටා සිටි අනෙක් මැරයන් පොලූ මුගුරුවලින් අප පාක්ෂිකයන්ට පහර දෙමින් ඉදිරියට ඇදී යන්නට ආරම්භ කළා.

ගිනි අවිවලින් නොව, පොලූ මුගුරුවලින් නොව ඉරටු කෑල්ලකින්වත් සන්නද්ධ නොවූ අපේ පිරිස මේ මැරවරයන් ඉදිරියේ අසරණ වී පසෙකට විය.

මේ තත්ත්වය යටතේ අපේ පාක්ෂිකයන් බොහෝ පිරිසක් විසිරී ගිය බැවින්, අප බොහෝ දෙනා වැල්ලමඩමේ නවතා තිබූ අප වාහනවලින් නැවතත් මාතර බලා පිටත්ව යද්දී සන්නද්ධ පෙළපාලියේ මැරවරයන් පොලූ ආදිය ප‍්‍රදර්ශනය කරමින් රුහුණු විශ්ව විද්‍යාලය හරහා මැද්දවත්තට යමින් සිටියදීද අප පාක්ෂිකයන් සිටි බස් රථයකට පවා අලාභහානී සිදු කළා.

මේ තත්ත්වය නිසත්, තම පක්ෂයටත්, නායකයාටත් ප‍්‍රසිද්ධියේම ද්වේෂ සහගතව අපහාස කරමින් ඇදී යන පෙළපාලිය ඉදිරියේ කෝපයට පත් වූ අපේ පාක්ෂිකයන් විශාල පිරිසක් පසුව මාතර මහනගර සභාව ඉදිරියේ ඒකරාශී වුණා.

ආරම්භයේදීම පහරදීම්වලට ලක් වූ අප පාක්ෂිකයන් පිරිසක්ද ඒ වන විට තම ආරක්ෂාව සඳහාද කුරුඳු පොලූ කිහිපයක් ඔවුනද ලබාගෙන තිබුණා.

 වෙඩි වරුසාව

ඒ ස්ථානයට ළඟා වුණ මහරජා වෙනුවෙන් මහරාජාගේ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන ලද මෙම සන්නද්ධ පෙළපාලියට අප පාක්ෂිකයන් විසින් හූ කියා ඇති අතර, ඒ සමගම ගෝඨාභය රාජපක්ෂගේ බලතල තමන්ටද පැවරී ඇතැයි සිතමින් හෝ හර්මන් ගුණරත්න නමැත්තා තම ඉනේ තිබුණ පිස්තෝලයක් ඇද ගනිමින් අප පාක්ෂිකයන්ට වෙඩි තියන ලදී.

මෙහිදී දකුණු පළාත් සභා මන්තී‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්ප කුමාර මන්තී‍්‍රවරයාට වෙඩි වැදී කරාපිටිය රෝහලට රැගෙන ගිය අතර, මෙම පෙළපාලිය අහම්බෙන් නරඹමින් සිටි යුද හමුදාවේ සේවය කරන තරුණයෙකුටද උණ්ඩ දෙකකින් වෙඩි තබා ඇති අතර, ඔහු මේ වන විට කොළඹ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර, ඔහු සදාකාලිකව අර්ධ අබ්බගාතයෙකු බවට පත්ව ඇති බවට අපට ආරංචියි.

එමෙන්ම, දකුණු පළාත් සභා මන්තී‍්‍ර ගයාන් සංජීව මන්තී‍්‍රතුමාගේ සහෝදරයා වන ජානක සංජීවගේ ද කකුලේ මස් කුට්ටියක් කඩාගෙන වෙඩිල්ල ගොස් ඇත.

මේ කලබලය නරඹන්නට නගර සභාව ඉදිරියට ආ නගර සභා සේවකයෙකු වන දිලූම් පද්මසිරිටද මේ වියුරු මිනිසා විසින් වෙඩි තබා ඇති අතර, ආණ්ඩු පක්ෂයේ නාගරික මන්තී‍්‍රවරයෙක් වන කේ.වයි. රුවන් මහතාටද අප පාක්ෂිකයෙක් යැයි සිතා වෙඩි තැබීමට තැත් කර ඇත.

මේ අවස්ථාවේදී ඔහුට ඒ ස්ථානයේ සිටි නගර සභා සේවකයන් විසින් දැඩි ලෙස පහරදී ඇති අතර, මාතර පොලිසිය සහ ආණ්ඩු පක්ෂයේ තවත් නාගරික මන්තී‍්‍රවරයෙක් වන රාජ් නමැත්තා විසින් මොහු අසල තිබූ පොලිස් ස්ථානයට ආරක්ෂිතව ගෙන ගොස් තිබූ අතර, එහිදී ඔහු මුලින්ම කියා සිටියේ, ඔහුගේ මිත‍්‍ර ආරක්ෂක ලේකම්වරයාට දුරකතන ඇමතුමක් ලබාදෙන ලෙසටය.

වෙඩි තැබීමෙන් පසුව නගර සභාව ඉදිරිපිට යුද පිටියක් බවට පත්වූ අතර, මහරාජා පෙළපාලියේ පැමිණි මැරයන් විසින් අප පාක්ෂිකයන්ට බරපතල ලෙස පහරදී ඇති අතර, මාගේ බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් සහ හිටපු නාගරික මන්තී‍්‍රවරයෙක් වන ජාලිය ජයවර්ධන මහතාට ඉතා දරුණු ලෙස පහරදෙන ආකාරය පෙන්වන විඩියෝ දර්ශනද මා ළඟ ඇත.

මේ ආකාරයට පහර කෑමට ලක්වූ මොහුද ඊයේ වන විට අපරැක්ක – රජයේ ආයුර්වේද රෝහලේදී ප‍්‍රතිකාර ලබමින් සිටියදී මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ ආකාරයට ඉරටු කෑල්ලක්වත් නැතිව සාමකාමී පා ගමනක් සඳහා ඉදිරිපත් වූ අප පක්ෂයේ කි‍්‍රයාකාරීන් මැරයන් බවට හුවාදක්වමින් එක්සත් ජාතික පක්ෂයේ කි‍්‍රයාකාරීන්ට එරෙහිව ගෙන යන මේ මහා පාක්ෂික දඩයම ඊයේ රාති‍්‍රය වන තෙක්ද කි‍්‍රයාත්මක වී ඇත.

රජයේ මාධ්‍ය පමණක් නොව, රජයේ මාධ්‍යයටත් වඩා පහත් තත්ත්වයකට වැටි ඇති රාජ මහේන්ද්‍රන්ගේ රූපවාහිනී ආයතනය මේ දඩයමේ ප‍්‍රධාන මෙහෙයුම්කාරයා බවට පත් වි ඇත.

කුරුඳු පොල්ලක්වත් අතේ නොතිබුණ අප පාක්ෂිකයන් අද රිමාන්ඞ් භාරයේ සිටින අතර, ප‍්‍රසිද්ධියේම පොලූ මුගුරු රැගෙන සිටි මැරවරයන් අද නිදැල්ලේ සිටිනවා. (ලංකාදීප පුවත්පත පෙන්වයි)

අඟහරුවාදා රාති‍්‍රයේ මාගේ නිවසට පැමිණි මාතර පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් තවත් මාගේ කි‍්‍රයාකාරී පාක්ෂිකයන් කිහිපදෙනෙක් භාර දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ, මම ඔවුන් කළ වරද කුමක්දැයි ඇසූ විට ඔවුන් කියා සිටියේ, ඔවුන්ගේ ඡායාරූප සිරස රූපවාහිනියේ ප‍්‍රදර්ශනය වූ බවයි.

ඒ අවස්ථාවේදී මම මාගේ විශ්මය ප‍්‍රකාශ කළ විට, එතැන සිටි අනෙකුත් නිලධාරියා මට පුවත්පතක් පෙන්වමින් කියා සිටියේ, ඔහු සම්බන්ධයෙන් මව්බිම පත්තරේද පළ වී ඇති බවයි.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගේ උණ්ඩයෙන් බේරුනු හමුදාවේ පුෂ්පකුමාර රාජා මහේන්ද්‍රන්ගේ උණ්ඩයට බිලිවුනා

අද මාතර සිදුවෙමින් තිබෙන මේ පාක්ෂික දඩයම මෙහෙය වන්නේ සිරස, මව්බිම ආයතන මගින් බව මේ ආකාරයට පොලිසිය විසින්ම පිළිගෙන ඇත.

මාගේ දේශපාලන කි‍්‍රයාවලිය අඩපණ කිරීම සඳහා මාගේ ප‍්‍රබල කි‍්‍රයාකාරීන් මේ ආකාරයට නිහඬ කරවීමේ කුමන්ත‍්‍රණයක් සිරස, මව්බිම ආයතන හරහා ආරක්ෂක අමාත්‍යංශය ක‍්‍රියාත්මක කරමින් සිටින බව මම පැහැදිලිවම ප‍්‍රකාශ කරනවා.

මුලින්ම අත්අඩංගුවට ගත් 24 අතරින් 20 දෙනෙක්ම පක්ෂය වෙනුවෙන් මෙම අධිෂ්ඨාන පූජාවට සහභාගි වුනද, කෝටු කෑල්ලක්වත් ඔවුන්ගේ අතට නොගත් බව අපිට ලැබී ඇති විඩියෝ දර්ශන සහ ඡායාරූපවලින් ඔප්පු කළ හැක.

පොලිසියේ බුද්ධි අංශය විසින්ම රූපගත කරන ලද විඩියෝ දර්ශන මා වෙත ලැබී ඇති අතර, ඒ සියලූම තොරතුරු පාරිලිමේන්තුවේ දැන ගැනීම සඳහා බුද්ධිඅංශයේම මේ දර්ශන ඇති ‘පෙන් ඩ‍්‍රයිව්’ එක පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට මම අවසර ඉල්ලනවා.

කතානායකතුමාට හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට මේ තොරතුරු ඉදිරිපත් කළ හැකි නම්, අද අප පාක්ෂිකයන්ට එරෙහිව ගෙන යන මේ දඩයමේ තරම තේරුම් ගන්නට පුළුවන් වනවා ඇත.

මේ සියලූ කරුණු ඉදිරියේ අද රජයේ ජනමාධ්‍ය පමණක් නොව, සමහර පෞද්ගලික ජනමාධ්‍යයන්ද සත්‍ය කරුණු වසන් කර මෙය මාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ මැරයන් විසින් කරන ලද කි‍්‍රයාවක් බවට පත්වීමට කටයුතු කර ඇත.

මේ වන විට හර්මන් ගුණරත්න වෙඩි තැබූ යුද හමුදාවේ සේවය කරන ඩබ්.ඒ. පුෂ්ප කුමාරව අබ්බගාතයෙකු කර, තවත් කිහිප දෙනෙක් බරපතළ තුවාල කළ බවට ඇති ප‍්‍රවෘත්තිය වසන් කර ඇත.

මාතර නගරයට පැමිණි අවස්ථාවේ කලබලය කුමක්දැයි නැරඹීමට ඒ ස්ථානයේ නැවතුන මොහු, හමුදා සෙබළෙකි. යුද්ධයේදී පවා සටන් කරමින් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගේ වෙඩි උණ්ඩවලින් බේරුණු මොහු, රාජ මහේන්ද්‍රන්ගේ ත‍්‍රස්තවාදීන්ගේ වෙඩි තැබීමෙන් අබ්බගාතයෙකු වීම ඔහුගේ පවුලේ අයට දරාගන්නට බැරි කරුණකි.

කොටිගල වත්තේ වධකාගාරය

හර්මන් ගුණරත්න ජනාධිපති උපදේශකවරයෙකු වශයෙන් නොවන බවට විවිධ පුද්ගලයක් තරයේ කිව්වද, තමා ජනාධිපතිවරයාටත්, ගෝඨාභයටත් උපදෙස් දෙන බවට  ඕනෑම කෙනෙක් සමග පම්පෝරි ගසන්නේ වෙන කවුරුවත් නොව, හර්මන් ගුණරත්න මහතාමය.

මේ පම්පෝරි ගැසීම නිසාම ගාල්ලේ ජීවත් වන විදේශිකයන් ඔහුව නම් කර ඇත්තේ ‘අයි ටෝල්ඞ් ද ප‍්‍රසිඩන්ට් ගුණරත්න’ ලෙසය.

එපමණක් නොව, මෑතකදී ගෝඨාභය රාජපක්ෂ ගාල්ලට ගෙන්වා දෙමින් ඔහුගේ ‘ගෝටාස් වෝ’ නමැති ග‍්‍රන්ථයද ලයිට් හවුස් හෝටලයේදී හඳුන්වා දෙන ලද්දේ මොහුය.

සුනාමියෙන් පසු කෝටිපතියෙක් බවට පත්වූ ගුණරත්න මහතා, ලේ පිපාසිතයෙක් වීම පුදුම විය යුත්තේ නැත.

1988-89 සමයේදී හබරා¥ව ආසනයේ ගුණරත්නට අයත් කොටිගලවත්තේ වදකාගාරයක් පවත්වාගෙන ගිය බව ඒ ප‍්‍රදේශයේ ජනතාවට අමතක වී නැත.

මෙවැනි ඉතිහාසයක් ඇති වරින් වර එක්සත් ජාතික පක්ෂයෙත්, ජාතික හෙළ උරුමයෙත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් පාක්ෂිකයෙක් හැටියට පෙනී සිටින මොහු වැනි කෙනෙක්ගේ නායකත්වයෙන් පවත්වන ලද පෙළපාලිය එක්සත් ජාතික පක්ෂයේ තවත් කණ්ඩායමක් විසින් පැවැත්වූවයි කීම පිළිගත නොහැක.

  ශිරාල්ගේ සෙල්ලම් බත් දේශපාලනය

මෙම පෙළපාලියට මොහුට අමතරව කි‍්‍රයාකාරී දේශපාලන නායකත්වය සපයන ලද්දේ අද දකුණු පළාත් සභාවේ සහ බස්නාහිර පළාත් සභාවේ ස්වාධීන මන්තී‍්‍රවරු හැටියට අසුන් ගෙන ඇති දේශපාලන සෙල්ලක්කාරයන් දෙපළකි.

ශිරාල් ලක්තිලක කියන්නේද ඇඳුම් මාරු කරනවා හා සමානව දේශපාලන හිතවත්කම් අත්හරින කෙනෙකි.

ජී.එල්. පීරිස් ඇමැතිවරයා හරහා දේශපාලන ආ මේ පුද්ගලයා, පසුව රනිල් වික්‍‍්‍රමසිංහ මහතාගේ ආධාරකරුවෙක් වශයෙන්ද, පසුව එස්.බී. දිසානායක ඇමතිතුමාගේ ආධාකරුවෙක් වශයෙන්ද, ඉන්පසුව සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෙක් වශයෙන් පෙනී සිටි මොහු නැවතත් රාජපක්ෂ ග‍්‍රහණයේ සිටින බව අපට වගකීමෙන් කිව හැක.

දේශපාලන න්‍යායාචාර්යෙක් වශයෙන් සෙල්ලම් බත් දේශපාලනයේ නියැලෙන මොහු, පසුගිය පළාත් සභා මැතිවරණයේදී කෝට්ටේ එක්සත් ජාතික පක්?ෂයේ සංවිධායක වශයෙන් සිටියදීවත් පළාත් සභාවට පළවෙනි වටයේදීම තේරීමට බැරි වුන කෙනෙකි.

 සුනාමි කෝටිපතියා

මෛතී‍්‍ර ගුණරත්න යනු ‘බොනපාට් රෝගී ලක්ෂණ’ මනාව පෙන්වන කුහක සහ මිටි දේශපාලනයේ යෙදෙන කෙනෙකි.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී පසුගියදා ඔහුගේ පියා විසින් වෙඩි තබන ලද පුෂ්ප කුමාර මන්ත‍්‍රීවරයා ගාලූ දිස්ති‍්‍රක්කයේ වැඩිම මනාප (52,371) ලබා ගනිද්දී, මනාප 17,920 ක් ලබාගෙන පළාත් සභාවට පුඞ්බෝඞ් එකේ මන්තී‍්‍රවරයෙක් වූ මොහු, අද අප පක්ෂ නායකත්වයට කුණුහරුප කීමේ හැකියාව නිසාම, ජාතික මට්ටමේ දේශපාලනඥයෙක් හැටියට ඔහු ගෝලබාලකම් කරන කිලී රාජ මහේන්ද්‍රන් ගොඩනගා ඇත.

මොහුද සුනාමියෙන් පසුව කෝටිපතියෙක් බවට පත් වූ කෙනෙකි.

මෙම සෙල්ලම් බත් දේශපාලනඥයන්ට අමතරව, මෙම සන්නද්ධ පෙළපාලියේ මා හඳුනන එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් සිටියේ අතළොස්සකි.

මාතර දෙවිනුවර ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායකයා සහ වැලිගම ප‍්‍රාදේශිය සභාවේ මන්තී‍්‍රවරයෙක් මම දුටුවෙමි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පසුගිය කාලය පුරාම සහයෝගය දැක් වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්තී‍්‍රවරයෙක් වන අබේවික‍්‍රම නමැති පුද්ගලයාද මම දුටුවා.

නමුත් සිටි පිරිසෙන් බහුතරයක් විවිධ බලපෑම් මත ගෙන ආපු ගුණරත්නලාගේ වතුවල වැඩ කරන කම්කරුවන් පමණක් නොව, රාජපක්ෂ රෙජීමය විසින් සපයන ලද ජනාධිපති ආරක්ෂකයන් 11 ක් පෙළපාලියේ සිටි බවටද තොරතුරු හෙළිදරව් වී ඇත.

මෙහිදී කුපිත වූ පාක්ෂිකයන්ගේ ප‍්‍රහාරයට ලක් වූ සමහරුන් මාතර හමුදා කඳවුරේදී රහසිගතවම ප‍්‍රතිකාර ලබමින් මාරු වුණ බවට අපට තොරතුරු ලැබී ඇත.

මංගල ඝාතන කොන්තරාත්තුව

එපමණක් නොව, සමන්ත නමැති පාතාල ලෝකයේ මැරවරයෙක් මාව ඝාතනය කිරීමේ කොන්ත‍්‍රාත්තුවක් ඇතුව පෙළපාලියේ ගිය බවටද අනාවරණය වී ඇත.

කරුණු මෙසේ වුවද, මේ දක්වා එම පෙළපාලියේ මුල සිටිම සන්නද්ධව සිටි පිරිස් කිහිප දෙනෙක් හැර අන් කිසිවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නැත.

මහ රාති‍්‍රයේ ගෙවල්වලට ගොස් අප ලක්වනිතා සංවිධානයේ ලේකම් චින්තිකා වැනි අය අත්අඩංගුවට ගනිද්දී, පොලිසිය රාජ මහේන්ද්‍රන්ගේ මැරවරයන් හඳුනා ගැනීමට නොහැකි බව කියමින් දිගින් දිගටම මග හරිනවා.

මේ මහා අසාධාරණ දේශපාලන දඩයම ඉදිරියේ අපගේ කි‍්‍රයාකාරීන්ගේ සහ පාක්ෂිකයන් වෙනුවෙන් ගත හැකි සියලූ නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට මම කටයුතු කරනවා.

 මූලික අයිතිවාසිකම් නඩු

පෞද්ගලිකව කිසිම පොලිස් නිලධාරියෙකු සමග මාගේ හබයක් නැති අතර, ඔවුන් අද දේශපාලන බලපෑම් නිසා හෝ කරන මෙම අසාධාරණය ඉදිරියේ පොලිසියේ පොලිස්පතිවරයා සිට දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාටද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහතාට එරෙහිවද මෙම ඒකපාක්ෂික දඩයමට සම්බන්ධ වූ අනෙකුත් පොලිස් නිලධාරීන්ටද එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙන වෙනම 27 ක් මා ගොනු කිරීමට දැනටමත් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා.

මංගල සමරවීර මහතා ඔක්තෝබර්10 දින පාර්ලිමේන්තුවේ දී කළ කතාව අසුරිනි.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: