you're reading...
Articles / ලිපි

කුරාම් ෂෙක්, නිමලරූබන් සහ කැකිල්ලේ තීන්දු

ganesan_nimalaruban

ගනේෂන් නිමලරූබන්

බ්‍රිතාන්‍ය ජාතික රතුකුරුස සේවයකු වූ කුරාම් ෂෙක් (32) මෙරට දී  මරා දමන ලද්දේ දෙවසරකට පෙර නත්තල් දිනයේ දී ය. ඔහු සහ ඔහුගේ පෙම්වතිය සංචාරක නිකේතනයක රාත්‍රී ආහාර ගනිමින් සිටිය දී තංගල්ලේ  දේශපාලන බලපුලුවන්කාරයින් විසින් කුරාම් ෂෙක්ට වෙඩි තබා ඝාතනයකරන ලදී. ඒ ඔහු විසින් කරන ලද වරදක් නිසා නොව සිය සහකාරියට ලිංගික බලහත්කාකම් කිරීමට බීමත් එම දේශපාලන බලවන්තයින් විසින් දරන ලද ප්‍රයත්නයට ඉඩ නොදුන් නිසා ය.මෙම සාහසික ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුණේ නාමල් රාජපක්ෂගේ දේශපාලන සගයකු වූ තංගල්ල ප්‍රාදේශීය සභාපති ඇතුලු පිරිසකි. රැදවූම් බන්ධනාගාරගතව සිටියදී ඔවුනට අවශ්‍ය සැප සම්පත් නොඅඩුව තිබිනැයි ජනමාධ්‍ය වාර්තා කළේය. පසුව ඇප පිට නිදහස් කරන ලද එම දේශපාලනඥයා සහ සහචර පිරිසට එරෙහිව ඊයේ පෙරේදා වනතුරුම කිසිදු නඩුවක් පැවැරුනේ නැත.

මෙයට තෙමසකට පෙර නිවේදනයක් නිකුත්කරමින් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එම අපරාධයට මාස 18ක් පමණ ගතවී තිබියදීත්  නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ  දැඩි කලකිරීම ප්‍රකාශ කළේ ය. එය තවදුරටත් කියා සිටියේ මෙම අවනීතිය

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ටද බලපෑ හැකි බවයි. ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය පුවත් පත් වාර්තා කළේ  එළඹෙන නොවැම්බරයේ දී මෙරට පැවැත්වෙන පොදු රාජ්‍ය මංඩල රාජ්‍ය නායක සමුළුට පැමිණෙන එලිසබෙත් මහා රාජිනියගේ වැඩිමහල් පුත් වාල්ස් කුමරු විසින් කුරාම් ෂෙක් ඝාතනය ගැන ජනාධිපති රාජපක්ෂගෙන් විමසනු ඇති බවයි.

 

රාජපක්ෂ පඩුපුල් අසුන ගිනි ගත්තේ එවිට ය.  දැන් කුරාම් ෂෙක් ඝාතනය සම්බන්ධයෙන් හදිසි නඩු විභාගයකට රාජපක්ෂවරු අවසර දී තිබේ. සාපරාධී මිනී මැරීම, ස්ත්‍රී දූෂණය, නීති විරෝධී ලෙස අවි පරිහරණය, නීති විරෝධී ලෙස රංචු ගැසීම සහ සමූහ ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ දැන් නඩු පවරා ඇත. මෙම නඩුව පැවැරීමට රාජපක්ෂ පාලනයට සිදුවුයේ විදේශීය බලපෑම් නිසා ය. කෙටියෙන් කියන්නේ නම් කුරාම් ෂෙක් සුද්දෙක් වූ නිසා ය. ඒ  සුද්දා අයිති රට යුක්තිය කොහිදැයි රාජපක්ෂවරුන්ගෙන් විමසන බවට අනතුරු හැඟවූ නිසා ය.  එවැනි අනතුරු ඇඟවීමක් නොවූයේ නම් කුරාම් ෂෙක්ගේ මරණයත් සාක්ෂි නැති මරණයක් වීමට හොඳටම ඉඩ තිබුනි.

කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා යැයි කියන්නේ මෙන්න මේ ජාතියේ වැඩවලට ය. සුද්දන් කියන විදියට අප නටන්නේ නැතැයි හතර මුල්ල පනින නමුත් මහා රාජිනී පුත් චාල්ස් කුමාරු ප්‍රශ්ණ අහනවාට බය ය. එවැනි බියක් නොතිබුණි නම්  මෙරට යටත් කරගෙන  වෙල්ලස්සේ ජනයා ඝාතනය කළ සුද්දන්ට මෙරට දී මානව හිමිකම් අයිති නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ලෙස ජනාධිපති රාජපක්ෂ විසින්ම පත් කළ මොහාන් පීරිස් වෙත පෙත්සමක් යවන්නට තිබුණි. එවිට මෙම මරණය ශ්‍රී ලංකාවට විරුද්ධ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය වෙනුවෙන් සිය කැමැත්තෙන් කර ගත් එකක් විය හැකි යැයි කැකිල්ලේ තීන්දුවක් ද ලියැවෙන්නට ද තිබුනි.

එසේ සිතෙන්නේ නිකමට නොවේ. හේතු ඇතිවය.

ජනාධිපති පත්කළ අගවිනිසුරු පීරිස් පසුදාක එවැනි අපූරු තීන්දුවක් දුන්නේ ය. ඒ වවුනියා සිර ගෙදරදී ඝාතනය කරන ලද නිමල රූබන් නම් දෙමළ තරුණයා ගැන ය. නිමල රූබන් මියගියේ ඔහුට පමුණුවන ලද වධහිංසා නිසා ය. ඒ බව ඔහුගේ සිරුර පුරා දක්නට තිබුණි.  ඔහුගේ මා පියෝ සිය පුතුගේ මරණය මිනී මැරුමක් බව කියා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහ.

එම පෙත්සම විසි කරමින් පීරිස් කියා සිටියේ එවැනි ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් නැති බවයි. මෙම තීන්දුවෙහි එන මොහාන් පීරිස්ගේ නීතියට අනුව බන්ධනාගාරයක සිදුවන ගැටුමකදී මරණයක් සිදුවීම මානව හිමිකම් උල්ලංඝනය වීමක් ලෙස අර්ථකථනය කළ නොහැකි ය. ( 1983 වැලිකඩ සිර ගෙදර දෙමළ සිරකරුවන් 53 දෙනෙකු ඝාතනය කළේ ද මෙසේ ය. එමෙන් ම මොහාන් පීරිස් මේ ලියන්නේ පසුගිය වසරෙහි වැලිකඩ සිර ගෙදර සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ පූර්ව තීන්දුවක් බව ද අප මතක තබා ගත යුතු ය) නිමලරූබන් ත්‍රස්තවාදියකු බව තමා පුද්ගලිකවම දන්නා බව කී පීරිස් මෙවැනි නඩුවලට ඉඩ දීම තුලින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් විදේශ රටවල දේශපාලන රුකවරණ පැතීමට ඉඩ ඇතැයි යන්නද එම නඩුව විසි කිරීමට හේතුවක් ලෙස දැක්වීය.

 

නිමලරූබන් ත්‍රස්තවාදියකු යැයි පීරිස් කියා සිටින්නේ කුමන අධිකරණ විනිශ්චයක් අනුව ද? පීරිස් ඒ බව පුද්ගලිකව දන්නේ ඔහු විසින් කරන ලද ගවේශණයක් අනුව ද? එසේ නම් එම ගවේශනයේ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට පීරිස් සූදානම් ද? පුද්ගලයකුගේ පුද්ගලික තීරණයක් අධිකරණයක් හමුවේ නීතියක් බවට පත් වන්නේ කෙළෙස ද? පීරිස්ගේ මනෝමය තීරණය මත පුරවැසියකුගේ මරණය සාධාරණ කළ හැකි ද? නිමලරූබන් ත්‍රස්තවාදියකු බව පීරිස් දැන සිටියා නම් ඔහුට විරුද්ධව කිසිදු නඩුවක් නොපැවරූයේ මන්ද? මරා දමන අවස්ථාව වනතුරු ම නිමලරූබන්ට කිසිදු අධිකරණයක නඩුවක් පවරා තිබුණේ නැත. ඥාතීන් රට යනු ඇතැයි මානව හිමිකම් නඩු විසි කිරීම කුමන නීතියක් ද?

 

බොරු හෝ නොදන්නා දේ කීම සම්බන්ධයෙන් මොහාන් පීරිස්ට ඇත්තේ අන්තර් ජාතික වාර්තාවකි. අතුරුදහන් කරන ලද ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදෙස් රටක දේශපාලන රුකවරණ ලබා ජිවත් වන්නේ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කියා සිටි පීරිස් හෝමාගම අධිකරණය හමූයේ කීවේ ප්‍රගීත් එකුනැලිගොඩ ඉන්නා තැනක් දන්නේ දෙවියන් වහන්සේ පමණක් බවයි. එ.ජා. සංවිධානය හමූයේ පීරිස් කල ප්‍රකාශය ඔහුගේ කඩ හඩින් එළෙසම ඉදිරිපත් කළ ද ඔහු තමා එසේ කී බව ඔහු පිලිගත්තේ නැත. (සමාවෙන්න, මේ මොහාන් පීරිස් සහ අගවිනිසුරු මොහාන් පීරිස් යනු පුද්ගලයින් දෙදෙනෙකු නොවේ.)

 

නිමලරූබන්ගේ මූලික මානව අයිතීන් සම්බන්ධයෙන් පිළිබඳ පැවැරුනු එම නඩු විභාගයේ තීන්දුව වත්මන් ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම  පිළිබඳ බිය ජනක සංඥාවකි. යුක්තිය ඉටුවීම වෙනුවට ජනාධිපති පත් කළ අගවිනිසුරුවරයාගේ පුද්ගලික මනෝභාවය ආදේශ වීම එමගින් මුළු ලෝකයටම විද්‍යාමාන වෙයි. අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තිය ලැබෙන්නේ මෙවැනි නඩු තීන්දු නිසා ය.

 

නිමලරූබන් ශ්‍රි ලංකාවේ මර්දනයට ලක් වූ දෙමළ ප්‍රජාවේ සාමාජිකයෙකි. කුරාම් ෂෙක්  වැනි බ්‍රිතාන්‍ය ජාතිකයකු නොවේ. මෙම මරණය සිදුවුයේ දෙමළෙකුට නොව ඇමෙරිකානුවකුට හෝ බ්‍රිරිතානියකුට වී නම් මෙවැනි තීන්දුවක් ලැබෙනු ඇත් ද? කුරාම් ෂෙක් ඝාතන නඩු විභාගය හදිසි කිරීම සම්බන්ධයෙක් ඉංග්‍රිසියෙන් ලිපියක් ලියන  නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන කියා සිටින්නේ මේ වනාහි එක් නඩු විභාගයක් සම්බන්ධ ප්‍රශ්ණයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම පිළිබඳ සමස්ත කාරණයක් බව යි. එනයින් ම නිමලරුබන් ඝාතනයත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ඝාතනය සාධාරණ කිරීමත් මෙරට දෙමළ ජාතික දේශපාලන සිරකරුවන් පිළිබඳ ඛේදජනත යථාර්ථයේ සංකේතයකි.

 

නිමලරූබන් ඝාතනය සම්බන්ධයෙන් එම අවස්ථාවේ දී දීර්ඝ ලිපියක් ලියූ නීතිඥ උපුල් ප්‍රේමරත්න දෙමළ සැකරුවන් මුහුණ දෙන අයුක්තිය පැහැදිළි කරනු වස් සිද්ධීන් දෙකක් උපුටා දැක් වූයේ ය.

 

ඉන් එකක් නම් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ ඒ වන විට රඳවා සිටි ‘තිරුමගල්’ නම් දෙමළ ස්ත්‍රිය යි. 1996 දී අත් අඩංඟුවට ගැනුනු ඇය  වසර 16ක නඩු විභාගයට මුහුණ දී සිටියා ය. අත් අඩංඟුවට ගැනුනු  අවස්ථාවේ දී ඇය සිව් මස් ගැබිණියකව සිටි අතර සිර ගෙදරදීම ලද එම දරුවාටද වයස අවුරුදු 16ක් විය. ඒ වන විට වසර 16ක් පුරා ඇය  429 වතාවක් නඩු විභාග යනාදිය සඳහා උසාවි ගොස් තිබුණි. නමුත් තීන්දුවක් ලැබී තිබුණේ නැත. ඊටත් වඩා ඛේද ජනක කාරණය වන්නේ ඇයට පවරා ඇති චෝදනා සනාථ වුවද දිය හැකි උපරිම දඩුවම වසර 10ක් පමනක් වීමයි. නමුත් 16 වසරක් සිර ගෙදර ය.

අනෙක් එවැනි උදාහරණය නම් සෙල්ල පිල්ලෙයි මහේන්ද්‍රන් ය. ( ඔහු පිළිබඳව ලිපියක් මෙම තීරුවේ ද කළකට පෙර පළ වුණි)  එවකට වයස අවුරුදු 16ක් වූ ඔහු 1993 දී අත් අඩංඟුවට ගන්නා ලදී.  එල්.ටී.ටී.ඊ.ය විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඔහුට අවි පුහුණුව ලබා දී තිබුණේ වයස 14 දීය. නිතිඥ සහායක් ද නොමැතිව සිංහලයෙන් අසන ලද නඩුවකින් මහේන්ද්‍රන් දස වසරකට සිර ගත කරන ලදී. ඔහු අධිකරණයට ගෙන ගොස් ඇත්තේ දෙවතාවක් පමණි.

සිර දඬුවම අවසන්ව 2005 වසරේදී  නිවසට යෑමේ අපේක්ෂාවෙන් සිටි මහේන්ද්‍රන්ගේ ලිපි ලේඛන පරීක්ෂා කළ බන්ධනාගාර නිලධාරීන් කියා සිටියේ ඔහුට වෙනත් නඩුවක් වෙනුවෙන් ද  ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කොට ඇති බව යි. නමුත් එවැනි නඩුවක් ගැන මහේන්ද්‍රන් දැන සිටියේ නැත. නීතිඥ උපුල් ලියා තිබුණේ වැලිකඩ බන්ධනාගාරයේ දී තමාට හමුවන විට සෙල්ලපිල්ලෙයි මහේන්ද්‍රන් සිහි විකල්ව සිටි බවය.

ත්‍රස්වාදීන්ට මානව හිමිකම් නැතැයි ජනාධිපති පත් කළ අගවිනිසුරු කියන කතාව ඇත්ත ය. කළ යුතුව ඇත්තේ එක වෙනසකි. ත්‍රස්තවාදියා වෙනුවට ශ්‍රී ලාංකික දෙමලා යන්න ආදේශ කිරීමයි.

 

27.10.13

 

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: