you're reading...
Articles / ලිපි

අපේ පවුලේ නීතිය සහ නීතියේ ආධිපත්‍ය .

මේ දිනවල ආණ්ඩුවේ ලොකු ලොකු අයත් නිලධාරිනුත් කතා කරන්නේ  නීතියේ ආධිපත්‍ය ගැනය. විනය ගැනය. පසුගිය දා ජනාධිපතිවරයා පැවසුවේ, කවුරුත් ඉතිහාසයේ කවදාවත් නොකළ දෙයක් තමා කරන බවත් විනයක් ඇති රටක් හදන බවත්ය.
පොලිසියේ නොව ආණ්ඩුවේ හොරණෑව බවට පත්ව සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේ ඉතිහාසයේ හැමදාටමත් වඩා දැන් නීතිය සක්‍රිය බවය. මීට පෙර කවදාවත් නියෝජ්‍ය පොලිස්පතිවරු අත්අඩංගුවට නොගත් බවත් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ බිරියන් මත්කුඩු සමග නො ඇල්ලූ බවත් ඔහු පවසයි. සුදු කැස්බෑවාගේ සිද්ධියේදී ඔහු පවසන්නේ බොරු පැමිණිලි දමන කාටත් තරා තිරම නොබලා දඬුවම් දෙන බවයි.
රූපවාහිනී නාලිකාවල ඇමතිවරු කියන්නේත් මේ කතාවමය. ජනාධිපතිවරයා කියන්නේත් මේ කතාවමය. මේ කියන විදියට ආණ්ඩුව දැන් සැරසෙන්නේ නීතියේ ආධිපත්‍යය ගොඩනැගීමටය. අපේ රටේ මධ්‍යම පාන්තිකයින් හැමදාමත් කන්කෙඳිරි ගෑ අදහස වන විනයක් ඇති රටක් හදන්නටය. මේක ඇත්තද කියා පොඩ්ඩක් කතා කළ යුතුය.

ආණ්ඩුවට නීතියේ ආධිපත්‍ය හැදීමට හදිසියේම අවශ්‍යතාවක් ආවේ කොහොමදැයි සිතා බැලිය යුතුය. මෙහි පැති කිහිපයක් තිබේ. රාජපක්ෂ රෙජීමය සැරසෙන්නේ නව ලිබරල් උපාය මාර්ගයක් යටතේ ගෝලීය ප්‍රාග්ධනයේ උගුලට ලංකාවත්ඇතුළු කිරීමටය. ජනාධිපතිවරයා අය වැය කතාවේදී බලාපොරොත්තු තැබුවේත් විදේශ ආයෝජන මතය. මේ විනය  පිළිබඳ කතා බහ නීතිය පිළිබඳ කතා බහ පිටුපස  ඒ උපාය මාර්ගයත් ඇත. ගෝලීය ප්‍රාග්ධනය නිකම්ම රටට එන්නේ නැත. එය විනයක් නීතියක් විධිමත් බවක් ඉල්ලා සිටී. ඒ නිසා මේ නීතියේ ආධිපත්‍ය නවලිබරල් අවශ්‍යතාවකි.

එපමණක් නොවේ. මහින්ද රාජපක්ෂට අවශ්‍ය ආඩම්බරකාර තාත්තා වන්නටය. ඉන් අනතුරුව ජාතියේ තාත්තා වන්නටය. තාත්තලා හැම තිස්සේම දරුවන්ට තරවටු කරමින් නීති පනවමින් විනය ගැන කියයි. එසේ කියන තාත්තාලා ට තමන්ට විනයක් නැතිවීම එතරම් ප්‍රශ්නයක් නොවේ. මහින්ද රාජපක්ෂගේ පීතෘ භූමිකාවේ මනෝවිද්‍යාත්මක මෙහෙයුමට නීතිය, විනය ගැන කතාබහ ඕනෑය. ඒ අතින් බලන විට මෙය රෙජීමයේත් අවශ්‍යතාවය. දෙපැත්තේම අවශ්‍යතා සමපාත වී තිබේ.

ආණ්ඩුව විනය හදන්න යන්නේ පොදු සමාජ දෘෂ්ටියෙන් නොව, බලයේ දෘෂ්ටියෙනි. පොතේ තිබෙන හැටියට නීති හදන්නේ දේශපාලන අධිකාරයයි. නීති අර්ථකථනය කරන්නේ අධිකරණයයි. ආණ්ඩුව මුලින්ම තමන්ම හැදූ නීතියත් පැත්තකට දමා බලය තහවුරු කරගත්තේය. බලය තහවුරු කිරීම වෙනුවෙන් සියලු නීති කැඩුවේය. ඒ වෙනුවෙන් ලේ ගංගා ගලා ගියේය.

ලසන්ත වික්‍රමතුංගගේ සිට සිරස ගිනි තැබීම දක්වා මාධ්‍යයට පහර වැදිණි. ලලිත්, කුගන් වැනි  දේශපාලන ක්‍රියාධරයින් අතුරුදහන් විය. ජෙයපාලන් වැනි කවීන් අත්අඩංගුවට ගත් අතර සිංහල කවීන්ට විදේශ ගත වීමට සිදු විය. මේ යුද්ධයේ කූඨ ප්‍රාප්තිය වූයේ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් නෙරපා හැරීමයි.

දැන් නීති හැදීමේ පමණක් නොව, නීති අර්ථකථනය කිරීමේ බලයත් ඇත්තේ ආණ්ඩුවේය. එහෙව් නීතියේ ආදිපතය හදන එක ආණ්ඩුවට ප්‍රශ්නයක් නැත. මේක හරියට යුද්ධවලින් දිනූ අය නිරායුධ වැඩසටහන් ගෙන යනවා වගේය. හැමදාමත් වෙන්නේ බලය ඇති අය ආයුධ තබා ගෙන ආයුධ දැරීමේ තනි අයිතිය තබා ගෙන අනෙක් අය නිරායුධ කිරීමයි. නමුත් ඒකට තබා ඇත්තේ අවි  හරණය වැනි ලස්සන නම් ය. නීතියේ ආධිපත්‍ය, විනය ආදයත් ඒ වගේම ලස්සන නම් ය. ඒත් සිදු වන්නේ එහි හරියටම අනෙක් පැත්තයි. දැන් විනයක් ඇති රටක් නීතියක් ඇති රටක් හැදේ යැයි සුබසිහින දකින මධ්‍යම පාන්තිකයින්ට අපට කීමට ඇත්තේ මේ නීතිය හා විනය දේශපාලනික බව මතක තබා ගන්නා ලෙසය.

සමාජයක විනය ඇති වන්නේ බලහත්කාරයෙන් නොවේ. සමාජමය වගකීම සවිමත් කිරීමෙනි. සමාජය විචාරවත් කිරීමෙනි. විනයක් ඇතිවීමට සමාජ පුනරුදයක් ඇති විය යුතුය. විනය හැම විටම පාහේ ස්වයං විනයකි. විනයක් ඇති වන්නේ නීතිය සක්‍රිය වන්නේ සමාජයක අභ්‍යන්තර ගතිකයන් තුළින් මිස බලහත්කාරය තුළින් නොවේ. සැකකරුවන් දියේ ගිල්වා මරා දැමීමෙන්, ආයුධ පෙන්වන්නට කියා ගෙන ගොස් වෙඩි තැබීමෙන් විනය හැදිය නොහැක.

ආණ්ඩුව මේ කියන නීතියේ ආධිපත්‍ය හා විනය බඩගින්නේ ඉන්න පහළ පාන්තකයාගේ දෘෂ්ටි කෝණයන් බලන විට හිරිහැරයකි. පීඩනයකි. හිසරදයකි. සමාජ සංවර්ධනය පැත්තෙන් ගත්තත් මේක කෘත්‍රිමය. ඒ වගේම මේ මිත්‍යාවකි. මුලින් අනීතික ලෙස බලය අල්ලා ගෙන නීතිය ගැන කියන අයට තමන්ට කිසිදු විනයක් නැතිව බලහත්කාරයට විනය යැයි නම් තබන අයට  සමාජයක් ඉස්සරහට ගෙන යාමට නොහැක. එවැන්නන් කියන හැම දේටම හිස නමාගෙන සිටින සමාජයකට කොහොමත් ඉස්සරහට යා නොහැක. ජනාධිපතිවරයාගේ පුරසාරම් කතාත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ තර්ජනාත්මක කතාත් ඇමතිවරුන්ගේ විහිළු කතාත් අසා ගෙන නිසොල්මන්ව සිටින සමාජයට අපට නැවත නැවතත් කීමට ඇත්තේ එයම පමණි.
-ලංකා විව්ස්

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: