you're reading...
Articles / ලිපි

මැරිල්ල, පොලීසිය සහ ආන්ඩුව

සුනන්ද දේශප්‍රිය

නොවැම්බර් 16 දින කඹුරුපිටිය මාස්මුල්ල ප්‍රදේශයේ දී හද කම්පා කරවන සාහසික ඝාතනයක් සිදු විය.  කඹුරුපිටිය පොලීසියට අනුයුක්තව සිටි පොලිස් නිලධාරියකු වූ  ලියනාරච්චිලාගේ සුනිල් සහ ඔහුගේ බිරිද වූ  අප්සරා සමන්මලී මරා දැමුනේ ඔවුන්ගේ දරුවන් ඉදිරියෙහි දී ය.  සුනිල් තිස්තුන් හැවිරිදි වියෙහි වූ අතර සමන්මලී විසිනම හැවිරිදි වියෙහි පසුවිය. ඔවුන්ගේ සය හැවිරිදි වැඩිමහලු පුතු දිවි ගලවා ගත්තේ සැඟවිමෙනි. තුවාල ලද දෙහැවිරිදි බාල දරුවා රොහල් ගත කෙරිණ.  ඝාතනය වූ එම තරුණ යුවල වෙනුවෙන් කඳුලක් නොනැගුනු මිනිස් සිතක් තිබෙන්නට බැරි ය.

 සසිරිබර මෙසිරිලක සිදුවන අනෙක් අපරාධයන් සම්බන්ධයෙන් මෙන්ම මෙම අපරාධය සම්බන්ධයෙන් ද වරදකරුවනට නීතියෙන් දඩුවම් දීම රජයක යුතුකම විය.  නීතියේ පාලනය පවත්නා රටක මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නිසි දඩුවම් ලැබීම වැළැක්විය නොහැකි ය.  නමුත් නීතියේ පාලනය වෙනුවට කැලෑ නීතිය පවත්නා රටක එවැනි අපරාධයන්ට දඩුවම් ලැබෙන්නේ කැළැවේ අධිපතියාගේ අභිමතය පරිදි ය.

 මෙම අවස්ථාවේ දී එම අභිමතය කොතරම් වේගයෙන් ක්‍රියාත්මක වී ද යත් ඝාතනයට තෙසතියක් ගතවීමට පෙර ඝාතනයේ සැකකරුවන් හතර දෙනෙකුම ඝාතනය කර අවසාන ය. එළෙස ඝාතනය කැරෙන්නේ ද කැලෑ නීතිය අනුවම ය.  මෙම ඝාතන සම්බන්ධයෙන් පොලිස් වාර්තාකරුවන් අපට ගයන්නේ පරණ තැටියම ය. එනම් සැකකරුවන් සිය ආයුධ පෙන්වීමට යැයි පොලිසිය රවටා ගෙන ගොස් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ දී පොලීසිය ආත්මාරකෂාවට වෙඩි තබා සැකකරු ඝාතනය කළ බවයි. මෙම පොලිස් වාර්තාකරුවන් විසින්ම මෙම කතාව මෙයට පෙරද දුසිම් ගණනින් අපට කියා තිබේ. අත් අඩංඟුවට ගැනෙන සැකකරුවන් ආයුධ පෙන්වීමට කියා පොලීසිය රුවටීම මේ හැම ඝාතනයකදී ම සිදු වෙයි. පොලීසිය ද යළි යළි රුවටෙයි. එවිට මාංචු පිටින්ම සැකකරුවෝ පොලීසිය  දෙසට බෝම්බ දමා ගසති. පොලිස් වීරයෝ එක වෙඩි පහරින් සැකකරු මරා දමති.  එසේත් නැත්නම් සැකකරුවෝ මාංචු පිටින්ම ගලා යන ගංගා තරණය කර පලා යනු පිනිස ඒවාට පනිති. එවිට මිය යති. මාංචු පිටින් පීනා යා හැකි යැයි සිතා ගංගාවන්ට පනින වීරයින් සිටන්නේ ලංකාවේ පතාලයේ පමණ ය. ඕනෑම අයකු ඝාතනය කිරීමට අවශ්‍ය නම් මංචු දමා ගැඹුරු දියට තල්ලු කිරීම ප්‍රමාණවත් බව මේ පොලිස් වාර්තාකරුවන් නිකමටවත් ලියන්නේ නැත.

 පොලිස් නිලධාරී සුනිල් ඝාතනය කර මරා දැමීම තරමටම මෙම ඝාතනයන්ද නීතිය අමු අමුවේ කෙළසීමකි.  පොලීසිය මෙවැනි ඝාතනයන් කරන්නේ ඇත්ත වශයෙන් ම නම් තමන් විසින් එම සැකකරුවන් ඝාතනය කළ බව රටට පෙනෙන පරිදි ය. පොලිස් වාර්තාකරුවන් කරන්නේ එම ඝාතන සාධාරණ කැරෙන පසුබිම සකස් කිරීම ය.

 ඝාතනයෙන් දෙසතියක් යෑමට පෙර පොලීසිය අපරාධයට සම්බන්ධ සියළු පුද්ගලයින් හදුනා ගත් බව පොලිස් වාර්තාකරුවන් විසින් පසුගිය දින ගණනාව තුළ පළ කරන ලද වාර්තා ස්ථිරව ම සදහන් කළේ ය. ශ්‍රී ලංකාවේ අතිශය දූෂිත ආයතනය බවට සමීක්ෂන පිට සමීක්ෂන මගින් වාර්තා තබන පොලීසිය එළෙස ස්ථිරව ම අපරාධකරුවන් සොයා ගැනීමද වාර්තාවකි. 

 නොවැම්බර් 03 දා සිදු වූ මෙම ඝාතන වැළේ අවසානය වූයේ වඩුබාස් කෙනෙකු වූ කැටයම් චින්තක නොහොත් වසන්ත චින්තක ය.  පොලිස් වාර්තාකරුවන්ගේ විසින් පළ කරන ලද ලිපි සහ වාර්තා කියා සිටින්නේ වසන්ත චින්තක ප්‍රදේශය ම බියගන්වා ගෙන ජීවත් වූ මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයකු බව යි.  ඔහුට පොලීසිය වෙඩි තබා මරා දැමීමෙන් පසු  ජනයා කිරිබත් උයාකමින් රතිඥා පත්තු කළ බව එවැනි එක් පොලිස් වාර්තාකරුවකු ලියා තිබුණි.  නමුත් එම පොලිස් වාර්තාකරු අසා නොතිබූ ප්‍රශණය වූයේ ඒ තරම් භයානක අපරාධකරුවකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ඒ සා කාලයක් පොලීසිය අසමත් වී තිබුණේ මන්ද කියා ය.

 වසන්ත චින්තක මරා දැමීමට පෙර මෙම ඝාතනයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුනු ධනුෂ්ක සඳරුවන් සහ  ජනක ප්‍රසන්න යන දෙදෙනා ඝාතනය කෙරුණි.  පොලිස් වාර්තාකරුවන්ට අනුව ඒ මාංචු පිටින් ගඟට පැනීමෙනි. තල්ලු කිරීමෙන් නොවේ!

 සැකකාර ඝාතන වැළේ පළමුවැන්නා වූයේ යුද හමුදා කොමාන්ඩෝ බලකායේ පුහුනුකරුවකු ලෙස සේවය කර ඇති රණ විරුවකු වූ අජිත් ය. 2011 දී යුද හමුදාවෙන් ඉවත් වූ රනවිරු අජිත් ද මත් ද්‍රව්‍ය ජාවාරට සම්බන්ධ වී සිටියේ යැයි පොලිස් වාර්තාකරුවන් සඳහන් කරයි.

 මෙම ඝාතනයට  හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමට පොලිස් නිලධාරී සුනිල්ගෙන් එල්ල වූ අභියෝගය බව මුල්ම පුවත්පත් වාර්තාවල සදහන් විය. මත්ද්‍රව්‍ය ජාවාරම කැරෙන්නේ ගම්වල සිටින දාමරිකයින් විසින් නොවේ. එවැනි දාමරිකයින් හුදෙක් ම මහා බලවතුන් මෙහෙයවන දැවැන්ත අපරාධ ජාලයක පුංචි පුරුක් පමණකි. එසේ නමුත් මෙම සාහසික ඝාතනය පිළිබද පොලිස් වාර්තාකරුවන් විසින් පළ කරන ලද එකම ලිපියක හෝ මත් ද්‍රව්‍ය ජාවාරමේ බලවතුන් සහ ජාලය ගැන එකද ගවේශනාත්මක වචනයක් හෝ නොතිබුණි.  එම කරුන මතු කර තිබුනේ විකල්ප අන්තර් ජාල මාධ්‍යකරුවන් විසින් පමණි.

අවසානයේ දී මෙම සියළු  ඝාතනයන් සිදු වූයේ ද පොලිස් නිලධාරී සුනිල් ඝාතනය වූ ආකාරයෙන්ම එනම් නීතියට පිටිනි. එනයින් ඝාතයින් සහ පොලීසිය අතර බෙදුම් රේඛාවක් නැතිව ය.  මෙම සැකකරුවන් මිය ගියේ මෙම පොලිස් වාර්තාකරුවන් අපට කියන පරිදි ගඟට පැනීමෙන් හෝ මාංචු පිටින් බෝම්බ දමා ගැසීමේ දී ය යන සුරංගනා කතා විශ්වාස කරනු ඇත්තේ තොත්ත බබුන් පමණි. මේ වනාහී පොලිස් ඝාතන බව නොදන්නා දේශපාලන අවබෝධයක් ඇති අයකු අද ශ්‍රී ලංකාවේ සිටිය නොහැකි ය.

 පොලිස් නිලධාරී සුනිල් සහ ඔහුගේ බිරිඳ අප්සරා ඝාතනය කිරීම මහ පොළව නූසූලන අපරාධයක් බව අලුතින් කීමට අවශ්‍ය නැත. එමෙන්ම මෙවැනි අපරාධ ශ්‍රී ලංකාවේ දිනපතාම සිදුවන බව ද රහසක් නොවේ. සිය පෙම්වතිය සමඟ විනෝදවෙමින් සිටි පෙම්වතකු ඉදිරියෙහි ඇය දූෂනය කර පෙම්වතා මරා දැමීම ද එවැනි මහ පොළව නූසුළන අපරාධයකි.  ලාබාල දරුවන් ලිංගික අපරාධයන්ට ලක් කිරීම ද තවත් එවැනි අපරාධයකි.  කැලෑවේ අධිපති විසින් දඩුවම ක්‍රියාවට නඟන කැලෑ නීතිය යටතේ මහ පොළව නූසුළන එවැනි අපරාධයන්ට සැළකෙන්නේ වෙනස්ව බව කඹුරුපිටියෙන් ද තංගල්ලෙගෙන්ද අපි දනිමු.

 බොහෝ අභ්‍යන්තර තොරතුරු දන්නා බවක් පෙනෙන එක් පොලිස් වාර්තාකරුවකුට අනුව මෙම ඝාතන සම්බන්ධ පරීක්ෂන සිදුව ඇත්තේ ජ්යෙෂ්ඨපොලිස්අධිකාරිදේශබන්ධුතෙන්නකෝන්ගේ නායකත්වයෙනි. ඔහු රාජපක්ෂවාදී පොලිස් නිලධාරියකු ජනමාධ්‍යයෙහි චෝදනා ලබා ඇත්තෙකි. භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ නම ද ඇදී තිබුනේ ප්‍රධාන චූදිතයා සමඟ ඔහු එදින එක්ව ගත කළ බවට ය‍.  එම පොලිස් වාර්තාකරු ම මෙම මරණ, ඝාතන බව පිළිගනිමින් කියන්නේ හයහතරනොතේරෙනඅහිංසකනොදරුවන්දෙදෙනකුගේඅනාගතයඅඳුරුකළමේඅපරාධකරුවන්ටලබාදුන්දඬුවමපිළිබඳවකිසිවකුත්කනස්සල්ලටපත්නොවන බවයි.

 මෙම කරුණු සියල්ල සැළකිල්ලට ගනිමින් කඹුරුපිටිය ඝාතන වැළ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඇසිය යුතු ප්‍රශ්ණ ගණනාවක් තිබේ. ඒවා මෙසේ ය: 

 මෙළෙස සැකරුවන් ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වෙන බවට නිශ්චිත සහතිකයක් නොමැතිව මෙම ඝාතනයන් කළ පොලිස් නිලධාරීන් එවැනි අපරාධයක් කරනු ඇත් ද?

 එවැනි සහතිකයක් එම නිලධාරීන්ට ලබා දෙන ලද්දේ කුමන ඉහළ නිලධාරීන් විසින් ද? එම ඉහල නිලධාරීන් දේශපාලන පිටුබලයක් නොමැතිව මෙවැනි ඝාතන තීරණයක් ගනු ඇත් ද?

 එම ඉහළ නිලධාරීන් වෙත මෙම ඝාතන බලය පවරන ලද්දේ කුමණ දේශපාලන අධිකාරියක් විසින් ද? එසේ නම් ඒ කව්ද? කවර තරාතිරමක අයෙක් ද? ආයතනයක් ද?

 මැරිල්ල, පොලීසිය සහ ආන්ඩුව එක පුරුකක් බවට පත් වන්නේ එම ප්‍රශ්ණ අනුව ය. නීතිය පිටින් කෙරෙන ඝාතන සඳහා යුද හමුදාව තුළ සුද්දකිරීමේ කන්ඩායමක් සිටින බව පසුගිය දා ආන්ඩුවේ රේඩියෝව වන ගුවන් විහිළු සංස්ථාව ප්‍රසිද්ධයේම කියා සිටියේ ය.  කඹුරුපිටිය ඝාතන විසින් පෙන්නුම් කැරෙන භයානක යථාර්ථය නම් අවශ්‍ය පුද්ගලයින් ඝාතනය කිරීම පිණිස අණ දීමේ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවයි.  මෙම යාන්ත්‍රණය යොදා ගැනෙන්නේ සැකකාර අපරාධකරුවන්ට එරෙහිව පමනක් යැයි සිතා සිටීම  ශ්‍රි ලංකාවේ මෑත කාලීන දේශපාලන ඝාතනයන්ගේ අත් දැකීම අමතක කිරීමකි.  ඝාතන සංස්කෘතියක් පොලීසිය තුල ඇති බව මෙම සිදුවීම යළි සනාථ කරයි.

 පසු සටහන:

 පොලිස් නිලධාරියකු සහ බිරිද ඝාතනය කිරීම වෙනුවෙන් පළි ගැනීම පිණිස මෙතරම් ප්‍රසිද්ධියේ මෙතරම් ඉක්මනින් සිව් දෙනෙකුම නීතියට පිටින් ඝාතනය කරන ලද්දේ නම් යුද හමුදා සොල්දාදුවන් 6,000කට මරු කැඳවූ යුද්දයේ අවසන් පරිච්ජේදය තුළ නීතියට පිටින් කොතරම් සහ මහා පරිමාණයෙන් ඝාතන සිදු වන්නට ඇත් ද?  නැද්ද? නිකමට හිතන්න.

 

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: