you're reading...
News/ප්‍රවෘත්ති

මර්වින් සිල්වාගේ හිතමිතුරු හට් තිලක් පැහැර ගැනීම රජයට මඩ ගහන කතාවක්!

p1-pic-l

එතුමා කියන්නේ පැහැර ගැනීම් කොල්ලන්ගේ
කෙල්ලන්ගේ කෙළියක් බවය

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ළඟම හිතවතෙකු වන හට් තිලක් නැමැත්තා පැහැරගෙන ගොස් පසුව මුදාහැර ඇතැයි මාධ්‍ය මගින් වාර්තා විය. පසුව ඔහු පොලීසියට පවසා තිබුණේ පැහැරගත් අය තමන්ගෙන් කුඩු ව්‍යාපාර සම්බන්ධව ප්‍රශ්න කළ බවයි. ජනපති මහින්ද අල් ජසීරා මාධ්‍යට පවසා තිබුණ ආකාරයට නම් ලංකාවේ සුදුවෑන් පැහැර ගැනීමක් නැත. එතුමාගේ සොයා ගැනීමට අනුව සුදුවෑන් පැහැර ගැනීම යනු කොල්ලෝ සහ කෙල්ලො ලව් කරද්දී හෝටල් වලට පැනලා යන්නට කරන උපක්‍රමයකි.
ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ න්‍යායෙන් සිතන විට අපට සිතන්නට වෙන්නේ මේ පුද්ගලයා මුළු රෑම කැසිනෝ ගසා උදේ පාන්දර කෑල්ලක් එක්ක හෝටලයකට සෙට් වී ආතල් එකක් ගෙන, පස්සේ ත්‍රීවීල් එකකින් ගෙදර පැමිණි ඇති බවයි. ගෝඩ් කතරගමට සහ ඉන්දියාවේ හින්දු ගෝඩ්ස් බුරුත්තකටම වඳින පුදන නිසා මස් මාළු කටේ තියන්නැති අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, සමහර වෙලාවට අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය වෙතගොස් එම බෝධියේ පහලට නැමී ඇති අතුවලට බොහෝ වේලාවක් ඔළුව තබාගෙන සිටියි. මෙවැනි උතුම් ගතිගුණ ඇති උතුමෙකු බොරු කියතියි අපට පිළිගත හැකිද? එනයින් බලන කල හට් තිලක් නැමැත්තාම බොරු කියන බව අපට ඉන්තේරුවෙන්ම පැවසිය හැක.

අනෙක් කාරණය නම් මොහු  තමන් පැහැරගත් අය මත්කුඩු ව්‍යාපාර සම්බන්ධව ප්‍රශ්න කළ බව පැවසීමද පිලිගත නොහැක. මන්ද මේ තැනැත්තා පැහැරගත් පසුව ගරු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ මේ තැනැත්තා තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු නොවන බවත් එහෙත් සමීප හිතවතෙකු බවත්ය. සත්ව හිංසාවට කිසිසේත්ම අකමැති මස් මාළු කටේවත් නොතියන අපේ අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කුඩු විකුණන හිතවතුන් සිටිය නොහැක. ගරු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් ගෝඩ් විෂ්ණුට කැලණිය ප්‍රදේශයේ මාලිගාවක් වැනි දේවාලයක් සාදා දුන්නේ කුඩු ව්‍යාපාරිකයන් එක්කාසු කරදුන්නු සල්ලි වලින් නොවේය. එතුමාට කලක් චෝදනා එල්ලවී තිබෙද්දී හාමුදුරු සෙට් එකක්ම එකතුවී එතුමා වැරදි නොකරන යහපත් සිංහල බෞද්ධයෙක් බවට ජොයින්ට් කැරැක්ටර් සෙටිවිකේට් එකක් දුන්නේ ලංකා ඉතිහාසයේ පලමු වතාවටයි. එනයින් බලන කල අපේ ගරු අමාත්‍ය මර්වින් සිල්වා බොරු නොකියයි. හට් තිලක් නැමැත්තාම බොරු ගොතා කියයි.

මස් මාළු කටේවත් නොතබන තවත් සත්ගුණවත් උපාසක මහතෙකු වන වත්මන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයට පැමිණි පසුව ආරක්ෂක අංශ වලින් මෙතෙක් සිදුවු පැහැර ගැනීම් මිනීමැරීම් සම්පුර්ණයෙන්ම නතර විය. එනිසා සුදු වෑන් වලින් පැහැර ගැනීමේ කථාව බොරුය. එමෙන්ම කොටින් සමග තිබුණු යුද්ධයේ අවසාන අවස්ථාවේ සුදුකොඩි උස්සාගෙන ආපු අයට අපේ ආමි එකෙන් වෙඩි තිබ්බ කථාවද බොරුය. මේවා ගැන ජාත්‍යන්තර පරීක්ෂණ අනවශ්‍ය බව අපේ රජය පුන පුනා පවසන්නේ ඒවාට කාලය සහ මුදල් වියදම් කිරීමද නාස්තියක් වන නිසාය. කෙසේ නමුත් දැන් පොලීසිය තිබෙන්නේ ස්වර්ණා මල්ලවාරච්චි වැනි මල්ලවාරච්චි කෙනෙකු අතය. ඒ නිසා හට් තිලක් පැහැර ගැනීම සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිසේත්ම චෝදනා එල්ල කළ නොහැක.
අන්වර් මනතුංග විසිනි

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: