you're reading...
වර්ගීකරණය නොකළ

මස් කෑම සහ බුදු දහම පිළිබද ගවේෂනයක් : බුදුන් කල මස් කෑවේ මෙහෙමයි

p27aමාංශ දානය සඳහා ගන්නේ ස්වභාවිකව මියගිය සතුන්ගේ මාංශ ද?
මාංශ දානය
ඉස්ලාමයට අනුව ගව ඝාතනය පිංකමක්ද? යන මාතෘකාව යටතේ අන්වර් මනතුංග විසින් ලියු ලිපියකින් මාංශ දානය බුදු දහමට අනුව කුසල් ලැබෙන පුන්‍ය කර්මයක් බවට ප්‍රකාශ කර තිබුණි. අන්තවාදී වෙබ්අඩවි වලින් එයට ප්‍රතිචාර දක්වා තිබුණේ බුදු දහමෙහි මාංශ දානය පිණිස යොදා ගන්නේ මලසතුන්ගේ මාංශ බවයි.   ස්වභාවිකව මියගිය සතුන්ගේ මාංශ දානයක් ලෙස පිරිනැමූ අවස්ථා පිටකාගත තොරතුරු මගින් පෙන්වන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. එයට පටහැනි මරණයට පත් කරණ ලද සතුන්ගේ මාංශ දානමය කටයුත්තට යොදා ගත් අවස්ථා පිටකාගත තොරතුරු මගින් මුලාශ්‍ර සමග පහතින් ඉදිරිපත්කොට ඇත්තෙමු.
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ  “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

ප්‍රශ්න අංක 100: චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන් වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙල කරන ලද්දක්ද?

පිළිතුර: “සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටි ද නොවූ ඉතා තරුණ ද නොවූ තනිව වාසය කළ සුකරයකුගේ මෘදු වූද, සිනිඳු වූද මසින් පිළියෙල කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ පවසා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත් ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙල කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙල කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංශය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංශය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංශයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා සුකරමද්දවය මසින් පිළියෙල කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංශ නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.”

පාතකඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලාධිපතිව වැඩ විසු රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ මහා නාහිමි පාදයන් ගේ “ගැටලු තැන්” ග්‍රන්ථයේ 85 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“කෘෂිකර්මයට මස් පිණිස සතුන් ඇති කිරීම හා බිත්තර සුලබ කිරීම ද අයත් වන බව අපි දනිමු. එසේ ම වගාව රැක ගැනීම පිණිස ගොවියාට කරන්නට සිදු වන කුඩා සතුන් විනාශ කර දැමීමේ ප්‍රාණ ඝාතය ගැන ද අපි දනිමු. ධීවර කර්මාන්තය එක්තරා ධනොපායන ක්‍රමයක් බව ද දනිමු. මේ සියල්ලම බාහිර හැඩහුරුවෙන් තරමක වෙනසක් ඇති වුවත් එදත් අදත් මිනිසාගේ ජීවනෝපාය සලසා දීමේ මාර්ග හැටියට සැලකුණු හම්බ කිරීමේ මාර්ගයන්ය. අප එකිනෙකාගේ ප්‍රතිපත්ති පිරීම සඳහා මේ එකද ව්‍යාපාරයක් බාධකයක් හැටියට සැලකිය නොහැක. බුදුන් දවස සතුන් මරන්නෝ මිනිසුන්ට මස් සැපයුහ. මහජනයා ඒ මස් මිල දී ගෙන තම තමන් පරිභෝග කළා පමණක් නොව බුදුන් ඇතුළු මහසඟනට ඒ මස් සහිත ව දානයද පිරිනැමුහ. මගේ මේ මතය ප්‍රතික්ෂේප කරන සමහර පුද්ගලයන් සිටිය හැකිය. නමුත් මේ මගේ පිළිගැනීමයි. ඔවුන් දක්වන හේතු ප්‍රත්‍යය ක්‍රමය උඩ ප්‍රාණ ඝාතයෙන් තොර ව වතුර ටිකක් බීමට වත් නොහැකියැයි මට අදහස් වෙයි. එය එක පැත්තක තිබේවා. මිනී මැරිලි නතර කර ගත නොහැකි තැනක මස් කෑම නතර කරන්නට බණ කියන්නට තරම් පිස්සුවක් මට වැලඳී නැත.”

ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි විසින් සකස් කරන ලද “බුදු දහමේ පැන විසඳුම්-1” නම් ග්‍රන්ථයේ 189-190 පිටු වලින් උපුටා ගත් විස්තර පහතින් දක්වා ඇත්තෙමු.

22 – ප්‍රශ්නය: විකිණීම සඳහා වෙළඳ පොළෙහි තබා ඇති මස් මාංශ මිලයට ගෙන පරිභෝග කිරීම පාපයක් වේද?

පිළිතුර:- “අපේ ධර්ම ග්‍රන්ථයන්හි පස් පව්, දශ අකුසල් යැයි අත්හළ යුතු කරුණු පසළොසක් පෙන්වා ඇත. එසේම ආජීවය කෙලෙසන ජීවන මාර්ග පසක් පෙන්වා ඇත.

o   ජීවත් වීම සඳහා මත්පැන් ආදී මදයට ප්‍රමාදයට හේතු වන දෑ විකිණීම,

o   ජීවත් වීම සඳහා මස් මාංශ වෙළඳාම් කිරීම,

o   ජීවත් වීම සඳහා සත්ව ජීවිත වලට හානිකර වස  විෂ වර්ග විකිණීම,

o   ජීවත් වීම සඳහා කෙනෙකුගේ ජීවිතවලට හානිකර අවි ආයුධ විකිණීම,

o   ජීවත් වීම සඳහා සතුන් වෙළඳාම් කිරීම (මසට සතුන් විකිණීම).

යන මේවා බෞද්ධයාගේ ආජීවය කිලිටි වන අදැහැමි වෙළඳාම්ය. මස් මාංශ අනුභවය පවක් වන්නේ මාංශ ලෝලත්වයෙන් අධික කෑදර කමින් පරිභෝග කලොත්ය. පලතුරු එළවළු බුදින්නෙක් වුවද ඒවා කෑදර කමින් පරිභෝග කරයි නම් සිදු වන්නේද සිත කිලිටි වීමයි. ලෝභ දෝෂ මෝහ යන තුන  අකුසල් මුලයෝය. ඒවා මුල් වීමෙන් කරන සෑම ක්‍රියාවක්ම සිත කිලිටි කරන්නකි. සාමාන්‍ය පෘතග්ජනයෙකුට දවස පුරාම ඇති වනුයේ අකුසල සිතය. එය සාමාන්‍ය ස්වභාවයයි. අප කෑම බීම සඳහා වෙළඳ පොළෙන් ගෙන එන දේ පිළිබඳව සිතා බැලුවහොත් නොයෙකුත් අදැහැමි ක්‍රම වලින් සේවකයින් තළා පෙළා නිෂ්පාදනය කරන දේවල් විය හැකිය. මහා පරිමාණ ගොවිතැන් කරන රටවල් ගොවිතැන් වලට ගොවිබිම් වලට ටොන් ගණන් වස විෂ යොදා අනන්ත කෘමීන් ක්ෂුද්‍ර ජීවීන් වනසා ලබා ගත් අස්වැන්නකි, අප මුදලට ගනු ලබන නිර්මාංශ ආහාර වන වී, මුං, කඩල, පරිප්පු මෙන්ම එළවළු පලතුරු යනාදියත්. ඒ බව අද නොදන්නා කෙනෙක් නැත. එහෙත් අප එම ද්‍රව්‍යයන් මිලයට ගන්නා බැවින් අවුරුදු පතා ඉල්ලුමට සරිලන සේ නිෂ්පාදකයෝ තව තවත් ඒවා නිපදවති. පාරිභෝගිකයාට එයින් පවක් වේද? මස් මාංශ සත්ව මාංශයන් බව දනිමු. ඇතැම් විට අප මැස්සෙක් මදුරුවෙක් තරම් සතෙකු හෝ නොමරන පරම අවිහිංසාවාදී අයද විය හැක. නමුත් මේ ආහාර මිලට ගන්නා කිසිවෙකුට ප්‍රාණ ඝාත අකුසලයක් හෝ සත්ව හිංසාවට අනුබල දීමක් සිදු නොවේ. මන්ද? අප තුළ කිසිසේත් එවන් චේතනාවන් නැති හෙයිනි. යම් හෙයකින් මස් මාංශ අනුභවය සත්ව ඝාතනයට අනුබලයක් වීමෙන් පාරිභෝග කරන්නාට පාපයක් අයත් වේ නම්, කෘමි නාශක යොදා නිපදවන සෑම ද්‍රව්‍යයක්ම පරිහරණය කරන්නාටද පාපයක් සිදුවේ.

අප යම් ක්‍රියාවක් කිරීමේදී හටගන්නා චේතනාවයි කර්මයක් බවට පත්වන්නේ. ඒවා වැල ගිය තැන් මුල ගිය තැන් සොයා ගොස් කර්ම සෑදීමක් නම් සිදු නොවේ. අප යම් මාංශ නොවන ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇති වන චේතනාවට වැඩි වෙනසක් මාංශ ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇති වේ යැයි නොපෙනේ. කෙනෙක් විසින් මරන ලද සත්වයෙකුගේ මාංශ අනුභව කිරීමට වැඩි පවක් (කෙනෙක් විසින් මරන ලද සත්වයෙකුගේ මාංශ කෑම පවක් නම්) නුතනයෙහි අති බහුතරයක් එලවළු පළතුරු කන අයට සිදු වේ. මෙය මැදිහත්ව සිතා බලන්න.

බුදුන් වදාළ පෙළ දහම තුළ සත්ව ඝාතනය පවක් ලෙස දක්වා ඇතිමුත් මාංශ අනුභවය පවක් වන බවක් වදාළ තැනක් අපි නොදුටිමු. එසේ පවක් වන්නේ නම් මුලින්ම එය පනවනුයේ භික්ෂුණ්ටය. දෙව්දත්ගේ පඤ්ඡ වරයෙන් එකකි භික්ෂුන් දිවිතෙක් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන්න. ඒත් ගිහියන්ට නොව පැවිද්දන්ටය. ඇරත් බුදුහු එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කළහ. මේ පිළිබඳ කරුණු දැකීමට නම් විනය හා සුත්‍ර පිටකය තරමක් හෝ කියවිය යුතුය. නමුත් අපේ බොදුනුවන් බුදුරදුන්ටත් වඩා අවිහිංසාවාදී බවක් පෙන්නුම් කළත්, අවිහිංසා බණ දේශනා කළත් පන්සිල් ටික හෝ අවංකව රකින්නෝ කී දෙනෙක් සිටිද්ද?

හේතුව: සතුන් මැරීමයි. ඵලය: මස් මාංශයි. යම් කලෙක හේතුව නැති කළහොත් එදාට ඵලයද නැති වේ. බුද්ධ දේශනාව මැදුම් පිළිවෙතකි. කිසිම දෙයක අන්තගාමී බවෙක් ඇත්නම් ඒවා බුදු බණ නොවේ. අවිහිංසාවාදී දෙසුමක් පමණි. මේ දෙකම බෞද්ධයා තේරුම් ගත් විට ජීවත්වීම බරක් නොවේ. අත්‍යවශ්‍ය නොවන වාද භේද ඇති කරමින් බුද්ධ දේශනාවට ඌන පුරණ එක් කිරීමට වඩා අපට සමාජය දැහැමි කිරීම සඳහා කළ යුතු කාර්යයන් කොපමණ තිබේද? තමා ධාර්මිකව ජීවත් වෙමින් පන්සිල් රකිමින් වෙළඳපළෙන් ගත් හෝ ගෙනැවිත් දුන් හෝ කවර මාංශයක් වැළඳුවත් (භික්ෂුණට අකැපයයි දේශිත මාංශ හැර) එය ස්වර්ග සැපයට හෝ මොක්ෂයට බාධාවක් නොවන බවයි මගේ අදහස.” (“බුදු දහමේ පැන විසඳුම්-1” නම් ග්‍රන්ථයේ 189-190 පිටු).

ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ති ධම්මික හිමි (කැලණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙහි ශාස්ත්‍රපති උපාධිධාරී) විසින් ලියන ලද “Good Questions, Good Answers” නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ “දහම් ගැටළු” නම් පොතේ 66-67 වැනි පිටු වලින් උපුටා ගත් තොරතුරු පහතින් දක්වා ඇත්තෙමු. (පරිවර්තක: ශාස්ත්‍ර විශාරද විමලසේන විතාන පතිරණ).

ප්‍රශ්නය: බෞද්ධයන් අවශ්‍යයෙන්ම නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නොවන්නේද?

පිළිතුර:- “බෞද්ධයන් අවශ්‍යයෙන්ම ශාක භක්ෂකයන් නොහොත් නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නැත. බුදුන් වහන්සේ නිර්මාංශ ආහාර පමණක් වැළඳු අයෙකු නොවූ සේක. උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ටද ශාක භක්ෂක ආහාරයක්‌ පමණක් වළඳන්න යැයි දේශනා නොකළ සේක. යහපත් බෞද්ධයන් බොහෝ දෙනෙක් අද පවා මස් මාළු සහිත ආහාර බුදිති.

ප්‍රශ්නය: ඔබ මස් ආහාරයට ගන්නේ නම් එමගින් සතෙකුගේ මරණයට අනියම් වශයෙන් වගකිව යුතුවේ. එය පළමු ශික්ෂා පදය කඩ කිරීමක් නොවන්නේද?

පිළිතුර:- ඔබ මාංශ ආහාරයක්‌ ගත් විට, සත්වයෙකුගේ මරණය ගැන ඔබ අනියම් හා අල්ප වශයෙන් වගකිව යුතු බව සත්‍යයකි. එහෙත් ඔබ එළවළු ආහාරයට ගන්නා විටද තත්වය මෙබඳුය. ඔබේ ආහාරයට ගන්නා එළවළු කෘමි සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඒවාට කෘමි නාශක සහ විෂ යෙදීමට ගොවියාට සිදු වේ. ඒවා ඔබේ ආහාරයට නිසි වන අයුරු බේරා ගන්නේ ඒ අන්දමින් කෘමිනාශක යෙදීමෙනි. ඔබේ බඳ පටියට හෝ අත් බෑගයට හෝ බෙරයට හම් ලබා ගැනීමටත් ඔබ පාවිච්චි කරන සබන් සඳහා තෙල් ලබා ගැනීමටත් මේ හැරුණු විට තවත් දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුවේ. වෙනත් ප්‍රාණියෙකුගේ මරනය සඳහා අනියම් වශයෙන් හේතු කාරක නොවී ජීවිතය ගෙන යාමට අපහසුය. ඔබ පළමු වැනි ශික්ෂා පදය සමාදන් වීමෙන් ප්‍රතිඥා දෙන්නේ කෙළින්ම ප්‍රාණ ඝාතය කිරීමේ වගකීමෙන් ඔබ මිදෙන බවටය.

ප්‍රශ්නය: මහායාන බෞද්ධයන් ආහාර පිණිස මස් ගන්නේ නැහැ නොවේද?

පිළිතුර:- එය නිවැරදි තත්වය නොවේ. චීනයෙහි පවතින මහායාන බුද්ධාගම නිර්මාංශ ආහාරය පිළිබඳව වැඩි වැදගත් කමක් දක්වයි. එහෙත් ජපානයෙහි හා තිබ්බතයෙහි මහායාන භික්ෂුණ් මෙන්ම ගිහියෝද සාමාන්‍යයෙන් මාංශ ආහාරයට ගනිති.

ප්‍රශ්නය: එහෙත් බෞද්ධයා නිර්මාංශ ආහාරයට ගැනීම යෝග්‍යයයි  මම කල්පනා කරමි.

පිළිතුර:- නිර්මාංශ ආහාර ගැනීමේ පුරුද්දක් දැඩි ලෙසම අනුගමනය කරන මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. ඔහු ගති ගුණ වශයෙන් ආත්මාර්ථකාමී වංක පහත් පැවැතුම් ඇති තැනැත්තෙකි. එසේම නිර්මාංශ ආහාර නොගන්නා එහෙත් පරාර්ථකාමී අවංක ත්‍යාගශීලී ගති ඇති කරුණාවන්ත මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. මේ දෙදෙනා අතරින් වඩා යහපත් බෞද්ධයා කවරෙක්ද? අවංක හා කරුණාවන්ත පුද්ගලයාම වඩා යහපත් බෞද්ධයා වේ. ඇයි? මක්නිසාද යත් ඔහු හිතක් ඇති මනුෂ්‍යයෙකු හෙයිනි. නිර්මාංශ ආහාරයට පුරුදුව සිටින තැනැත්තෙකු අපිරිසිදු හදවතක් ඇත්තෙකු විය හැකි සේම, මාංශ ආහාරයට ගන්නා තැනැත්තෙකු පිරිසිදු හදවත් ඇත්තෙකු විය හැකිය. බුදුන් වහන්සේගේ ධර්මය අනුව වැදගත් වන්නේ ඔබේ සිතිවිල්ලෙහි පාරිශුද්ධ භාවය විනා ඔබේ ආහාරයෙහි අඩංගු දේ නොවේ. බොහෝ බෞද්ධයෝ මත්ස්‍ය මාංශ ආහාර කොට නොගැනීමට බොහෝ සෙයින් පරීක්ෂාකාරී වෙති. එහෙත් ඔවුහු ආත්මාර්ථකාමය, වංක බව, කෘරත්වය හෝ ද්වේෂය මැඩ පැවැත්වීමට ඒ අන්දමින් පරීක්ෂාකාරී නොවෙති. පහසු කටයුත්තක් වන ආහාරය වෙනස් කිරීමට ඔවුහු පෙලඹෙතත්, අපහසු කටයුත්තක් වන ඔවුන්ගේ සිත වෙනස් කර ගැනීමට ඔවුහු උත්සාහ නොකරති.” (ශ්‍රාවස්ති ධම්මික හිමි විසින් ලියන ලද “Good Questions, Good Answers” නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ “දහම් ගැටළු” නම් පොතේ 66-67 වැනි පිටු)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි විශේෂවේදී උපාධිධාරී කළුන්දෑවේ කමලසිරි හිමි විසින් ලියන ලද“නිර්මාංශ ආහාරය පිළිබඳ බෞද්ධ ස්ථාවරය” නමැති ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටස් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
(පිටු අංක 50-  )

“මාංශ ආහාර සදාචාරාත්මක ද යන්න පිළිබඳව නොයෙක් මතවාද මතු වෙමින් පවතී.සමහරු මාංශ අනුභවය සදාචාර විරෝධීය යන පදනම මත පිහිටා නොයෙක් සමිති සමාගම් මුල් කරගෙන නිර්මාංශී සමාජයක් ගො ඩනැගීමෙහි ලා නිරත වෙති. සත්ත්ව ඝාතනයේ කුරිරු බව, ජීවත් වීමේ අයිතිය මෙන්ම මාංශ ආහාරයෙන් මනුෂ්‍යයාට සිදුවන අභ්‍යන්තර හා බාහිර පරිහානිය ඔවුන්ගේ ප්‍රධාන මාතෘකා බවට පත් වී ඇත. එමෙන්ම නිර්මාංශ ආහාර ක්‍රමයේ ආරක්‍ෂිත භාවය සහ යෝග්‍යතාව පිළිබඳව විවිධ පොත් පත් ද පළ කර ඇත. එසේ වුවත් මාංශ ආහාරය සම්බන්ධයෙන් සලකා බලන විට එය සාධාරණීකරණය වීමටද නොයෙක් හේතු සාධක ඉවහල් වන බව දක්නට ලැබෙයි. ඒ අතර:-

               පාරසරික බලපෑම්

                ආගමික බලපෑම්

                සංස්කෘතික බලපෑම්

                වෛද්‍ය විද්‍යාත්මක බලපෑම්

යනාදිය ප්‍රධාන වශයෙන්ම මාංශ අනුභවයට ඉවහල් වන බව පැහැදිලි වෙයි. මිනිසාගේ ආගම, සංස්කෘතිය, භූගෝලීය පරිසරය යනාදිය තුළින් මිනිසා මාංශ ආහාර වලට හුරුකර ඇත. එය නිරායාසයෙන් සිදුවන්නකි.

පාරිසරික බලපෑම්

මාංශ ආහාරය සාධාරණීකරණය වීමට බලපෑ ප්‍රධාන ම සාධකයක් වශයෙන් පාරිසරික බලපෑම පෙන්වා දිය හැකිය. මිනිසා ඇතුළුව සමස්ත ජීවී වර්ගයා ම තම ආහාරය සකස් කර ගනු ලබන්නේ තමා ජීවත් වන වටපිටාව (පරිසරය) අනුවය. පරිසරයේ ඇති ආහාරය කෙරෙහි සත්ත්වයා නිරායාසයෙන්ම යොමු වෙයි. එය ආහාරය සම්බන්ධයෙන් සාමාන්‍ය නියමයයි. භූගෝලීය සාධක අනුව උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ඇති රටවල දීර්ඝ කාලයක් හිම පතනය සිදු වන නිසා ශීත සෘතුව පවතී. එවැනි රටවල කෘෂිකර්මාන්තයට ඉඩක් නැත. ඉඩක් තිබුණේ වේ නම් එය ඉතා අල්ප වශයෙනි. එසේ ම කෘෂි නිෂ්පාදනයන් බොහෝ කාලයකට තැන්පත් කර තබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. මේ අනුව ජීවත් වන ප්‍රදේශය හා සලකා බලන විට සතුන් මැරීම හා මාංශ අනුභවය නිහතමානීව ඉවසිය යුතු වන්නේය. ඒ අන් කිසිවක් නිසා නොව ඒ ඒ පරිසර පද්ධතීන්හි මාංශ හැර වෙනත් යමක් ආහාරය සඳහා නොමැති නිසාය. “තමා වෙසෙන පරිසරය හා ජීවත් වීම සඳහා එක්සිමොවරුන්ට හා ලාප්ලන්තවරුන්ට දඩයම් කිරීම හැර වෙන විකල්පයක් නොමැත” (කප්ලිව්, ෆිලිප් “සියලු ප්‍රාණීන් රැක ගනිමු” 103-104 පිටු). එක්සිමෝවරු, ලාප්ලන්තවරු ජීවත් වන්නේ දැඩි හිම පතනයක් සහිත දේශගුණයකය. ඒ නිසාම ඔවුන්ට ශාක ආහාර සොයා ගැනීම අපහසුය. ඔවුන්ගේ ප්‍රධාණ ම ජීවනෝපාය මාර්ගය වන්නේ මාළු ඇල්ලීමයි. ඊට අමතරව හිමයේ ජීවත් වන සතුන් දඩයම් කිරීමෙන් ද ඔවුන්ගේ ආහාරය සපයා ගනී. දැඩි හිම සහිත ප්‍රදේශ වල මෙන් ම කාන්තාර වල ද ප්‍රධාන ආහාරය බවට පත් වන්නේ මාංශ ආහාරයයි. ඔටු මස් කාන්තාර වාසීන්ගේ ප්‍රධාන ආහාරය වන්නේය. මේ හේතු නිසා නිර්මාංශ ආහාරය සෑම තැන්හි ම සාධාරණ නොවන බව පැහැදිලි වෙයි. සෙසු සාධක සියල්ල බැහැර කළ ද පාරිසරික සාධකය මාංශ ආහාරය සම්බන්ධයෙන් ඉතාමත් ම ඉහළින් බලපාන බව මේ අනුව පැහැදිලි ය. ඒ නිසා සියලු දෙනාම බුද්ධිමත්ව සිතා බලා සතුන් මැරීම හා මාංශ අනුභවය ඉවසිය යුතුව ඇත.

සංස්කෘතික බලපෑම්      

බොහෝ පිරිසකගේ එකතුවක් සමාජය ලෙස හඳුන්වයි. සමාජය නිර්මාණය වන්නේ එක් අයෙකුට වැඩි පිරිසක් එක්වීමෙනි. එම පිරිසෙහි අනන්‍ය වූ භාෂාව, අනන්‍ය වූ විශ්වාස පද්ධතිය, පදනම් කරගෙන ඔවුනොවුන්ගේ හැසිරීම් රටාවෙහි ස්වභාවය සංස්කෘතිය ලෙස හඳුන්වයි. සංස්කෘතියක් බොහෝ සෙයින් ආගමික සබැඳියාවකින් පෝෂණය වී ඇති වගක් දක්නට ලැබෙයි. සංස්කෘතිය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ආගමික මුල පදයක් හා සම්බන්ධ කරගෙනය. ඒ බව ජන ව්‍යවහාරය තුළින් මනාව දක්නට ලැබෙයි.

බෞද්ධ සංස්කෘතිය

ක්‍රිස්තියානි සංස්කෘතිය

ඉස්ලාම් සංස්කෘතිය

හින්දු සංස්කෘතිය

ආදී වශයෙන් සමාජයේ සංස්කෘතිය ආගමික මුහුණුවරකින් හඳුන්වනු පෙනෙයි. එයට ප්‍රධාන ම හේතු සාධකය වන්නේ සංස්කෘතියක් හුදෙක් ම ආගම හා සම්බන්ධ වීමයි. යම් විශ්වාස පද්ධතියකින් තොර සංස්කෘතියක් නැත.

බෞද්ධ සංස්කෘතිය

සංස්කෘතිය බොහෝ සෙයින් ම සකස් වී ඇත්තේ ආගමක් සම්බන්ධව බව අපි දකිමු. සිංහල සංස්කෘතිය ගත්තද එය බුදු සමය හා එක් වී ඇත. ඒ නිසා සිංහල සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය වශයෙන් හැඳින්වීමට තරම් බෞද්ධාගමික මුහුණුවරක් ගෙන ඇත. බෞද්ධ සංස්කෘතික සමාජයට අනුව සමාජය කොටස් හතරකි. භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා වශයෙනි. ඉන් පැවිදි පිරිස භික්ෂු-භික්ෂුණී ලෙස ද ගිහි පිරිස උපාසක-උපාසිකා ලෙස ද සකස් වී ඇත. මාංශ ආහාරය සම්බන්ධයෙන් සලකා බලනවිට උපාසක-උපාසිකාවන්ට සතුන් මැරීම තහනම් වුවත් මස් කෑම තහනම් කර නැත. ඒ නිසා තමන් විසින් නොමරන ලද, තමන් අනිකෙකු ලවා නොමරවන ලද, සතුන් මරන්නට අනුබල නොදෙන ලද යන අවස්ථාවන්ගෙන් යුක්තව මසක් කෑම වරදක් නොවේ. වෙළඳ පොළෙන් රැගෙන එන මස් බොහෝ දෙනා භාවිත කරති. සිංහල සංස්කෘතියට අනුව වැඩිවියට පත්වීම, විවාහය, ගෙට ගෙවැදීම, අලුත් අවුරුදු උත්සව ආදී නොයෙක් උත්සව දක්නට ලැබෙයි. මේ සෑම අවස්ථාවකදී ම ආහාර වේලක් ලබා දෙනු ලබයි.

ආගමික පදනම

නිර්මාංශ ආහාරය පමණක් ම සාධාරණීකරණය කිරීමට ආගමික සාධකයන් ඉවහල් කර ගත නොහැකිය. ලංකාවේ භාවිත වන බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා හින්දු යන ආගමික ඉගැන්වීම් අධ්‍යයනයෙන් ඒ බව පැහැදිලි වෙයි. මෙම කිසිදු ආගමක මාංශ ආහාරය තහනම් කර නැත. නිර්මාංශ ආහාරය ද තහනම් කර නැත. කැමති අයෙකුට මාංශ ආහාර ගැනීමේ හැකියාව ද කැමති අයෙකුට නිර්මාංශ ආහාර ගැනීමේ හැකියාවද ඇත. ඒ සඳහා ආගම් වලින් පුර්ණ නිදහසක් අනුගාමිකයන්ට ලබා දී ඇත. මාංශ ආහාර කිසිදු ආගමක තහනම් කර නොතිබුණ ද ආගම් සියල්ලෙහි ම කෑ යුතු නොකෑ යුතු මස් වර්ග සඳහන් කර ඇත. බුදු සමයෙහි සඳහන් ආකාරයට තුන් ආකාරයකින් පිරිසිදු වූ මාංශය හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධි මාංශය භික්ෂුණ්ට අනුමත කර ඇත. බුදුරජාණන් වහන්සේ භික්ෂුණ් වහන්සේලාට දේශනා කළේ:

“අනුජානාමී භික්ඛවේ ත්‍රිකෝටිපරිසුද්ධං මච්ඡමංසං: අදිට්ඨං අසුතං අපරිසඬ්කිතන්ති” (මහාවග්ගපාලි II594 වැනි පිටුව).

යම් මාංශයක් තමා උදෙසා මරන ලද බවට නොදක්නා ලද්දේ වේ ද, යම් මාංශයක් තමා උදෙසා මරන ලද බවට නොදන්නා ලද්දේ වේ ද, යම් මාංශයක් තමා උදෙසා මරන ලද බවට සැක නොකරන ලද්දේ වේ ද මේ තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය වැළඳීමට සුදුසු බවයි. මෙම පැනවීම ගිහි බෞද්ධ උපාසකයන් සඳහා පනවා ඇති බවක් දක්නට නැත. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් බුදුරදුන් අනුදැන වදාළේ භික්ෂුණ් වහන්සේලා සඳහා පමණි. උපාසක උපාසිකාවන්ට ප්‍රාණඝාතයෙන් වැළකිය යුතු බව පමණක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඔවුනට මස් කෑම සම්බන්ධයෙන් නීති නොපැනවූ සේක. භික්ෂුණ් වෙනුවෙන් නොකෑ යුතු මස් වර්ග දහයක්ද විනය පිටකයේ මහාවග්ගපාලියේ (556-560 පිටු) සඳහන් වෙයි. මෙම මස් වර්ග දහය භික්ෂුණ්ට පිළිගැන්වූයේ ගිහි උපාසක උපාසිකාවන්ය. එම නොකෑ යුතු මස් වර්ග දහය මෙසේය.

1)      මිනී මස් (මනුෂ්‍ය මාංශ)

2)      ඇත් මස් (හත්ථි මාංශ)

3)      අශ්ව මස් (අස්ස මාංශ)

4)      සිංහ මස් (සිංහ මාංශ)

5)      කොටි මස් (ව්‍යාඝ්‍ර මාංශ)

6)      දිවි මස් (දීපි මාංශ)

7)      බලු මස් (සුනඛ මාංශ)

8)      සර්ප මස් (අහි මාංශ)

(ත්‍රිපිටකය ආශ්‍රයෙන් සංඛ්‍යාත්මක ධර්ම කරුණු අඩංගු ග්‍රන්ථයක් ශාස්ත්‍රපති වලතර සෝභිත හිමියන් විසින් “ධම්ම මාලා” නමින් සමයවර්ධන පොත්හල මගින් ප්‍රකාශයට පත් කොට ඇත. එම ග්‍රන්ථයේ ‘අහි මාංශ’ නම් කොට ඇත්තේ ‘ඌරු මස්’ වශයෙනි)

9)      වලස් මස් (අච්ඡ මාංශ)

10)  (තරස්)කරබානා වලස් මස් (තරච්ඡ මාංශ)

මෙම මස් වර්ග දහය ද බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණ්ට තහනම් කරන ලද්දේ සමාජයෙන් මතු වූ විරෝධතාවය නිසා හා වනසතුන්ගෙන් සිදු වූ හිරිහැර අනතුරු හේතු කර ගෙනය. මෙම මස් වර්ග ගිහියන්ට නොකෑ යුතු බවට බුදුරදුන් ශික්ෂාපද පනවා නැත. ඒනිසා බුදුරජාණන් වහන්සේ ගිහියන්ගේ ආහාරය සම්බන්ධයෙන් විශේෂ පැනවීම් පනවා නැති බවත්, උන්වහන්සේ අගය කළේ ධාර්මික දිවි පැවැත්ම හා නිර්වාණගාමී ප්‍රතිපදාව බවත් පැහැදිලිය. උන්වහන්සේ බාහිර සමාජයේ ආචාර සමාචාර දිවි පැවැත්ම ආහාරපානාදිය වෙනස් කිරීමට උත්සාහ නොගත් සේක. මේ නිසා න්ර්මාංශ ආහාරය ම සාධාරණීකරණය කිරීමට බුදුදහම එකඟ නොවන බව පෙනී යයි.

බුදුන් වහන්සේ මස් වැළඳුවේ ද?

බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සුත්‍ර පිටකයේ හා විනය පිටකයේ නොයෙක් තැන් වල තොරතුරු සඳහන් වේ. එම අවස්ථාවන් වශයෙන් අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය, මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය, සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රය, මහාවග්ගපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත, පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂා පදය, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් චුන්දකර්මාර පුත්‍රයාගේ සුකරමද්දව දානය ආදිය පෙන්වා දිය හැකිය. මෙම අවස්ථා බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සාක්ෂි සපයයි.

මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසක තුමා (වෛද්‍යවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරන බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී.

“සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති”

“ස්වාමීනි, ඒ ආකාරයට නොයෙක් දෙනා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේට අදාළ දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභූතයෙන් චෝදනා කරන්නෙහි ද? යනුවෙන් ජීවක උපාසක තුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම ප්‍රශ්නයට බුදුරදුන් පිළිතුරු දුන්නේ මෙසේය. “ජීවකය, යමෙක් මෙසේ කියත් නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති, ඒ කාරණය දැන දැන ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙල කළ මස් වළඳත් කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය නොවෙති. ඔවුහු ම හට අසත්‍යයෙන් අභූතයෙන් චෝදනා කරන අය වෙති” යනුවෙනි.

එසේ බුදුරදුන් ජීවක උපාසක තුමාට දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභව කරන බවයි. එසේ ම එය වැළඳීමට භික්ෂුණ්ට අනුමැතිය ලබා දෙන බවයි. එම කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ තිකෝටි පාරිශුද්ධ මාංශයයි. එනම්:

1.      අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු,

2.      අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු,

3.      අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති

මාංශයයි.

“ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය). එසේම සමාජයේ බුදුරජාණන් වහන්සේ උදෙසා සතුන් මරති, උන්වහන්සේ එම මස් දැන දැන වළඳත් යැයි බුදුරදුනට චෝදනාවක් ඇති වුයේ උන්වහන්සේ මස් වළඳන නිසා බවද මෙයින් පැහැදිලි වෙයි. මස් නොකන අයට සමාජයෙන් එවැනි චෝදනා එල්ල වන්නේ නැත.

මහාවග්ගපාළියේ භේසඡ්ඡඛන්ධකයේ ද බුදුරදුන් මස් වැළඳු බවට තොරතුරු සඳහන් වෙයි. සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වාසය කරන කාලයක ලීච්ඡවීහු සන්ථාගාර (රැස්වීම්) ශාලාවෙහි රැස් වී බුදුරදුන්ගේ ගුණ කියත්, භික්ෂු සංඝයාගේ ගුණ කියත්, එම අවස්ථාවේ රැස්වීම් ශාලාවේ සිටි නිගණ්ඨ ශ්‍රාවකයෙකු වූ සිංහ නම් සේනාපතියෙක් බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේ දැකීමට යාමට කැමති වෙයි. ඒ බව නිගණ්ඨනාථ පුත්තයන් වෙත දැනුම් දුන් විට ඔහු මෙසේ කීවේය. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අකිරියවාදියෙකි. එයින් ම උන්වහන්සේ ශ්‍රාවකයන් හික්මවති. ඔබ කුමක් හෙයින් බුදුරදුන් හමුවීමට යන්නෙහිද?” නිගණ්ඨනාථ පුත්තයන් එසේ කී විට සිංහ සේනාපතියන්ගේ බුදුරජාණන් වහන්සේ දැකීමේ අදහස නැති වී ගියේය. එහෙත් දෙවන තුන්වන වර ද ලීච්ඡවීන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළ විට ඔහුට බුදුන් දැකීමේ අදහස යළිත් ඇතිවිය. එම අදහස නිගණ්ඨනාථ පුත්‍රයන්ට දැනුම් දුන් පසු ඔහු දෙවන තෙවන වර ද සිංහ සේනාපතියන් වළක්වනු ලැබීය. පසුව සිංහ සේනාපතියන් නිගණ්ඨනාථ පුත්‍රයන්ට නොදන්වා රථ පන්සියයක් සහිතව දහවල් කාලයේ බුදුරජාණන් වහන්සේ දැකීමට ගියේය. බුදුරදුන් හමුවූ සීහ සේනාපතියන් උපාසකයෙකු බවට පත්වීය.

ඔහු නිවසට ගොස් සේවකයෙකු අමතා වෙළඳ පොළට ගොස් මස් ගෙනෙන්නට නියම කළේය.

“ගච්ඡ භණේ පවත්ත මංසං ජානාහී තී” (මහාවග්ගපාලි – 592 පිටුව)

පසුදා සීහ සේනාපතියා බුදුරදුන් ප්‍රමුඛ මහා භික්ෂු සංඝයා වහන්සේට මස් සහිත ප්‍රණීත භෝජනයෙන් සංග්‍රහ කෙළේය. සීහ සේනාපතියා උපාසකයෙකු බවට පත් වූ පුවත හා ඔහු බුදුරදුන්ට මස් සහිත දානයක් දුන් පුවත දැන ගත් නිගණ්ඨයෝ විශාලා මහනුවර වීදිවල ‘අද සීහ සේනාපතියා තරබාරු සිවුපාවෙකු මරා ශ්‍රමණ ගෞතමයන්ට බත් කරන ලද්දේය. ශ්‍රමණ ගෞතමයන් තමන් උදෙසා කළ මාංශය වැළඳු වේ යැයි  “අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගෝතමස්ස භත්තං කතං. සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං පරිභූඤ්ජතී’ති පටිචචකම්මන්ති” යි ඝෝෂා කළහ.

මෙම කතා පුවතින්ද බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බව තහවුරු වෙයි. සීහ සේනාපතියා ‘පවත්ත මාංශය’ ගෙනෙන්නට කීමෙන් නිගණ්ඨයන් ද ‘පවත්ත මාංශය’ අනුභව කරන්නට ඇති බව සිතිය හැකිය. ඔවුන් බුදුරදුන්ට චෝදනා කෙළේ උදෙසා කළ (උද්දිස්සකටං) මසක් වළඳන බවටයි. එනිසා පවත්ත මාංශය හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ජෛනයන් හා වෙනත් ශ්‍රමණයන් ද වළඳන්නට ඇත. එනිසා බුදුරදුන් ද ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බවට මේ කතා පුවතින් ඉදිරිපත් කර ඇත.

මීට අමතරව පාරාජිකාපාලි විවරපටිග්ගහන ශික්ෂා පදයේ ද බුදුරදුන් මස් වැළඳු බවට කතා පුවතක් සඳහන් වෙයි. එහි සඳහන් පරිදි උප්පලවන්නා මෙහෙණිය පෙරවරු කාලයේ පිණ්ඩපාතයෙන් පසුව අන්ද වනයට වැඩම කරවා ගසක් මුල දිවාවිහරණය පිණිස වැඩ සිටියාය. ඒ වේලාවෙහි සොරු ගව දෙනක්මරා අන්ද වනයට පිවිසුණහ. සොර නායකයා ගසක් මුල වැඩ සිටින උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ දැක මාගේ දරුමල්හු මේ මෙහෙන දක්නාහු නම් වෙහෙසෙන්නාහයි (කරදර කරන්නේ යැයි) වෙන මගකින් ගියේය. අනතුරුව ඒ සොර නායකයා මස් පැසුණු විට හොඳ මස් ටිකක් ගෙන කොළ ආදියෙන් ඔතා බැඳ උප්පලවන්නා මෙහෙණීන් වහන්සේට ළඟ තැනක “යම් මහණ බමුණෙක් මෙය දකිත් නම් එය ගනිත්වා” යැයි කියා ගසක එල්ලුවේය. උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ සමාධියෙන් නැගී සිට සොර නායකයාගේ වචනය අසා ඒ මස් ගෙන මෙහෙණවරට ගියාය. පසුදා එම මස් පිළියෙල කර උතුරු සිවුරෙහි ඔතාගෙන බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමට ජේතවනාරාමයට ගියාය. මෙම කතා පුවතින් ද බුදුරදුන් මස් වැළඳු බව තහවුරු වෙයි. මෙහි සඳහන් වැදගත්ම කාරණය නම් “ගාවිං වධිත්වා” යන්නයි. මෙයින් බුදුරජාණන් වහන්සේ ද ගව මාංශ වැළඳු බව කියවෙයි.

අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඌරු මස් වැළඳු කතා පුවතක් සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුටාගාර ශාලාවෙහි වැඩ වසන සමයක සෝවාන් ඵලයට පැමිණි උග්ග නම් උපාසකයෙක් බුදුරජාණන් වහන්සේ උදෙසා අපුරු ආකාරයක දානයක් පිළියෙල කෙළේය. උග්ග ගෘහපතියා බුදුරජාණන් වහන්සේට එම දානය පිළිගැන්වූයේ උන්වහන්සේ විසින් දේශනා කරන ලද බණ පදයක්ද සිහි ගන්වමිනි. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිදී මෙසේ අසන ලදී. එනම් මනාප දේ දන් දෙන තැනැත්තා කැමති දෙයක් ම ලබන්නේය” යන බණ පදයයි. භාග්‍යවතුන් වහන්ස මා ඩෙබරඵල මුසු කළ ඌරු මස් වලට ඉතා මනාපය. එනිසා භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පා උපදවා ගෙන මාගේ ඩෙබරඵල මුසු මේ ඌරු මස පිළිගන්වා සේක්වා. උග්ග ගෘහපතියා මෙසේ ප්‍රකාශ කර බුදුරජාණන් වහන්සේ වෙත ඌරු මස් පිළිගැන්වූ විට උන්වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳු සේක. මේ ප්‍රවෘත්තියෙන් ද බුදුරජාණන් වහන්සේ මාංශ වැළඳු බව සනාථ වෙයි.

සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රයේ පෙර බුදුවරු පවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව සඳහන් වෙයි. එය මාංශ ආහාරය සම්බන්ධයෙන් බුදුවරු එකම ආකල්පයක් දරන බවට සාධකයෙකි. එහි සඳහන් ආකාරයට එම කතා පුවත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයට සම්බන්ධ වෙයි. බ්‍රාහ්මණ වංශික තිස්ස නම් තාපසයෙක් පිරිවර තාපසයන් සහිතව මාංශ ආහාර වලටත්, මාංශ ආහාර අනුභව කරන අයටත් අපහාස කරමින්, බැනවදිමින් සිටියේය. තිස්ස තාපසයා ප්‍රකාශ කෙළේ, මිනේරි, අමු ඇට, තල කොළ, දලු, අල, මුල් පලතුරු ආදී දැහැමින් ලබන දේ වළඳන දැහැමින් සැනසෙන අය කාමය නොපතන, බොරු නොකියන අය බවයි.

දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සහිත ඇල් හාලේ බතක් දානය වශයෙන් ලැබ එය වළඳනු දුටු තිස්ස තාපසයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විචාළේය. “ඔබ වහන්සේ කලින් පැවසුවේ, පිළී ගඳ තමාට කැප නැති බවය. එහෙත් දැන් ඔබ වහන්සේ මනාව පිසින ලද ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වළඳති”. කාශ්‍යප සමිඳුනි, ඔබ වහන්සේ පිළී ගඳ වශයෙන් සඳහන් කළේ කුමක්ද? තාපසයා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කාශ්‍යප බුදුන් වහන්සේ ප්‍රාණ ඝාතය, වධදීම, අත්පය සිඳීම, සතුන් සිර කොට තැබීම, සොරකම, බොරුකීම, වංචා කිරීම, ක්‍රෝධයෙන් කල් ගෙවීම, අනුන්ගේ භාර්යාවන් ඇසුරු කිරීම, මෙලොව පරලොව නොපිළිගැනීම, පින් පව් නොපිළිපැදීම ආදී අයහපත් දේ සිදු කිරීම ආමගන්ධය වන බවත්, මාංශ ආහාරය ආමගන්ධය නොවන බවත් (ඒසාමගන්ධෝ නහි මාංශ භෝජනං) දේශනා කළහ. මෙම සුත්‍ර දේශනාවෙන් පෙර බුදුවරු පවා මාංශ භෝජනය වැළඳු බව කියවෙයි. බුදුරජාණන් වහන්සේ දැහැමින් ලැබුණු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව ඉහතින් ඉදිරිපත් කරන ලද පිටකාගත තොරතුරු වලින් මනාව සනාථ වන්නේය. ඒ බවට අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය, මහා පරිනිබ්බාන සුත්‍රයේ චුන්දකර්මාර පුත්‍රයාගේ දානය, පාරාජිකා පාලියේ චීවර පටිග්ගහන ශික්ෂා පදයේ එන විස්තරය, මහා වග්ග පාලියේ සීහ සේනාපතියාගේ කතාව, යනාදිය උදාහරණ වේ. මේ නිසා මාංශ ආහාරය බුදුසමයේ සඳහන් මග ඵල අවබෝධයට බාධාවක් නොවන බව දේවදත්ත තෙරුන් විසින් පංච වරයක් ඉදිරිපත් කරන ලදුව බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කිරීමෙන් පැහැදිලි වන්නේය. මෙම පංච වරයේ එක් කාරණයක් නම් “භික්ෂුණ් දිවි ඇති තෙක් මස්-මාළු වැළඳීමෙන් වැළකිය යුතුය” යන්නය.

(යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං යෝ මච්ඡමංසං ඛාදෙය්ය වඡ්ඡං නං ඵුසෙය්යාති – චුල්ලවග්ග පාලිII). මෙයට පිළිතුරු වශයෙන් බුදුරදුන් දේශනා කළේ “මයා දේවදත්ත අනුඤ්ඤාතං තිකොටිං පාරිශුද්ධං මච්ඡමංසං අදිට්ඨං, අසුතං, අපරිසංකිතන්ති” (චුල්ලවග්ග පාලි II). එනම්, තමන් වහන්සේ විසින් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය භික්ෂුණ්ට අනුමත කර ඇති බවයි. මෙයින් බුදු දහමින් මාංශ ආහාරය තහනම් කරනැති බවත්, බුදු දහමේ ලැබිය හැකි මාර්ග ඵලයන්ට පත්වීමට මාංශ ආහාරය කිසිදු බාධාවක් වශයෙන් බුදුරදුන් නොසැලකු බවත් පැහැදිලිවේ.” (පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි විශේෂවේදී උපාධිධාරී කළුන්දෑවේ කමලසිරි හිමි විසින් ලියන ලද “නිර්මාංශ ආහාරය පිළිබඳ බෞද්ධ ස්ථාවරය” නමැති ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටස්)

වේළුසුමන

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: