you're reading...
Articles / ලිපි

පශ්චාත් යුද්ධ ජන මනස ගැන සෙවීමක්

සුනන්ද දේශප්‍රිය

පශ්චාත් යුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය මැය ලෙස ගෙන පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්‍රතිපළ පසුගියදා එළි දැක්විණි. මෙම ජන මත සමීක්ෂනය පවත්වා ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ” සෝෂල් ඉන්ඩිකේටර් ” නමින් හැදින්වෙන  අංශය විසිනි. ජනමත සමීක්ෂනයක නිරීක්ෂන සහ නිගමන සෑම විටම සහ සම්පූර්ණයෙන්ම නිවැරදි නොවන බව සැබෑය. එනමුත් වෘත්තීමය වශයෙන් පවත්වනු ලබන එවැනි ජනමත සමීක්ෂණයක් විසින් අවම වශයෙන් සමාජයක සිතුම් පැතුම් හි දළ හරස් කඩක් සපයන බව ද ඒ තරමටම සැබෑ ය.

ඹ්නෑම සමීක්ෂණයක් මහා ජනයාගෙන් පිළිතුරු ලබා ගන්නේ සකස් කරන ලද ප්‍රශ්ණ මාලාවක් මගිනි. ප්‍රශ්ණ යනු අදහස් ලබා ගැනීම සඳහා විවිධාකාරයෙන් යොදා ගත හැකි මෙවළමකි. කටට උත්තර දී අසන ප්‍රශ්න මෙන්ම ඔව් හෝ නැහැ පමණක් පිළිතුරු වශයෙන් ලබා ගත හැකි ප්‍රශ්ණ ද තිබේ. එමෙන්ම පිළිතුරු දීමට දුෂ්කර, කල්පනා කළ යුතු ප්‍රශ්ණ ද තිබේ. හුදෙක් කාල්පනික පිළිතුරු අපේක්ෂා කරන වියුක්ත දේශපාලන ප්‍රශ්ණ මෙන්ම සංයුක්තව ජනයාගේ එදිනෙදා ජීවිතයට අදාළ පිළිතුරු අපේක්ෂා කැරෙන ප්‍රශ්ණ ද ඇසිය හැකි ය. සමීක්ෂනයක පිළිතුරු ලැබෙන්නේ ඒ අනුව ය.

මෙම සමීක්ෂන වාර්තාවේ එන නිරීක්ෂනයන් බොහොමයක් මෙරට දේශපාලනයට සහ සමාජයට අදාළ ය. මෙහි එන නිරීක්ෂනයන් විසින් පෙන්නුම් කරන එක් සාධනීය ලක්ෂණයක් නම් බහුතර ශ්‍රී ලාංකිකයින් අතර අනෝන්‍ය ජන වාර්ගික ගරුත්වය සහ පිළිගැනීම සෑහෙන දුරකට පවත්නා බව පෙනී යාම ය.  යුද්දයෙන් විනාශ වූ පෙදෙස් යළි ගොඩ නැගීම පිණිස ප්‍රමුඛත්වය දිය යුතු බවට සිංහල ජනතාව අතර ද බහුතර මතයක් ඇති බව මෙම නිරීක්ෂන පෙන්නුම් කරයි. සමස්තයක් වශයෙන් අදහස් දැක්වූ අයගෙන් සියයට 61ක්ම එම මතය පිළිගත්හ. රජයේ නිලධාරීන්ගේ තනතුර සහ බලය  සම්බන්ධයෙන් ජනවාර්ගිකත්වය අදාළ නොවිය යුතු යැයි අදහස් දැක් වූ බහුතරය (70 %)  කියා සිටි අතර සියයට 60ක් බහු වාර්ගික පාසැල් පැවැත්වීම අනුමත කළහ. (දැන් එල්ටීටීඊ ය නැති බැවින්) දේශපාලන විසඳුමක් අවශ්‍ය නැතැයි කියා සිටින්නේ  සියයට 15ක තරම් සුළුතරයකි. තව ද සමීක්ෂනයට සහභාගි වූ සියයට 90ක්ම තමන් ශ්‍රී ලංකිකයකු වීම සාඩම්බරයට කරුණක් බව කීහ.

එසේ නමුත් ප්‍රති සංධානය, ශ්‍රී ලාංකික ජාතිකත්වය. බුද්ධාගම දරණ ස්ථානය යනාදී කරුණු අරභයා ජන කන්ඩායම් කෙරෙන් ලැබී ඇත්තේ ප්‍රති විරුද්ධ අදහස් ය.

ශ්‍රී ලංකිකයකු වීමට නම් ශ්‍රී ලංකාවේ ඉපදිය යුතු අතර   සිංහල කතා කිරීමට හැකි වීම වැදගත් යැයි  සිංහල බහුතර අදහස වී තිබේ.  දෙමළ බහුතර අදහස ලෙස ඉදිරිපත්ව ඇත්තේ සිංහල සහ දෙමළ යන ද්වි භාෂාවන්ම කතා කිරීමේ හැකියාව ය. එමෙන්ම ශ්‍රී ලංකාවෙහි දේශපාලනය තුළ බුද්ධාගමට ඇති බලපෑම පමණ ඉක්මවා යෑමක් නොවන්නේ යැයි සිංහල සියයට 44.5 ක් කල්පනා කරන විට දෙමළ සියයට 78.5ක්, කදුරට දෙමළ සියයට 74.7ක් සහ මුස්ලිම් සියයට 70.4ක් කියා සිටියේ එය පැහැදිළි පමණ ඉක්මවා යෑමක් බවයි.

සමීක්ෂණයේ නිරීක්ෂනයන් විසින් පෙන්වාලන සමහර විට තීරණාත්මකම කාරණය නම් ජීවන වියදම දරන්නට බැරි  බවට ජනයා තුළ ඇති  හැගීම ය. සියයට 36ක් තරම් ප්‍රතිශතයක් කියන්නේ තමන් මිලදී ගන්නා ආහාරයන්හි ගුණාත්මක බව පහළ දමන්නට සිදුව ඇති බවයි. තවත් සියයට 20ක් කියන්නේ ආර්ථික අමාරුකම් නිසා තමන් අවශ්‍ය අවස්ථාවල දී වෛද්‍ය ප්‍රතිකාර හෝ බෙහෙත් පවා නොගෙන හැරිය බවයි. අදහස් දැක්වූවන්ගෙන් අඩක්ම කියා සිටි ඇත්තේ රටෙහි ආර්ථික තත්ත්වය පසුගිය දෙවසර තුළ පිරිහුණ බවයි. ආර්ථිකය ඉතා හොඳයැයි කියා සිට ඇත්තේ සියයට 8.2ක් පමණි. තරමක් හොඳ යැයි කී පිරිස සියයට 36.4කි. දෙමළ සහ මුස්ලිම් පිරිස් අතර සියයට 60ක් පමණම ආර්ථික වර්ධනය නරක අතට හැරී ඇතැයි කීහ.

මෙහි එන නිරීක්ෂනයන්ට අනුව සිංහලයින් අතර වැඩිම විශ්වාශය දිනා ගෙන ඇත්තේ යුද හමුදාව ය. රටෙහි ආරක්ෂක තත්ත්වය වැඩි දියුණු වී ඇති බව සියයට 82ක් ප්‍රකාශ කර තිබේ.  සෑම ජන කොටසක් අතරම අවම විශ්වාශයක් ඇත්තේ පොලීසිය සහ පාර්ලිමේන්තුව කෙරෙහි ය. අදහස් දැක්වූවන්ගෙන් සියයට 20ක් පොලීසිය සහ පාර්ලිමේන්තුව විශ්වාශ කරන්නේ ම නැත.  දේශපාලන පක්ෂ කෙරෙහි විශ්වාශයක් නැතැයි කියා සිටි ප්‍රතිශතය සියයට 40.5ක් විය. පාර්ලිමේන්තු මංත්‍රීවරුන් දූෂිත යැයි සියයට 80ක් තරම් විශ්වාශ කළ අතර එසේ නැතැයි කීවේ සියයට 3.4ක් පමණි. පොලීසිය ද එපමණටම දූෂිත බව නිරීක්ෂනයන් කියා පායි. තේරී පත් මහජන නියෝජිතයින්,රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන අතුරින් අඩුම දූෂිත ආයතනය ලෙස දැක්වෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයන් ය.

ආන්ඩුව විසින් අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කාරණය වශයෙන් සෑම ජන කන්ඩායමක්ම කියා සිට ඇත්තේ ජීවන වියදම අඩු කිරීම ය. ඊළගට අධ්‍යාපනය, සුව සේවා වර්ධනය කිරීමත් විරැකියාව අඩු කිරීමත් ආන්ඩුවේ ප්‍රමුඛතා විය යුතු බව මෙම නිරීක්ෂනයන් කියා පායි. සිංහල පිරිස් සිය ප්‍රමුඛතාවය ලෙස ජීවන වියදම ඉදිරිපත් කරන විට දෙමළ පිරිස් ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපනය යි. යටිතල සංවර්ධනය අදහස් දැක්වූවන් වෙත තෝරා ගැනීමක් ලෙස ඉදිරිපත් කර ඇතත් කිසිම ජන කන්ඩායමක් එය ප්‍රමුඛතාවයක් විය යුතු යැයි කියා නැත. සංවර්ධනයේ ප්‍රතිපළ විය යුත්තේ ජීවන වියදම අඩු කිරීම, විරැකියාව දුරැලීම සහ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීම බවට පුළුල් බහුතර අදහස ලෙස මතු වී තිබේ.

පසුගිය දෙවසර තුළ ශ්‍රී ලංකාව බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී වී ඇතැයි සියයට 24.6 කල්පනා කරන විට  සියයට 32ක් කීයා ඇත්තේ යම් තරමකට ප්‍රජාතන්ත්‍රවාදී වී ඇති බවයි.  සිංහල පිරිස් අතර මෙම ප්‍රතිශතය ඉහළ ය.

මෙම සමීක්ෂන නිරීක්ෂනයන් විසින් පෙන්නුම් කරන වැදගත් කරුණක් නම් රටෙහි ප්‍රධාන දේශපාලන සිදුවීම් සම්බන්ධයෙන් ජනයා අතර ඇති අල්ප දැනුම ය. ඒ අතර සමීක්ෂනයට සහභාගිවූවන්ගෙන් උගත් පාඩම් සහ ප්‍රතිසංධාන ( එල් එල් ආර් සී)  කොමිසම ගැන අසා තිබුනේ සියයට 32.3ක් පමණි. සිංහල පිරිස අතර එම ප්‍රමාණය (31%) අවම විය. ඉහළම අවබෝධයක් තිබුනේ දෙමළ පිරිස් අතර ය (45%). උගත් පාලන කොමිසම සහ එහි ක්‍රියාත්මක සැළැස්ම පශ්චාත් යුද්ධ ප්‍රති සංධානය සඳහා ආන්ඩුවේ මූලෝපාය බව සළකන විට මෙම නිරීක්ෂනයේ වැදගත්කම ඉහළ යයි.

එමෙන්ම සහභාගිවූවන්  අතර වූ සිංහලයින්ගෙන් සියයට 82.7ක් ම කීවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල පමණක් බවයි. දෙමළ සහ මුස්ලිම් පිරිස් අතර ද සියයට 40ක් තරම් විශ්වාශ කළේ රාජ්‍ය භාෂාව සිංහල පමණක් බව යි. එමෙන්ම සමීක්ෂණයට සහභාගී වූ සියට 52.8ක්ම පසුගිය දෙවසර ඇතිවූ  නිශේධාත්මක වර්ධනයන් මොනවාදැයි යන ප්‍රශ්ණයට පිළිතුරු දීම පුදුමාකාර ලෙස මඟ හැර තිබේ.

සමීක්ෂනයට සහභාගිවූවන්ගෙන්  සියයට 61.8ක්ම අගවිනිසුරුවරිය වූ ශිරානි බන්ඩාරනායකට එල්ල කල දෝෂාභියෝගය හරිද වැරදිද කියා කීමට දන්නේ නැති බව කීහ. සියයට 12ක් ඒ ගැන දැන සිටියේ ම නැත. සියයට 20ක් දෝශාභියෝග ක්‍රියා දාමය සාධාරණ නැතැයි කීහ.

ජනාධිපති රාජපක්ෂගේ පුද්ගලික ජනප්‍රියතාවය අතහැර  මෙම ජනමත සමීක්ෂණයට අදාළ කාරණා පමණක් සළකා බලන්නේ නම් වත්මන් පාලනය කෙරෙහි ඇති ප්‍රසාදය එතරම් විශාල බවක් පෙනෙන්නේ නැත.  එය පවතින්නේ සියයට 50 හෝ ඒ ආසන්නයේ ය. ඒ ද බොහෝ කොටම සිංහල ජනතාව අතර ය.  ආර්ථික සාධකය අනුව නම් ආන්ඩුව කෙරෙහි බහුතර කැමැත්තක් ඇතැයි පෙනෙන්නේම නැත. ආරක්ෂාව ඇති කිරීම අතින් ආන්ඩුව ඉහළින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදය අතින් අතර මැද ය. ජනාධිපති රාජපක්ෂගේ ජනප්‍රියතාවය විසින් මෙම සාධකය කොතරම් ඉහළ යනු ඇත්දැයි යන්න මෙම සමීක්ෂනය විසින් පෙන්වන්නේ නැත.

ප.ලි.

කටට උත්තර දෙන ප්‍රශ්ණ ඇසීම මගින් සමීක්ෂනය යම් යම් කාරණා අරභයා පාර්ශවික පිළිතුරු ලබා ගෙන තිබෙන බව ද සමීක්ෂන නිරීක්ෂනයන් පෙන්වයි. එක් උදාහරණයක් නම් රටෙහි ආගමික නිදහස පිළිබඳ ප්‍රශ්න යයි. ශ්‍රී ලංකාවේ ආගමික නිදහස තිබෙන්නේ ද නැතහොත් ඔබේ ආගමට සමාන සැළකීමක් ඇත් ද කියා යනුවෙන් ඇසුව හොත් අඩුම වශයෙන් මුස්ලිම් ජනයා අතර බහුතරයක් හෝ සෑහෙන පිරිසක් නැතැයි පිළිතුරු දෙන්නට ඉඩ තිබේ. නමුත් ඔබේ ආගම ඇදහීමට නිදහස තිබේ ද කියා ඇසූ විට ඔව් කියන පිළිතුර ලැබෙන්නේ සිය නිවසෙහි හෝ ආගම ඇදහීමට හැකි නිසා ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදවය තියෙනවා කියන කියමනට ඔබ එකඟද කියා ඇසූ විට සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියනවා, ඊට ඔබ එකඟද කියා ඇසූ විට ලැබෙන පිළිතුරු වෙනස් විය හැකි ය. තව ද පශ්චාත් යුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කැරෙන ජන මත විමසුමක දී උතුරෙහි යුද කරණය වෙනුවට හමුදාව එළවලු විකිණිම ගැන විමසීම ද කුතුහලය දනවන බව නොකියා බැරි ය.

 

01.12.2013

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: