you're reading...
Articles / ලිපි

නිමලරූබන් මරණයේ කැකිල්ලේ තින්දුව

නිමලරූබන්ගේ නඩුව ගැන ‘ආසියානු මානව හිමිකම් කොමිසමේ’ ප‍්‍රසිද්ධ නිවේදනය

දේශීය සහ විදේශීය වශයෙන් ආන්දෝලනයට ලක්වූ, හිරගෙදරදී ජීවිතක්ෂයට පත් වූ දෙමළ සිරකරු ගනේෂන් නිමලරූබන් පිළිබඳ මානව හිමිකම් නඩුව පසුගිය ඔක්තෝබර් 14 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ, ‘තත්වාකාර අගවිනිසුරු’ මොහාන් පීරිස් මේ නඩුව තවදුරටත් ගෙනයාම ප‍්‍රතික්ෂේප කෙළේය. මූලික හිමිකම් නඩුවක් ඉදිරියට ගෙන යාම තීරණය කිරීමේ දී අනුගමනය කළ යුතු සාමාන්‍ය නෛතික ප‍්‍රමිතීන් අනුගමනය කිරීම ‘තත්වාකාර අගවිනිසුරුවරයා’ විසින් මෙහි දී නොසළකා හරින ලදි.

එවැනි නිගමනයකට පැමිණීමට පෙර, අධිකරණයක් පිළිපැදිය යුතු ප‍්‍රමිතීන් සහ නිර්ණායක මෙසේය:

1. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පිළිගැනෙන ආකාරයේ මූලික අයිතියක් උල්ලංඝණය වී ඇති බවක් පෙත්සම්කරුගේ අයදුම්පතින් පෙන්වා දෙයි ද?

2. එය විභාග කර බැලීමක් යුක්ති සහගත කෙරෙන ප‍්‍රමාණවත් සාක්ෂි වාර්තාව තුළින් පෙනෙන්ට තිබේ ද?

3. එවැනි අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාල සීමාව වැනි පරිපාටිමය අවශ්‍යතා සපුරා තිබේ ද?

වගඋත්තරකාර අධිකරණ නිලධාරීන් විසින් කරන ලද පහරදීම් හේතුවෙන් ඇති වූ තුවාල නිසා සිය පුතාගේ මරණය සිදුව ඇති බව, ඉහත සඳහන් කොන්දේසි ප‍්‍රකාරව පෙත්සම්කරු කියා සිටියේය. මරණයට අදාළ එකී කරුණ ගැන ‘තත්වාකාර අගවිනිසුරුවරයා’ ද එකඟ විය. අයදුම්පතට අදාළ වෙනත් කිසි අක‍්‍රමිකතාවක් ද නොතිබුණි.

සෑම නඩුවකදීම විනිශ්චයකරුවෙකුගෙන් බලාපොරොත්තු වන්නේ, තමා ඉදිරියේ ඇති සාක්ෂි මත කටයුතු කිරීම මිස විනිශ්චයන් සඳහා තමාගේ අගතීන් හෝ හිතුමනාපයන් පාදක කර ගැනීම නොවේ. දැනට ප‍්‍රසිද්ධියට පත්ව ඇති වාර්තාවලට අනුව, මේ අති මූලික ප‍්‍රතිපත්තිය ‘තත්වාකාර අගවිනිසුරුවරයා’ විසින් ගර්හාවට පත්කොට ඇත. නඩුව ආරම්භයේ දීම, එතැනින්ම නඩුව ඉවරයක් කළ යුතුව ඇතැ යි ඔහු කී බව වාර්තා වෙයි. එපමණක් නොව, නීතිඥයන්ට ද රට කෙරෙහි වගකීමක් ඇති බවත්, බන්ධනාගාර නිලධාරීන්ගේ වැරදිවලට විරුද්ධව මෙසේ පෙත්සම් ගොනු කිරීමෙන් තවත් හිරකරුවන්ව කැරලි ගැසීමට උනන්දු කිරීමක් සිදුවන බවත්, ඒ මගින් වැරදි පණිවිඩයක් නිකුත් විය හැකි බවත් ඔහු සඳහන් කළ බවත් වාර්තා වෙයි.

නීතිඥයන්ට මෙන්ම අධිකරණයටත් රට කෙරෙහි පැවරෙන වන වගකීම වන්නේ, නීතිය ආරක්ෂා කිරීම වන බව මෙහි දී පෙන්වා දිය යුතුය. අධිකරණයකින් එය නොකෙරෙයි නම් එය කිරීමට වෙන කිසිවෙකු ඇත්තේ නැත. නීතිය ආරක්ෂා නොකිරීම, රට අගාධයට ඇදහෙලයි. තමාගේ තනතුරේ නාමයෙන් තමන් වෙත පැවරෙන වගකීම් ගැන සළකා බැලීම මිස, තමාගේ පක්ෂපාතීත්වයන් හෝ දෘෂ්ටිවාද ගැන දේශනා පැවැත්වීම ‘තත්වාකාර අගවිනිසුරුවරයාගේ’ වගකීමක් නොවේ. තමාගේ වගකීම්වලට ගරු කිරීමට අසමත් වන විනිසුරුවරයෙකුට, නීතිඥයෙකුගේ වගකීම් ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක් ද? ඇත්ත වශයෙන්ම, සිරකරුවෙකු වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කිරීම මාර්ගයෙන් නීතිඥයන් කර ඇත්තේ තමන්ගේ වගකීමක් ඉටු කිරීමයි. ඒ අනුව, සමාජයේ කෙතරම් ගර්හාවට ලක්ව සිටින කෙනෙකුගේ වුවත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිඥයෙකු ඉදිරිපත් විය යුතු බව නීතිඥවරුන් මෙහි දී භාවිතාවෙන් ප‍්‍රදර්ශනය කොට තිබේ.

‘තත්වාකාර අගවිනිසුරුවරයා’ මෙහි දී අනුගමනය කර ඇති ක‍්‍රියාකලාපය නිසා, නීතියට එරෙහිව කටයුතු කිරීම අනිත් අධිකරණ නිලධාරීන් අතරේත් දිරිමත් කෙරෙන අතරේම, මේ සිද්ධියේ දී මෙන් මරණය පවා සිදුකරන ප‍්‍රශ්නවලට සිරකරුවන්ට මුහුණදීමටත් අවකාශ සලසනු ඇත. තමන්ට එරෙහිව ඇති පැමිණිලි විභාග කිරීමට අධිකරණය ප‍්‍රතික්ෂේප කරන බව දකින නිලධාරීන්, තමන්ගේ බලය තව තවත් අයුතු ලෙස පාවිච්චි කිරීමට නොපැකිළෙනු ඇත. ‘ළමයින්ව හොඳට හැදුවා නං, මේ වගේ ඔවුන් හැසිරෙන්නේ නැහැ’ යනුවෙන්, මරණයට පත් සිරකරුවා ගැන සඳහන් කරමින් ‘තත්වාකාර අගවිනිසුරුවරයා’ කී බවක් ද වාර්තා වෙයි. ඒ වු කලී, නඩුවක් ආරම්භ කිරීමටත් මත්තෙන්ම විනිසුරුවරයෙකු තමන්ගේ පූර්ව විනිශ්චයන් සහ අගතීන් පැහැදිළිවම පෙන්නුම් කළ අවස්ථාවකි. එවැනි ප‍්‍රකාශන ඕනෑම කෙනෙකුට කළ හැකිය. උදාහරණයක් වශයෙන්, විනිසුරුවරුන් නිසි පුහුණුවක් ලබා ඇත්නම් ඉහත සඳහන් ආකාරයේ ප‍්‍රකාශ විනිසුරුවරයෙකු නොකරනු ඇතැ යි කෙනෙකුට කිව හැකිය. මේ සියල්ලේ ප‍්‍රතිවිපාකය වනු ඇත්තේ, අධිකරණ ක‍්‍රියාවලිය හෑල්ලූ කිරීමත්, එය දේශපාලන ක‍්‍රීඩාවක තත්වයට පහත හෙලීමත් ය.

කැරැල්ල මැඩපැවැත්වීම සඳහාත්, සිරකරුවන්ගේ ප‍්‍රාණඇපකරුවන් බවට පත්ව සිටි බන්ධනාගාර නිලධාරීන් ගලවා ගැනීම සඳහාත්, යම් බලයක් පාවිච්චි කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට සිදුව ඇති බවක්, ‘තත්වාකාර අගවිනිසුරුවරයා’ සඳහන් කළ බවක් ද වාර්තා වෙයි. අනතුරුව, නිමලරූබන් හෘද රෝගියෙකු බවත්, ඔහුගේ මරණය සිදුව ඇත්තේ ඒ හේතුවෙන් බවත් ඔහු කියා ඇත. මරණයට හේතු දෙකක් ඇති බව මේ අවස්ථාවේ දී පෙත්සම්කරුගේ නීතිඥවරයා පෙන්වා දී තිබේ. ඉන් එකක් වන්නේ, නග්න බලහත්කාරය නිසා ඇති කරන ලද ක්ෂතියයි.

පුද්ගලබද්ධ දැනුම

මේ අවස්ථාව වන විට, නඩුවට අදාළ දෙපාර්ශ්වය විසින් අධිකරණය ඉදිරියේ සියළු තොරතුරු ගොනුකොට තිබුණේ නැත. ඒ නිසා අදාළ දත්ත මත විනිශ්චයකට එළැඹිමේ හැකියාවක් ‘තත්වාකාර අගවිනිසුරුවරයාට’ තිබුණේ ද නැත. ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ සඳහන් පහත සඳහන් වාර්තාව අනුව පෙනී යන්නේ, ඔහුගේ විනිශ්චය පදනම් වී ඇත්තේ ඔහුගේ ‘පුද්ගලබද්ධ දැනුමක්’ මත බවයි.

‘‘මරණයට පත් පුද්ගලයා කැරැල්ලට සම්බන්ධව සිටි බවක් පෙන්නුම් කිරීමට උසාවිය ඉදිරියේ සාක්ෂි නැති බව පෙත්සම්කරුගේ නීතිඥ මහතා පෙන්වා දුන් අවස්ථාවේ, ඔහු ඊට සම්බන්ධ වී ඇති බව තමා පුද්ගලිකව දන්නා බව ‘තත්වාකාර අගවිනිසුරුවරයා’ සඳහන් කොට ඇත.’’

බටහිර රටක ප‍්‍රගීත් එක්නැලිගොඩ ජීවත් වන බව තමා පුද්ගලිකව දන්නේ යැයි ‘වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව’ ඉදිරියේ ප‍්‍රකාශ කොට සිටියේ ද මේ මොහාන් පීරිස්ම ය. ඒ ගැන සාක්ෂි දීමට පසුව අධිකරණයට ගෙන්නූ අවස්ථාවේ දී ඔහු කීවේ, තමා එය දැනගත්තේ වෙනත් කෙනෙකු තමාට කී නිසාවෙන් බවත්, එසේ කීවේ කවුරුන් දැ යි දැන් තමන්ට මතක නැති බවත් ය. එපමණක් නොව, ප‍්‍රගීත් ඉන්නේ කොහේදැ යි දන්නේ දෙවියන් වහන්සේම පමණක් බවත් එදා ඔහු උසාවිය ඉදිරියේ කියා සිටියේය.

කෙනෙකුගේ පෞද්ගලික දැනුම පිළිබඳ මේ කතාව බොහෝ ප‍්‍රශ්න මතුකරයි. පුද්ගලික දැනුමක් යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? නිමලරූබන්ගේ මරණයට අදාළ සිදුවීම් ගැන යම් ඓන්ද්‍රීය දැනුමක් ඔහුට තිබුණේ ද? නැත්නම් එම සිදුවීම් ඔහු දැක හෝ අසා තිබුණේ ද? එසේ නැතහොත් මේ දැනුම ඔහුට ලැබුණේ, වගඋත්තරකාර නිලධාරීන් ඔහුට ඒවා කී නිසා ද? එසේ නැතහොත්, පෙත්සම්කරුට නොපෙන්වන ලද වෙනත් වාර්තාවකින් ද? උත්තරය කුමක් වෙතත්, මෙය, ‘තත්වාකාර අගවිනිසුරුවරයා’ මෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණයමත් අපකීර්තියට පත්කරන්නකි.

තමා ඇසීමට නියමිත නඩුවක් පිළිබඳ පුද්ගලික දැනුමක් යම් විනිසුරුවරයෙකුට ඇතොත්, ඔහු එම නඩුව ඇසීමෙන් ඉවත් විය යුතුය. එසේ නොකිරීම, අධිකරණයේ අපේක්ෂිත කල්ක‍්‍රියාවේ අතිමුලික පරාස ගර්හාවට පත්කිරීමකි. මොහාන් පීරිස් ඔහුගේ පුද්ගලික අත්දැකීම් ගැන කතා කරයි නම් මොහාන් පීරිස් සමග වන තමන්ගේ අත්දැකීම ගැන කතා කිරීමට තවත් බොහෝ දෙනෙකුට අවශ්‍ය විය හැකිය. කෙසේ වෙතත්, අධිකරණ ක‍්‍රියාමාර්ගයකින් පිටස්තරව ජීවිතක්ෂයට පත්කළ බරපතල චෝදනාවක් සම්බන්ධයෙන් විභාග කර බැලීමට මේ විකාරවල ඇති සම්බන්ධය කුමක් ද?

මරණයට පත් සිරකරුවාගේ අත බිඳීමක් ඇතුලූව ඔහුගේ සිරුරේ තුවාල 20 කට වැඩි ප‍්‍රමාණයක් තිබුණු බවත්, කැරැල්ල මැඩපවත්වන වෙලාවේ එම තුවාල සිදුවූ බවට සාක්ෂි නොමැති බවත්, පෙත්සම්කරුගේ නීතිඥ මහතා අධිකරණයට දන්වා සිටියේය. මේ නිසා, පෙත්සම වීසි කරන්නේ සද්භාවයෙන් බව පෙන්නුම් කිරීමට ‘තත්වාකාර අගවිනිසුරුවරයා’ එක්කෝ තමන්ගේ හිතළුවක එල්ලී සිටින්නට ඇත. නැත්නම්, හිතාමතාම කතාවක් ප‍්‍රබන්ධ කරන්නට ඇත.

ඊටත් වඩා, අධිකරණය වෙත ලැබී ඇති රහස්‍ය වාර්තා පෙත්සම්කරුට ලබා දිය නොහැකි බව ද ඔහු කී බවක් වාර්තා වෙයි. ඊට හේතුව වශයෙන් ඔහු දක්වා ඇත්තේ, පෙත්සම්කරුගේ මාර්ගයෙන් ඒවා ප‍්‍රසිද්ධියට පත්විය හැකි බවකි. පරීක්ෂණයකට අදාළ සියලූ කරුණු විවෘත උසාවිය ඉදිරියේ තැබිය යුතු බව, සාක්ෂි පිළිබඳව පවතින අවිවාදිත ප‍්‍රත්‍යක්ෂයකි. එසේම, උසාවියක් ඉදිරියේ ඇති සෑම සාක්ෂියක්ම බලා ගැනීමට එම නඩුවට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම අයිතියක් ඇති බවත් එවැනිම ප‍්‍රත්‍යක්ෂයකි. සාධාරණත්වය යනු, තාර්කික ක‍්‍රියාවලියක් මිස, විනිශ්චයකරුවෙකුට හිමි දේව අයිතියක් නොවේ. විනිසුරුවරයෙකු තම විනිශ්චයට එළැඹෙන ක‍්‍රියාවලිය දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ.

ගනේෂන් නිමලරූබන් පිළිබඳ පෙත්සම වීසි කර දැමීම මුළුමණින්ම වැරදි සහගත බවත්, එය පියෙකු වශයෙන් පෙත්සම්කරුගේ අයිතිය පැහැදිළිවම ප‍්‍රතික්ෂේප කිරීමක් බවත්, ආසියානු මානව හිමිකම් කොමිසම එකහෙලා ප‍්‍රකාශ කොට සිටී. එපමණක් නොව, එය සමස්තයක් වශයෙන් පුරවැසියන්ගේ අයිතින් ද ප‍්‍රතික්ෂේප කිරීමකි. මන්ද යත්, අධිකරණයේ මේ ක‍්‍රියාකලාපය, අධිකරණයක් ඉදිරියට එන අනාගත නඩු සම්බන්ධයෙන් හානිකර විය හැකි අන්දමේ පූර්වාදර්ශයක් සපයන නිසා ය.

පෙත්සම්කරුගේ පැත්තෙන් සහ ජනතාවගේ පැත්තෙන් පවා ගත හැකිව ඇති ක‍්‍රියාමාර්ග කවරේ ද?

අගවිනිසුරුවරියගේ දෝෂාභියෝගයට අදාළව අභියාචනාධිකරණයෙන් දෙන ලද තීන්දුව ඉවත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දී ඇති පූර්වාදර්ශය අනුව යමින්, මූලික මහජන වැදගත්කමකින් යුත් වැදගත් නීති ප‍්‍රශ්න වශයෙන් සළකා පහත සඳහන් කරුණු පිළිබඳ පැහැදිළි කිරීමක්, විනිසුරන් වැඩි දෙනෙකුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණයකින් ඉල්ලා සිටීමට පුළුවන:

1. මූලික අයිතිවාසිකම්වලට අදාළ නඩුවක පෙත්සම්කරුවෙකු ඉල්ලා සිටින සහන දුන්නොත්, එය වෙනත් අයටත් තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීමට හේතුවක් විය හැකිය යන තර්කය මත, අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප‍්‍රභා කළ හැකි ද?

2. බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව කැරලි ගසනු ලැබීමට වෙනත් සිරකරුවන්ට අනුබලයක් විය හැකි ය යන තර්කය මත, සිරභාරයේ සිටින සිරකරුවෙකුගේ කිසි මරණයක් අධිකරණයක අභියෝග කිරීමට ඉඩ දිය යුතු නැතැ යි යන්න පිළිගත් නීතිය ද?

3. විනිසුරුවරයෙකු සතු පුද්ගලික දැනුමක් මත නඩුවක විනිශ්චයකට එළැඹීම, පිළිගත් නීතිය ද?

4. නඩුවකට අදාළව අධිකරණයකට ඉදිරිපත් කර ඇති වාර්තාවක් කිසි හේතුවක් මත මොනම ආකාරයකින්වත් සහ, විශේෂයෙන් නඩුවේ යම් පාර්ශ්වකරුවෙකු එකී වාර්තාවේ සඳහන් තොරතුරු ප‍්‍රසිද්ධියට පත්කිරීමට ඉඩ ඇතැ යි යන තර්කය මත, නඩුවේ පාර්ශ්වකරුවන්ගෙන් එම වාර්තාව වැසැංගීම පිළිගත් නීතිය ද?

5. තමාගේ අගතීන් සහ හිතුමනාපයන් මත පදනම්ව නඩු තීන්දු දීම සහ අදාළ පාර්ශ්වවලට බණ කීම දැන් පිළිගත් නීතිය ද?

6. අපේක්ෂිත අධිකරණ කල්ක‍්‍රියාවේ ඇතැම් වැදගත් ලක්ෂණයන් යම් විනිසුරුවරයෙකු ප‍්‍රසිද්ධියේම ගර්හාවට ලක්කරන විට පෙත්සම්කරුවෙකු ගත යුතුව තිබෙන ප‍්‍රතිකර්මික පියවර කවරේ ද?

7. ආණ්ඩුවකට එරෙහිව හෝ එහි නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීම එම රටට එරෙහි වීමක් වශයෙන් පිළිගැනීම, අද පිළිගත් නීතිය ද?

8. ආණ්ඩුව විසින් හෝ එහි යම් නිලධාරියෙකු විසින් තමාගේ අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැ යි යන සේවාදායකයෙකුගේ උපදෙස් මත නඩු නොපවරා සිටීමේ යුතුකමක් නීතිඥයන්ට තිබේ ද?

මෙකී නඩුවේ දී ඇති වූ ඉහත සඳහන් අපකීර්තිමත් තත්වයත්, වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණය තුළ පොදු ප‍්‍රවණතාවක් බවට එය පත්වෙමින් ඇති තත්වයත් සැළකිල්ලට ගෙන, වහාම එය නතර කිරීමට මැදිහත් වන ලෙස, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙන් මෙන්ම මහජනතාවගෙන් ද, ආසියානු මානව හිමිකම් කොමිසම ඉල්ලා සිටී.

සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: