you're reading...
Articles / ලිපි

වරෙව්, බලව් වැනසෙන පොදුරඳ මඩළ

 සුනන්ද දේශප්‍රිය

මේන් එන්න මේන් එන්න යාන්න බලන්න උතුරු වසන්තේ, නැගෙනහිර උදානේ , විමුක්තිය, විමුක්තියයඅඅ, නිදහස, නිදහසඅඅ, එන්න එන්න ආසියාවේ ආශ්චර්‍ය බලන්න්නඅඅඅ…. යැයි ස්පීකර බැඳ පොදු රාජ්‍ය මන්ඩළය සමඟ මඟුළකට යන්නාසේ ඇරයුම් කෙරුනි. රාජ්‍ය නායකයිනි එන්න, ජනමාධ්‍යකරුවනි එන්න යැයි වර්ණවත් ආරාධනා යැවුණි.

වන්නාටය! අහෝ මංගල්‍ය ආරම්භ වීමටත් පෙරම මඟුල් බෙර හඩ වෙනුවට ඇසෙන්නට පටන් ගත්තේ  මර්දනයේ වෙඩි හඬ සහ වෙඩි බෙහෙත් ගඳ ය.  කුලී මැරවරයින්ගේ කැ කොස්සන් ගැසීම් ය.  ඇමැතියන්ගේ තර්ජන ය.

පොදු රාජ්‍ය මන්ඩළයේ වටිනාකම් කියා ප්‍රඥාප්තියක් ම තිබේ. සෑම රටක් ම ඊට එකඟ වී ඇතිවා පමණක් නොව එය ක්‍රියාවට නැගීමට ද එකඟ වී තිබේ. එහි අඩංඟු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුකරණයේ මූලික පිළිවෙත් ය.  එළඹෙන දෙවසර තුළ ජනාධිපති රාජපක්ෂ එම ප්‍රඥාප්තියේ ද භාරකාරයා බවට පත් වෙයි.  එසේ නමුත් මෙම සතිය මුල් දින කිහිපය තුළ පෙනී එම පිළිවෙත් කිසිවක් රාජපක්ෂ පාලනය විසින් තුට්ටුවකටවත් මායිම් නොකරන බව යි. එමගින් සනාථ වූයේ ශ්‍රී ලංකාවේ මෙම සමුළුව නොපැවැත්විය යුතු බවට ඇතිවූ අන්තර් ජාතික තෙරපුම් නිවැරදි බව  නොවේ ද?.

සතිය ආරම්භ වූයේ ඕස්ට්‍රේලියානු සහ නවසිලන්ත මන්ත්‍රීවරියන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ගේ කට වසනු වස් රටින් පිටුවාහල් කිරීමෙනි. ශ්‍රී ලංකාවේ පවත්නා දේශපාලන මර්දනයේ සවභාවය මේ යැයි කියන්නා සේ  අත් අඩංඟුවට ගැනීමත් පිටුවාහල් කිරීමත් සිදු වූයේ නොනිල ලෙස ය. හරියට යුද්ධ කාලයෙහි  දහස් ගනන් ජනයා නොනිල ලෙස මරා දැමුනු පරිද්දෙනි. ලියැවිලි හි මරණ නැත. ලියැවිලි හි අත් අඩංඟුවට ගැනීමක් ද පිටුවාහල් කිරීමක් නැත. මන්ද යත් මරා දැමීමට නීතිමය හේතුවක් නොතිබූ නිසා එය නොනිල නිසා ය. පිටුවාහල් කිරීමට ද නීතිමය හේතුවක් තිබුනේ නැත. එනයින් එය ද නොනිල ය. නොනිල මරණ මෙන්ම නොනිල පිටුවාහල් කිරීම් පිටුපස ඇත්තේ එකම කරුණකි. එනම් දේශපාලන මර්දනය යි. ඒ වනාහී රාජපක්ෂ පාලනයේ මුද්‍රාව ය.

සතිය මුල මංත්‍රීවරියන් පිටුවාහල් කිරීමේ  සිට  මෙම ලිපිය ලියැවෙන බ්‍රහස්පතින්දා අළුයම දක්වා නොනිල මර්දනයේ මරාවේශය උතුරටත් දකුණටත් එකසේ දියත් වී තිබුණි.  ( විදේශ අමාත්‍යාංශය දෙවන වරට ප්‍රකාශයක් නිකුත් කරමින් කීවේ මංත්‍රීවරියන් පිටුවාහල් කිරීමක් සිදු නොවූ බවයි. කකුළ කටේ දා ගන්නා ඇමැති කෙහෙළිය 11දින පුවත් පත් සාකජ්චාවේ දී කීවේ “අපි මංත්‍රීවරියන් කියා බැලුවේ නෑ, පිටුවාහල් කරා” කියා ය.)

පෙර සතියෙහි ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලයේ ආසියා පැසිපික් අධ්‍යක්ෂකවරිය සහ තවත් නියෝජිකවරියක පිටුවාහල් කිරීමෙන් දක්වන ලද වීසා මර්දනය මගින් විවේචනයට වැට බැදීම  මෙම මංත්‍රීවරියන් දෙදෙනා අත් අඩංඟුවට ගැනීමෙන් යළි සනාථ විය. ඒ සමඟම වාර්තා වූයේ රාජ්‍ය මංගල්‍යට සමාන්තරව  අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ පොදු රාජ්‍ය මන්ඩළයේ පිළිවෙත අරභයා කොළඹ පැවැත්වීමට නියමිත වූ සමුළුවකට සහභාගි වීමට නිකුත් කර තිබූ වීසා අවලංඟු කරන ලද බවයි. එසේ වීසා අවලංඟු කරන ලද විද්වතුන් අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අධිකරණ ස්වාධිනත්වය පිළිබඳ විශේෂවරිය ද වූවා ය.

විදේශීය නියෝජිත පිරිස් මෙහි පැමිණ ගවේෂණයේ යෙදී  ඇත්ත දැන ගෙන පොදු රාජ්‍ය මංගල්‍යය අවමංගල්‍යයක්  බවට පත් කරනු ඇතැයි ලංකාන්ඩුව කොතරම්  බිය වී සිටින්නේ ද යන  ප්‍රශ්නය දැන් යටපත් කළ නොහැකි ය.

පොදු රාජ්‍ය මංගල්‍යය වෙනුවෙන් සරසවි වසා දැමුණේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මංගල්‍යට සහභාගි වීමට අවස්ථාවක් දීමට යැයි කියා ය. එහෙත් යාපනයේ සරසවිය මසක්ම වසා දැමුනේ මංගල්‍ය දවස් තිහක්ම තිබෙන නිසා දැයි කීවේ නැත. නොනිල ඇත්ත නම් කොළඹ සහ යාපනයේ සරසවි ශිෂ්‍ය ප්‍රජාව විරෝධතා දැක්වීම මැඩළීමට  ඇති අවශ්‍යතාවය යි. මේ වනාහී ද  නොනිල මර්දනයකි. මංගල්‍ය පවත්නා පෙදෙස් හි විරෝධතා තහනම් යැයි නීතියක් ද පැනවිණ.

සියළු රාජ්‍ය නායකයින් ගොඩ බැසීමට නියමිත කටුනායක ගුවන් තොට ඉදිරියෙහි විදෙස් ජනමාධ්‍ය වේදීන්ට විරුද්ධව ඇමැති සහායක පිරිස් විසින්  විරෝධතා පැවැත්වීමට ඒ නීතිය බලපෑවේ නැත.  ඒ විරෝධතා රාජ්‍ය ජනමාධ්‍ය විසින් පුම්බන ලද්දේ “පුහුල් හොරා කරින් දැනේ” යන කියමන මතකයට නංවමිනි.

විදෙස් ජනමාධ්‍යවේදීන්ට රටේ ඕනෑම තැනක සංචාරය කළ හැකි යැයි ආන්ඩුව අඬබෙර ගැසුවේ ය. එනමුත් වහාම කොළඹ සිට යාපනයට කැරෙන මගී ගුවන් ගමන් සතියකට තහනම් කළේ ය. ඊට හේතු දෙකක් තිබුණි. එකක් නම් ගුවනින් යන විට යුද්ධයෙන් උතුරට වූ විනාශය පෙනීම වැළැක්වීම ය. දෙවැන්න නම් දුම්රියෙන් හෝ මහ මගෙන් යනෙන විට බාධා කිරීමේ තිබූ සැළැස්ම ය.

ඒ අනුව දුම්රියෙන් යාපනය බලා යමින් සිටි “ශ්‍රී ලංකාවේ මරණයේ  යාය”  සහ තවත් එවැනි වාර්තා චිත්‍රපට නිපද වූ වැනල් 4 නාලිකාවේ කැලම් මැක්රේ සහ ජොනතන් මිලර් දුම්රිය නතර කරනු වස් ඇමැති සගයින්ගේ විරෝධයක් සංවිධානය කෙරුණි. දුම්රිය දෙපැයක් නතර කර තබා ජනමාධ්‍ය වේදීන් දෙදෙනා නොනිල වශයෙන් කොළඹට පටවන ලදී.  යාපනය නොනිල ලෙස ඔවුන්ට තහනම් කෙරුණි.

යළිත් කකුළ කටේ දා ගත් ඇමැති කෙහෙළිය කියා සිටියේ කේන්තියට පත් ජනතාව නීතිය අතට ගෙන ඇති බැවින් කොළඹින් බැහැර යන ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට (පොදු රාජ්‍ය මන්ඩලයේ සභාපතිවීමට දින තුනක් පමණක් ඇති)  ශ්‍රී ලංකාන්ඩුවට නොහැකි බවයි. මේ ජනතාව යනු ඇමැතිවරුන්ගේ සේනා බව නොදන්නේ කව්ද? එනයින් කෙහෙළියගේ කතාව ලෝක ජනමාධ්‍ය විසින් කියවනු ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රචන්ඩකාරී ලෙස නීතිය අතට ගැනිමට ඇමැති බලකායන්ට අවසර තිබේ; ඔවුන් විසින් විදේශීය ජනමාධ්‍යවේදීන්ට පහර දීමට ඉඩ තිබේ කියා නොවේ ද?

මේ ප්‍රකාශය පමනක්ම වුව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දී සිටින මර්දනකාරී තත්ත්වය මොනවට කියා පාන  සාක්ෂියකි. කටුනායක සහ අනුරාධපුරයේ දේශපාලන විරෝධතා ද ඊට සහායක් සාක්ෂි බවට පත් වෙයි.

එපමනක් නොවේ.  උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සහ පොදු රාජ්‍ය මන්ඩළ ප්‍රඥාප්තියේ එන ප්‍රජාතන්ත්‍රවාදී පිළිගැනිම්  ක්‍රියාත්මක කරන සේ බල කරමින් කොළඹ දී පැවැති මහජන සභාවකට නොනිල මැර හමුදා එවා තර්ජන ගර්ජන කරන ලද්දේ ද මෙම නොනිල දේශපාලන මර්දනය අනුව ය. මෙම තර්ජන ගර්ජන සඳහා කැඳවන ලද්දේ අගවිනිසුරුවරිය වූ ශිරානි බන්ඩාරනායකට එරෙහිව පාරට බැස්ස වූ දාමරික බලවේගයන් මය. ( ඇය තනතුරින් පහ කිරීම සහමුලින්ම පොදු රාජ්‍ය මන්ඩළ ප්‍රඥාප්තියට විරුද්ධ බව දැන් පොදු රාජ්‍ය මන්ඩළයම එහි විශේෂඥ වාර්තාවක් මගින්  පිළිගෙන තිබේ.) එම සභාව ඇමැතීම සඳහා එමින් සිටි  විපක්ෂ නායකවරයාට දාමරික පිරිස් විසින් ප්‍රහාරයක් ද එල්ල කරන ලදී. පොලීසිය බලා සිටියේ ය. මෙම මහාජන සභාවේ සංවිධායකයින් ද්‍රෝහීන් බවට රාජ්‍ය ජනමාධ්‍ය වෛර ප්‍රචාරයක් දියත් කළ අතර එහි ප්‍රචාර පෝස්ටර් විනාශ කරන ලදී. ඊට සහභාගිවීමට පැමිණෙමින් සිටි උතුරුකරයේ දෙමළ ජනයා රුගත් බස් රථ තුනක් යුද හමුදාව විසින් නතර කර ආපසු හරවා යැවුණේ උතුරෙහි නීතිය යනු හමුදා තුවක්කු බව සනාථ කරමිනි.. මේ මර්දනය ද නොනිල එකකි. උසාවි හෝ පොලිස් වාර්තාවන්හි එවැනි කිසිවක් සිදු වූ බවක් වාර්තා වී නැත.

ශ්‍රී ලංකාවේ මහා ජනයාට නිදහසේ රුස්වීමට සහ සිය විරෝධතා ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොමැති බව පෙන්වීමට රාජ්‍ය අනුග්‍රහය ඇතිව හමුදාව, පොලීසිය සහ මැර පිරිස් විසින් කරන ලද  මෙම මර්දනයට  වඩා ජීවමාන සාක්ෂි අවශ්‍ය ද?

මේ අතරවාරයේ ම යාපනයෙහි ජනයා බලයෙන් හමුදාවට පවරා ගන්නා ලද සිය පාරම්පරික ඉඩම් ඉල්ලා පස් දින උද්ඝෝෂනයක් දියත් කරන්නට සැළසුම් කර තිබුණි. මේ උද්ඝෝෂනය වාර්තා කරනු වස් දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන් ඇස් ගසා සිටින අතරතුරෙහි එහි සංවිධායකයිනගේ නිවෙස් ඉදිරිපිට මහ රුයෙහි ගව හිස් දමා ගොස් තිබුණි. ( මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනියගේ නිවෙසට දමා තිබුණේ බළල් කුණකි. ප්‍රභාකරන්ගේ ගේ මවගේ සොහොන මත බලු මළකුණු දමා තිබුණි). ගවයා දේවත්වයෙහි සළකන හින්දු භක්තිකයින්ගේ නිවෙස් ඉදිරියෙහි  ගව හිස් දැමීම තර්ජනයක් පමණක් නොව අවඥාවක් ද වෙයි.  සංවිධායකයිනට  මරණ තර්ජන ද එල්ල වුනි. අවසානයේ දී විරෝධතාවයට පැමිනෙමින් සිටි සිය ගනන් ජනයා හමුදා බලයෙන් ආපසු හරවා යැවුණි. ගව හිස් දමා කළ තර්ජනාත්මක නිගරැව මදිවාට හමුදා ප්‍රකාශකයා මෙම ජනයාගේ සාධාරණ විරෝධය “දේශපාලන සර්කස් එකකි” යි ප්‍රකාශ කළේ ය.

යාපනයේ මහාජන උද්ඝෝෂණය මැඩළීමට රාජ්‍ය හමුදා දක්වන ලද ප්‍රයත්නයන්ගෙන් සහ හමුදා ප්‍රකාශකවරයාගේ දේශපාලන ප්‍රකාශයෙන් පෙන්නුම් කැරුණේ  උතුරු කරයේ ජනයා මුහුණ දෙන යුදකරණයේ හැටි ය.

නීතියේ පාලනය, ජනමාධ්‍ය සහ ගවේශණයේ නිදහස, රුස්වීමේ නිදහස, සාමකාමී විරෝධතාවයේ නිදහස, සංචාරයේ නිදහස, යනාදී මූලික අයිතීන් ශ්‍රී ලංකාවෙහි දුලබ බව පොදු රද මංඩළ රාජ්‍ය නායක සමුළුව අවස්ථාවෙහි ජීවමානවම පෙන්වීමට ලංකාන්ඩුව දැන් සමත් වී තිබේ. මේ කළ එළියේම කෙළෙසෙන්නෙ පොදු රාජ්‍ය මන්ඩළයේ හරවත් වටිනාකම් ය. වෙන කිසිවකු විසින් නොවේ. එලඹෙන දෙවසරෙහි එහි නායකයා වීමට නියමිත ජනාධිපති රාජපක්ෂ යටතේ ය.

පොදු රද මඩළ සහ එහි වටිනාකම් එහි රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන රටෙහි එම අවස්ථාවේ දීම කෙළෙසීම වෙන කවර විටෙකදීවත් සිදුව නැත. කෝටි ප්‍රකෝටි ගනනින් මහාජන මුදල් කබානිසියා කරමින් පැවැත්වෙන මේ මංගල්‍යය අවමගුල් ළකුණු සැරසීම අහෝ! කරව නම් බේදයක් ද?

දැන් මේසේ ගයමු: වරෙව් බලව් වැනසෙන පොදු රද මඬළ !

17.11.2013

 

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: