you're reading...
Articles / ලිපි

චේ රයිඩර්ස් : දේශපාලන වෙළද භාන්ඩයක් වීම

 
“විමුක්තිය වූ කලී දරු උපතක් වැනිය. එය ඒ තරමට වේදනාවකි”
                                                          –  පවුලෝ ෆෙයෙරේ

නිලන්ත ඉලංගමුව

චේ සහ ෆිදෙල් ඇතුළු සියගණනක් වූ පිරිස කියුබාවේ බැටිස්ටා ආණ්ඩුව පන්නා  දැමීමට අරගලය කරන අවධියේදී බ්‍රසීලය කේන්ද්‍ර   කරගනිමින් වෙනස් මාධිලියක, එරට පැවතී කුමන්ත්‍රණයකින් බලයට පැමිණි ආණ්ඩුවට එරෙහිව සමාජ ව්‍යාපාරයක් ක්‍රියාත්මක  වෙමින් පැවතිනි. එය පවුලෝ ෆෙයෙරේ විසින් නායකත්වය දෙමින් සිටි පුළුල් ව්‍යාපාරයකි. ලතින් ඇමෙරිකාව පුරා එය දීපතිමත්ව ව්‍යාප්ත විය. ඊට එයටම අවේනික වූ රටාවක් පැවතිනි. එය පවතින සත්‍යන් මතම බිහිවූවක්‌ වූ අතර ඊට යාථාර්තය සමඟ ගනුදෙනු කිරීමට හැකිවිය.
 එක් ව්‍යාපාරයක්  ආයුධගෙන ගරිල්ලා සටන් ක්‍රමෝපාය  ඔස්සේ විමුක්තිය සොයන විට පවුලෝ ෆෙයෙරේගේ ව්‍යාපාරය කේන්ද්‍රගත කොට තිබුණේ අධ්‍යාපනය මතය. “ දුගී සගයනි හැකි උපරිමයෙන් ඉගෙන ගනිව්. එය ඔබේ ආයුධයයි,” පවුලෝ ෆෙයෙරේ වරක් සඳහන් කළේය. ඔහු තම ප්‍රකට කෘතිය වන  “පෙඩාගොගී ඔෆ් ද ඔප්ප්‍රේස්ඩ්” මඟින් තම අරමුණු සහ දර්ශනය මනාව පැහැදිලි කරනු ලැබීය. එය චෙකොස්ලෝවැකියාවේ වක්ලව් හවෙල් මෙන්ම චීනයේ ලු ශියාබාඕ මෙන් ජනතාව ඒකරාශී කරන මාර්ගය වෙනස් ආකාරයකින් අත්හදා බැලූ ඉතා සාර්ථක මොඩලයකි.  වෙනස එය වීශ්වීය වීමය. සංස්කෘතිය අභිබවා යෑමට හැකිවීමය. වක්ලව් හවෙල් තම ජනතාවගේ විමුක්තිය අරම්භයා 77 වන ප්‍රඥප්තිය අනෙක් විමුක්තිකාමින් කැටුව සකස් කොට චෙක් රිපබ්ලික් හී පළමු ජනාධිපති බවට පත්විය. එසේම චීනයේ පවතින මර්ධනය වැලැක්වීම සඳහා 08 වැනි ප්‍රඥප්තිය ඔස්සේ චීන ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ ලු ෂියා බාවෝ තවමත් චීන සිර මැදිරියේය.
 ලෝකයේ ක්‍රියාත්මක වූ මෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතින, එසේම ඉදිරියේදී ක්‍රියාත්මක විය හැකි දේශපාලන අරගලයන් වූ කලී නොනිමෙන සංසිද්ධීන්ය. එය මිනිසුන්ගේ අවශ්‍යතාවයයි. සෑම අයෙකුටම  ජීවිතයේ අර්ථයක් අවශ්‍යය. එම අර්ථය ඔවුන්ගේ අත්දකීම් සහ      පරිකල්පනය මත තීරණය වේ. හොඳ හෝ නරක, අවශ්‍යතාවය හෝ අනවශ්‍යතාවය, කැමැත්ත හෝ අකමැත්ත  යන්න තීරණය වන්නේ එය මතය. කෙනෙකුට හොඳ දෙයක් තවකෙකුට නරකක් වන්නේත් එම පුද්ගල ප්‍රතිරූපය සහ එම පුද්ගලයා ගොඩ නගන පරිකල්පන ඔස්සේ ඇතිවන අවශ්‍යතාවයන් මඟිනි. මෙය විශ්වීය වන අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට ස්වායක්ත වන්නේ බාහිරපෙනුමෙන් වුවද අභ්‍යන්තරයෙන්  බොහෝ සමානකම් දක්නට ලැබේ. මිනිස් මනස බොහෝ අවස්ථාවලදී  භාහිර පෙනුම මුලික කොට ගනිමින් විනිශ්චයට පැමිණෙන අතර අභ්‍යන්තරයේ ඇති සමානකම් සමඟ ගැලපීමට නොයන්නේය. මන්ද එම සමානකම් බොහෝ දුරට කටුක මෙන්ම නීරස වන හෙයිනි. එසේම ඒවා එකිනෙක සමඟ බද්ධ වන හෙයිනි. ඇත්ත සඟවා තබමින් වෙනකෙකු ලෙස ජීවත් වීමට උත්සහ කිරීම සහ එය සාර්ථකත්වයට මඟ යැයි සංස්කෘතික වශයෙන් ඇති පිළිගැනීම මෙම කාරණය තවදුරටත් තියුණු කරයි. ප්‍රභාකරන් නරක අයෙකුට විජේවීර හොඳ විය හැකිය. ගාන්ධි හොඳ අයෙකුට අම්බෙඩ්කාර් නරක විය හැකිය. ස්පිනෝසා නරක අයෙකුට එම්මානුවෙල් කාන්ට් හොඳ විය හැකිය.  මෙම මතුපිට කාරණා වලින් සිදුකරන ගැලපීම් විසින් බොහෝ මිනිසුන් ලෝකයට දායාද කළ දෑ මඟහරී ගොස් ඇති බව සාමාන්‍ය කාරණයකි. 
 ලංකාවේ සමාජවාදීන් මෙම කාරණය කෙතරම් දුරට සලකා බැලුවේද යන්න කිව නොහැකිය. ලංකාවේ සමාජවාදීන් යැයි කොටසක්‌ සිටියේ හෝ සිටින්නේනම් එය යම්තරමකට සලකා බැලිය හැකිය. එහෙත් හින්දු සංස්කෘතිය මඟින් වත්මන් ජීවිතය එපා කොට මරණින් පසු ජීවිතය සහ මරණයට තේරුමක් සෙවීම සඳහා වත්මන් ජීවිතය කැපකිරීම නමැති මෝහයට හසුවී මොළය ශෝධයනය කරගත් කිහිප දෙනෙකු විසින් ලංකාවේ සමාජවාදය පැලපදියම් කිරීමට උත්සහ ගත්තද එය විසින් නිෂ්පාදනය කරනු ලැබුවේ,  මොට කුහක දේශපාලන කල්ලිවාදයකි. මෙය සියවස් ගණනාවකට පෙර බොහෝ රටවල් පැටලී සිටි අඳුරය.   මින් ඉවත්වීම සඳහා පුළුල් ජනතා සංවාද  විවාද ඇතිවිය. බටහිර වෙළඳපොල සතුකරගත් බොහොමයක් සාර්ථකත්වයන් සඳහා හේතුව වූයේද එයයි. “මරණය වූකලී ජීවිතයේ සිදුවීමක් නොවේ, අපි මරණය අත්දැකීම සඳහා ජීවත් නොවේ. සදාකාලික ජීවිතයක් උරුම වන්නේ වත්මන් ජීවිතයේ ජීවත්වෙන අයට මිස වත්මන් ජීවිතය අර්ථයක් කර නොගන්නා අයවලුන්ට නොවේ,” වරක් ලුඩ්විග් විට්ගේන්ස්ටයින් සඳහන් කළේය.  අවාසනාවට මෙන් පෙරදිගට ගැලවීමට නොහැකි වී ඇති මුලිකාංගය වන්නේද මෙයයි. 
අපට  පවුලෝ ෆෙයෙරේ, වක්ලාව් හොවෙල් තබා ලු ෂියා බාවෝ වැනි අයෙකුවත් නිෂ්පාදනය කරගැනීමට නොහැකි වූයේ  මේ නිසාය. මෙරට සිදු වූ දේශපාලන ව්‍යාපාර යැයි නම් කළ ක්‍රියාවලිය තුළින් සිදු වූයේ දහස් ගණනක් පිරිසකට ප්‍රගතියක්‌ නොලබා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමය. කිසිවෙකු වගකීමක් භාර නොගනිමින් ඔවුන් මියැදීම මුළු ජාතියටම සිදු වූ හිඩැසකි. එම හිඩැස පිරවීම සඳහා කිසිවෙකු උත්සහ නොකළා පමණක් නොව එය විෂයක් බවට හෝ පත කර නොගත්තේය.  එම කිසිඳු දේශපාලන ව්‍යාපාරයකට ස්වයං විවේචනයක්  සිදුකරගැනීමට තරම් කොන්දක් නොතිබූ අතර, ඒවා තුළම හටගත් පරපෝෂිත ශාක ඒවාහි දේශපාලන දර්ශනයන් සකස් කරනු වෙනුවට ඒවායෙහි ව්‍යුහයම භක්ෂණය කරමින් ඒවායේ දුර්වලකම ලෝකයට පෙන්නුවේය. මැවූ ප්‍රතිරූපය දියවීගොස් මානසික විස්සෝපය පමණක් ශේෂ කරනු ලැබීය. 
පසුගිය දින කිහිපය පුරා දැකගතහැකි වූ දේශපාලන නාටකවලින් එකක් වූයේ චේ රයිඩර්ස් වැඩසටහනයි. එය සමාජවාදී තරුණ සංවිධානය එනම් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ බල-ඇණිය විසින් සූදානම් කළ වැඩසටහනකි. වැඩසටහන පුරා ජනාධිපති රාජපක්ෂ අරභයා විවේචන රැසක් ඉදිරිපත් කරනු ලැබීය. චෝදනාකිරීම පිළිබඳ කිසිඳු වරදක් නොමැත. මන්ද රාජපක්ෂ නූතන දේශපාලන විද්‍යාව තුළ සාර්ථකම නිස්පන්නය ලෙස පිළිගැනෙන රාජ්‍ය නමැති ව්‍යුහයට කළ හැකි උපරිම අපරාධය කළ අයෙකි.  එය සිදුකිරීම සඳහා අවශ්‍ය අයුධ අතට ලබා දුන්නේ කවුරුන්ද යන්න චේ රයිඩර්ස් හී මෝටර් සයිකලය  පදවන අයට වුවද තේරෙන සරල සත්‍යකි. ව්‍යූහය දිරාගිය දැයක මතුපිට කෙතරම් හැඩගන්වා සැරසුවද එය භයානක දෙයක් වන්නේ එය කඩාවැටෙන මොහොත කිසිවෙකුට කිව නොහැකි හෙයිනි. කිසිඳු කලෙක ස්‌වයං විවේචනයකට කැමැත්තක් නැති, යල් පැනගිය දේශපාලන කල්ලිවාදයෙන් මීදීමට මැලිකමක් නොදක්වන  කණ්ඩායමකට පවතින සැබෑ ගැටලූ වලට මුහුණ දීමට හැකියාවක් ඇත්තේනම් හෝ එමඟින් විශ්වාසයක් ඇතිකළ හැකිනම් එය දවල් සිහිනයක් පමණි. 
චේ රයිඩර්ස් වූකලී කිසිවක් නැති තැනට වැදගම්මට නැති නාටකයකි, හාස්‍ය ජනක දේශපාලන විහිළුවකි. එය ජුලියස් සීසර් ක්ලියෝපැට්‍රා සමඟ දේශපාලනයේ නාමයෙන් සංවාසයේ යෙදෙන විට රෝමයේ රංග
දැක්වූ වීදී නාට්‍ය තරම් ප්‍රභල දේශපාලන විහිලු නොවේ. ඒවා වූකලී, හාමතේ හෙම්බත් වී සිටින ජනතාවට විරේක වීමට ලබාදෙන ජාපාල බීජ බඳුය. ලතින් ඇමෙරිකාව පුරා එකල ඇති වූ දේශපාලන සංස්කෘතිය හෝ ගරිල්ලා ව්‍යාපාරය මෙන්ම ඒවායෙහි සංඛේත වූකලී ඉතිහාසයකි. එහි මුල් වටිනාකම ඇත්තේ එම ඉතිහාස රාමූන්හී වන අතර ඒවා ගැලපෙන අයුරින් භාවිතාකිරීම නූතන ධනවාදී ආක්‍රමණික වෙළඳපොල තුළ හැකි වන විට ඊට වත්මන් දේශපාලන වටිනාකමක් ලැබේ. එය කළ හැක්කේ, ඇමෙරිකානු ඇපල් නිෂ්පාදන චීනයේදී  අනුපිටපත් ගසා විකිණීම වැනි දෑ වලින් නොව, රෑ වැටුණු වලේ දවල් නොවැටීමට හැකි ක්‍රමවේදයන් මඟිනි. ප්‍රතික්ෂේප කිරීමට නොහැකි, වේදනාවෙන් හෝ පිළිගත යුතු සත්‍ය කිසිවෙකුටත් බැහැර කළ නොහැකිය. එය චේ මරා දැමූ පසු චේගේ රුව විකිනණු ලැබූ ඉල්ලුම – නිෂ්පාදන- වෙළඳපොල දෙස බැලීමෙන් අවබෝධ කර ගත හැකිය.  එය චෙටත් වඩා ඔහුව චායාරූප ගත කරනු ලැබූ අල්බොටෝ කොඩා හොඳ හැටි ඉගෙන ගත්තේය. වොඩ්කා වර්ගයක් වන ස්මිර්නොෆ්, චේගේ රුව භාවිතාකිරීම සම්බන්ධයෙන් ඇති වූ නඩුව මීට කදිම නිදසුනක්‌ය.
අවාසනාව වූකලී ජනතා විමුක්ති පෙරමුණට වත්මන් වෙළඳපොල තුළ විකිණෙන චේ තබා බොලිවියාවේදී මරා දැමුණු  චේ හෝ අවබෝධකර ගැනීමට වුවමනාවක් තිබේ යයි විශ්වාස කිරීමට තරම් කිසිඳු වැඩපිළිවෙලක් ඔවුන්ගේ දේශපාලන නාටකයේ කිසිම තැනක දැකගත නොහැකි වීමය. මෙය පෘථුල වශයෙන් එම පක්ෂය ලැබූ පරාජයක් වන අතර වයසට යන විට  වාසුදේව නානායක්කාර මට්ටමේ දේශපාලනඥයින් මෙන්ම ගෘහ මුලිකයින් වීමට ලාංකීය සමාජවාදීන් පෙළඹෙන්නේ මෙම ව්‍යුහයටම අවේනික වූ එහිම හරයන් මඟින් නඩත්තු කරන කුහකකම නිසාය. මෙම භූමිකාව හමුවේ චේ රයිඩර්ස්ට ඉතුරුවන්නේ දිව එලියට දමාගෙන හුස්ම ගැනීමට උත්සහ කිරීම පමණි.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: