you're reading...
Articles / ලිපි

ආන්ඩුවේ අලුත් මිතුරා, යුද අපරාධලාභී උහුරු කෙන්යාටාගේ වග

සුනන්ද දේශප්‍රිය

කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව මිතුරන් සොයා ගැනීම අතින් ශ්‍රී ලංකාවේ පැවැති සියළු ආන්ඩු අතරින් රාජපක්ෂ ආන්ඩුව අද්විතීය වේ. වරෙක එය ලොව පසුගාමීම රාජ්‍යක් පවත්වා ගෙන යන ස්වාසිලින්තයේ අසික්කිත රජු වඩම්මා පුද පඩුරු දෙයි. වරෙක ලොව නම් දැරූ අඥාදායක ලිබියාවේ ගඩාපි හෝ මියන්මාරයෙන් තාන් ෂේ සමඟ කරට අත දමා මෙන්න බලා පල්ලා යැයි ලොවට පෙන්වයි. කෙන්යාවේ උහුරු කෙන්යාටා සමඟ දැන් කැරෙන පහුරු පාසානය ද එවැනි ය. ඊට පෙර ජනාධිපති රාජපක්ෂ කරට අත දමා ගත්තේ යුරෝපයේ අවසාන ඒකාධිපතියා ලෙස නම් දරන බෙලරුස් ජනාධිපති ඇලෙක්සන්දර් ලුකෂෙන්කෝ සමඟය. 

මේ සියළු දුර්ජනයින් සමඟ එකගෙයි කැමට රාජපක්ෂ ආන්ඩුවට සිදුව ඇත්තේ කණගාටුදායක පරිදි එක කරුනක් නිසා ය. එනම් අන්තර් ජාතික වශයෙන් එය මුහුණ දෙන හුදකලාවීම මඟ හැරීමට ය.  ශ්‍රී ලංකාවේ වත්මන් විදෙස් පිළිවෙත මෙහෙයවන බව පෙනෙන ප්‍රධාන සාධකය නම් අන්තර් ජාතික තලයෙහි තමන්ට සහාය දක්වනු ඇතැයි කල්පනා කරන දුර්ජන ආන්ඩු සමඟ මිතුදම් වර්ධනය කර ගැනීම ය. රාජපක්ෂ ආන්ඩුව අන්තර් ජාතික තලයෙහි මුහුණ දී සිටින්නේ මහා පරිමාන මානව හිමිකම් කඩ කිරීම සහ ඒවා පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදුකර වරදකරුවන්ට දඩුවම් නොකිරීම යන චෝදනාවට ය. එවැනි චෝදනාවක් හමූයේ සහාය පැතිය හැකි එක් කන්ඩායමක් වන්නේ එවැනිම චෝදනාවන්ට ලක්වන දුර්ජන පාලනයන් ය. අද ලොව පුරා සැරි සරමින් රාජපක්ෂ ආන්ඩුව සොයායන්නේ අන්න එවැනි දූෂිත සහ මානව හිමිකම් කෙළෙසන්නන් ය. ඇලෙක්සන්දර් ලුකෂෙන්කෝගේ සිට උහුරු කෙන්යාටා දක්වා  ඇති පොදු ගුණාකාරය එය යි.

ජනාධිපතිවරයා නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුග් උළෙලට ගියේ කෙන්යාවෙහි නිදහස් සමරුවට යන ගමන් ය. එහි ගිය ජනාධිපතිවරයා එරට අගමැති උහුරු කෙන්යාටා සමඟ කරට අත දා ගත්තේ ය. උහුරු කෙන්යාටා යනු එරට නිදහස් අරගලයේ නායකයා වූ ජෝමෝ කෙන්යාටාගේ පුතෙකි.  අද කෙන්යාවේ සිටින ධනවත්ම පුද්ගලයා උහුරු කෙන්යාටා ය. ඒ ලොව ධනවතුන් පිළිබඳව වාර්තා ඉදිරිපත් කරන පෝබර්ස් නම් ආයතනයට අනුව ය.  ඊට අනුව ඔහුගේ ශුද්ධ වත්කම කෙන්යානු ෂිලිං බිලියන 50කි. එසේ නැතහොත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500කි. ඔහු අගමැතිවන කෙන්යාවේ සමාන්‍ය මාසික ආදායම ඇමෙරිකානු ඩොලර් 50ක් හෝ කේනයා ෂිලිං 5000ක් තරම් ය. ඔහු අප්‍රිකාවෙහි ඉහළම ධනකුවේරයින් 40 දෙනා  අතර වැජඹෙමින් 26 වන ස්ථානය දරයි.  උහුරු කෙන්යාටාට  කෙන්යාවෙහි හොඳම ඉඩම් අතුරින් අක්කර 500,000ක් අයත් ය. කෙන්යාවේ විශාලකම කිරි නිශ්පාදන සමාගම අයත් වන්නේ ද උහුරු කෙන්යාටා පවුලට ය. එමෙන්ම ඔහුට රූපවාහිනී සහ බැංකු ව්‍යාපාර ද අයත් වේ.

විපාක්ෂික විවේචකයින් කියන්නේ ඔහුගේ ධනය මිට වඩා බොහෝ වැඩි බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා සමඟ බැදී තිබෙන බවත් ය.

ඊටත් වඩා වැදගත්ම කාරණය වන්නේ උහුරු කෙන්යාටා ද මානව හිමිකම් කෙළෙසීම සම්බන්ධයෙන් අන්තර් ජාතික  අපරාධ අධිකරණයෙහි චෝදනා ලබා සිටින දේශපාලනඥයකු වීම ය. නෙදර්ලන්තයෙහි හේග් නුවර පිහිටා තිබෙන අන්තර් ජාතික අපරාධ අධිකරණය හමුවෙහි පසුගිය වසර මුල දී  කෙන්යානු දේශපාලනඥයින් හය දෙනෙකුට එරෙහිව නඩු පවරන ලදී. උහුරැ කෙන්යාටා ඉන් එක් අයෙකි. ඔහුගේ දෙවැනියා වු විලියම් රූතෝ තවත් අයෙකි. මෙම චෝදනා මගින් කියැවෙන්නේ උහුරු කෙන්යාටා එරට සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වග කිව යුතු බවයි. එම චෝදනා ඉදිරිපත් කරන ලද අවස්ථාවෙහි උහුරු කෙන්යාටා හෝ විලියම් රූතෝ හෝ රටෙහි පාලකයින්ව සිටියේ නැත.

මෙම අපරාධ සිදුව ඇත්තේ එහි පැමිණිල්ලට අනුව එතරම් ඈතක දී නොවේ. එනම් 2007 දී ය. එම වර්ශයේ දී කෙන්යාව එරටට දේශපාලන වශයෙන් ඉතා වැදගත් වූ මැතිවරණයකට මුහුණ දුන්නා ය. එවකට විපක්ෂයේ සිටි පිරිස් මැතිවරණ ප්‍රතිඵලය පිළිගත්තේ නැත. එහි විපාකයක් වශයෙන් දරැණූ පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ඇති විය.  එම පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වාර්ගික ස්වරෑපයක් ද ගත්තේ මැතිවරණයෙන් ජය දිනා තිබුනේ කිකුයු නම් ප්‍රධාන පෙලේ ග්‍රෝත්‍රයට අයත් දේශපාලනඥයකු වූ කිබාකි නිසා ය. එරට ප්‍රධාන පෙලේ ග්‍රෝත්‍ර 40ක් තරම් තිබේ. මැතිවරණය දූෂිත එකක් වී යැයි ද එබැවින් එහි ප්‍රතිපලය පිළිගත නොහැකි යැයි ද කියමින් විපාක්ෂිත පිරිස් විරෝධතා පැවැත් වූහ. උහුරු කෙන්යාටා චෝදනා ලබා ඇත්තේ එම සාමකාමි විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචන්ඩ ප්‍රහාරයන් සංවිධානය කිරීම සම්බන්ධයෙනි.

1963 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට ඇති වූ දැවැන්තතම මිනිස් ඝාතනය බවට මෙම පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා පත් විය. ඝාතනය කරන ලද ජනයා දහසක් තරම් වී යැයි කියනු ලැබේ. එහිම විපාකයක් ලෙස ලක්ෂ ගණනාවක් ජනයා සරණාගතයින් බවට පත් විය. එම ජන ඝාතනය නතර වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොපී අන්නන් විසින් සාම ගිවිසුමක් ඇති කොට විපාක්ෂික බලවේගයන්ට ආන්ඩු පාලනයේ ස්ථානයක් ලබා දීමෙන්  පසුව 2008 දී ය.

කෙන්යානු දේශපාලනයේ  එකිනෙකාට විරුද්ධ දේශපාලන නායකයින් සය දෙනෙකු මෙම ඝාතනයන්ට වගකිව යුතු යැයි අන්තර් ජාතික අපරාධ අධිකරණයෙහි පැමිණිල්ල පවසයි. අගමැති උහුරු කෙන්යාටාට සහ උප අගමැති විලියම් රූතෝට පමණක් නොව ඔහුගේ  දේශපාලන විරුද්ධවාදියාට ද එම චෝදනාම යටතේ නඩු පවරනු ලැබ තිබේ. දේශපාලනඥන් අතර සිටින එකම සිවිල් පුද්ගලයා වන්නේ වෛර ප්‍රචාරයන් ගෙන ගිය රේඩියෝ ජනමාධ්‍යවේදියකු වූ ජොසුවා සන්ග් ය. ඔහු (ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා මෙන්) කුපිතකාරී රේඩියෝ වැඩසටහන් මෙහෙය වූ බවට චෝදනා ලබා තිබේ.  කෙන්යාටා ඇතුළු චූදිතයින් සය දෙනාම තමන් නිදොස් බව ප්‍රකාශ කළහ.

අන්තර් ජාතික අපරාධ අධිකරණය හමුවෙහි මෙම නඩු පැවැරීම සාධාරණ කැරෙන්නේ ප්‍රධාන වශයෙන්ස එක් කරුනක් උඩ ය. එනම් වසර 05ක් ගත වී තිබියදීත් එරට දේශීය යාන්ත්‍රණයක් මගින් එනම් අධිකරන පද්ධතිය මගින් 2007 ජන ඝාතනයන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නඩු නොපැවරීම ය.

අන්තර් ජාතික අධිකරණයෙහි පැවැත්වෙන මෙම නඩු විභාග එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය හරහා වැළැක්වීමට කෙන්යාව දරන ලද උත්සාහය ද අසාර්ථක විය. අන්තර් ජාතික යුද අපරාධ අධිකරණය එක්සත් ජාතීන්ගේ උපාංගයක් නොවේ. එසේ නමුත් අන්තර් ජාතික සාමයට බාධාවක් වන්නේ යැයි කල්පනා කරන්නේ නම් එහි නඩු විභාග කල් දමන සේ ඉල්ලා සිටීමට ආරක්ෂක මන්ඩලයට අයිතියක් තිබේ. නමුත් මෙම නඩු විභාගය මගින් එවැනි තත්ත්වයක් ඇතිවේ යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය කල්පනා කළේ නැත. එනමුත් මෙම ප්‍රශ්ණය අන්තර් ජාතික අපරාධ අධිකරණ පිළිගෙන ඇති රටවල් 122ක විසින් විමසා බැලිය යුතු යැයි එය කියා සිටියා ය.

අන්තර් ජාතික අපරාධ අධිකරණය පිළිගෙන ඇති රටවල සමුළුව කෙන්යානු ආන්ඩුවේ සහ අප්‍රිකානු සාමාජිකයින්ගේ තෙරපුම් මැද ආන්ඩු බලයේ සිටින දේශපාලනඥයින්ට නඩු පැවැරීම සම්බන්ධයෙන්  සහනශීලී පිළිවෙතකට පැමිණියා ය. ඒ අනුව උහුරු කෙන්යාටාට දැන් අධිකරණය හමුවෙහි පුද්ගලිකව පෙනී සිටීම අවශය නැත. ඔහුට සිය නීති වේදීන් සහ වීඩියෝ තාක්ෂණය හරහා නඩු විභාගයට මැදිහත් විය හැක. දැන් උප අගමැතිවරයාට එරෙහිව නඩු විභාග ඇරඹී තිබේ. උහුරු කෙන්යාටාට එරෙහි නඩු විභාගය 2014 පෙරවාරියේදී ඇරඹෙයි.  ඔහුට විරුද්ධව සාක්ෂි දීමට ඉදිරිපත් වු පිරිස් අතුරෙන් පිරිසක් ගාතනය වි ඇතැයි ද පිරිසක් බියට පත්කර ඇතැයි ද කියනු ලැබේ. මේ නිසාම කවරකු හෝ මරණයට පෙර දෙන ලද වීඩියෝ සාක්ෂි බාර ගැනීමට අපරාධ අධිකරණය තීරණය කර තිබේ.  සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සළසන නීති පද්දතියක්  එරට නැති බැවින් මෙම චෝදනා සනාථ කිරිමට අවශ්‍ය සාක්ෂි සපයා ගැනීම  දුෂ්කර වනු ඇතැයි ද පැවැසේ.

උහුරු කෙන්යාටා මනුෂත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු නැත්නම් ඔහුට බිය වීමට හෝ නඩු විබාගය වැළැක්වීමට උත්සාහ ගැනීමට හෝ අවශය නැත. 2007 ඝාතනයන්ට ලක් වූ ජනයා වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ නීතිවේදීන් කියන්නේ වින්දිතයින්ට යුක්තිය ලබා දීම අන්තර් ජාතික අපරාධ අධිකරණයේ වගකීම බවයි.

ශ්‍රී ලංකාන්ඩුවට කෙන්යානු වින්දිතයින්ගේ වේදනාව හෝ උහුරු කෙන්යාටා මුහුණ දී සිටින චෝදනා හෝ වෙනුවට පෙනෙන්නේ කෙන්යාවට එක්සත් ජාතින්ගේ මානව හිමිකම්  කවුන්සිලයේ එක් ජන්දයක් ලෙස පමණි. කොතරම් අභාග්‍යක් ද?

ශ්‍රී ලංකාවේ යුද්ධ භූමියේ අපරාධ සටහන් වන්නේ කෙන්යානු සිදුවීම් වලට දෙවසරකට පසු 2009 දීය. එම අපරාධ පිළිබඳ චෝදනා දහසක් ජනයා සම්බන්ධයෙන් නොවේ. දස දහස් ගණනාවක් සම්බන්ධයෙනි. එමෙන්ම රජය සම්බන්ධයෙන් පමණක් නොවේ. යුද වැදුණූ අනෙක් පාර්ශවය වූ එල්ටීටීඊ ය ටද අදාළව ය.  කෙන්යාවේ දී වසර පහක් ගිය ද  දේශීය අධිකරණ ක්‍රියාවළියන් මගින් 2007 මනුෂ්‍ය ඝාතනයන්ට දඩුවම් කැරුනේ නැත.  අන්තර් ජාතික අපරාධ අධිකරණ ක්‍රියාවළිය ඉවසුවේ පස් වසරක් පමණි.

2014 ශ්‍රී ලංකාවේ මහා පරිමාන මානව හිමිකම් කෙළෙසී වසර 05ක් සම්පූර්ණ වෙයි. උහුරු කෙන්යාටා සහ රාජපක්ෂවරුන් අතර මිතුදම් වැඩෙන පරිසරය එය වීම ඉතිහාසයේ සරදමක් ද?

22.12.13

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: