you're reading...
Articles / ලිපි

විසෙන් විස නසා විස කැවීම : හිරුණිකා .

hirunikaහිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායිකාව කිරීම හා ඇය බස්නාහිර පළාත්සභාවට සන්ධානයේ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වීමට යාම ගැන මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇති වෙමින් තිබේ. හිරුණිකාගේ වලිගයේ එල්ලී දිව්‍ය ලේකයේ යාමට බලාසිටි රාජපක්ෂ විරෝධීන් තක්කු මුක්කු වී සිටින අතර පියා මිය ගිය පසු හිරුණිකා හෙළූ කඳුළුවලට හා හොටුවලට අනුකම්පා කළ මානවවාදීන් හිරුණිකාට බැන වැදීම ආරම්භ කර ඇත. අපට නම් වැදගත් වන්නේ හිරුණිකා නොව හිරුණිකා හරහා විවර වන දේශපාලන යථාර්ථය තේරුම් ගැනීමයි.
හිරුණිකා ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණියයි. ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මුලින් විජය කුමාරතුංග සමග මහජන පක්ෂයට එක්වී පසුව චන්ද්‍රිකාගේආගමනයත් සමග පොදු පෙරමුණට සම්බන්ධ වූ අයෙකි. චන්ද්‍රිකාගේ සමීප හිතවතකු වූ නමුත් ඔහු මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියේ ඉදිරි පෙළ සාමාජිකයකු විය. එනිසාම මහින්ද ඔහුව ජනාධිපති උපදේශකයකු කරන ලදී. මහින්දගේම හිතවතකු වන ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රත් එජාපයෙන් සන්ධානයට ළගදී පැමිණි මහින්දගේ අලුත් හිතවතකු වන දුමින්ද සිල්වාත් අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මියගියේය. එය සන්ධානයේම ප්‍රබලයින් දෙදෙනකු අතර සිදු වූ ගැටුමකි. ඒ වන තුරුත් හිරුණිකා ගැන රටේ කිසිවකු නොදැන සිටි අතර ඇය කරළියට එන්නේ පැණිවරකා ගසට හෙණ ගැසූ මේ සිදුවීමත් සමගය. පියාගේ මරණයත් සමග ඇගේ පවුලේ සාමාජිකයින්ගේ මිතුරන්ගේ රාජපක්ෂ විරෝධය කුළුගැන්විණි. සුපුරුදු පරිදි දේශපාලන ඝාතනවලින්පසුව  පවුලේ ස්ත්‍රීන් දේශපාලන චරිත බවට පත් වීමේ ලාංකීය හා දකුණු ආසියානුසංස්කෘතිය පණ ගැන්විණි.

හිරුණිකා ආරම්භයේදීම පියාගේ මරණය ගැන කණගාටුවත් කෝපයත් වෛරයත් ප්‍රකාශ කළාය. ඇතැම් විට ඒ පළමු හැගීම් අවංක හැගීම් වන්නට ඇත. ඇගේ පිය සෙනෙහසද බොරුවක් යැයි කීමට තරම් අප ඉක්මන් වන්නේ නැත. එහෙත් පසුව දේශපාලන නූල් සූත්තරකරුවන්ද ජනමාධ්‍ය කෞටිල්‍ය ලා ද එක් වී ඇය දේශපාලන චරිතයක් බවටපත් කළාය. විටෙක ඇය රනිල් සමග සාකච්ඡාවේ නිරත විය. තවත් විටක ඇය මහින්දගේ වේදිකාවේ විය. විකුණන්නට දේවල් සොයමින් සිටින කෑදර මාධ්‍ය ඇයව විකිණීම කෙරෙහි අවධානය යොමු කළේය. ඇයද ඒ නූල් සූත්තරවලට කැමැත්තෙන්ම පාවිච්චි වූවාය. මාධ්‍ය ආයතනවලට මුදල් ලැබිණි. අවසානයේදී හිරුණිකා තමන් කලින් විවේචනය කළ ජනාධිපතිවරයා තමන්ව හදා ගත් දියණියක් ලෙස සැලකූ බව දැන් කියන්නීය. ඇතැම් අයට සිතෙන ලෙසට ඇය උත්සාහකරන්නේ දුමින්ද සිල්වා පරාජය කිරීමට දුමින්ද සිල්වාට වඩා වැඩි බලයක් ගොඩනැගීමටය. ඒ සදහා කොළොන්නාවේ පාතාලයට ආදේශ වන්නටය. මොනවා වුණත්දැන්  හිරුණිකා කියන්නේ තාත්තාගේ කතාව එකක් බවත් දේශපාලනය වෙනත් එකක් බවත්ය.

වෘත්තිය දේශපාලකයින් වන මේ තාත්තලා තමන්ගේ දුවලාට දේශපාලන පෞරුෂයක් හදා නැත. තාත්තලා හදන්නේ ලස්සන රූපයක් ඉහළ අධ්‍යාපනයක් හුරතල් පෙනුමක් පමණි. අඩුම ගානේ පන්ඩිත් නේරු ඉන්දිරා ගාන්ධිට හැදූ ධනේෂ්වර දේශපාලන අවබෝධයවත් සිය දියණියන්ට දෙන්නට මේ තාත්තාලාට හැකියාවක් නැත. ලංකාවේ පසුගාමී සමාජයටත් තාත්තා ගැන කදුළු හෙළන ස්ත්‍රියකගේ සෝබර මුහුණත් සුදුපාට හමත් නීතිඥ වෘත්තියත් ප්‍රභූත්වයත් ප්‍රමාණවත්ය. අවසානයේදී ලක්ෂ්මන් ප්‍රේමචන්දගේ ලේ ගැන ඇති වගකීම වියැකෙමින් යයි. හිරුණිකාට අලුත් තාත්තා කෙනෙකුගේ හෙවණැල්ලේ රැකවරණය ලැබී ඇත. අගේ පියාගේ අවමගුලට සහභාගිවූ විට ඥාතින්ගේ දෝෂාරෝපණ හා රැස්ව සිටි අයගේ හූ හඩ මැද පසු බැසීමට සිදු වූ රාජපක්ෂ දැන් පීතෘ සෙනෙහෙසේ මුද්‍රාව සමග හිරුණිකාට අක්තපත්‍ර දෙයි. ඒ ලංකාවේ දේශපාලනයයි.

ආණ්ඩුව දුමින්ද සිල්වාත් හිරුණිකාත් එකම ගෝනියේ තියා ගනී. ඒ හෙළ උරුමයත් වාසුදේවත් එකට ඉන්නවා වගේය. ආර්ථික ලිබරල්වාදියකු වන සරත් අමුණුගමත් තමන් වාමාංෂිකයකු යැයිකියන ඩීව් ගුණසේකරත් එකට ඉන්නවා වගේය. දුමින්ද සිල්වාට කොළඹ වතු ආශ්‍රිත දුගීන් අතර පදනමක් ඇත. එහෙත් මැද පන්තියට ඔහු ගැන ඇත්තේ විරෝධයක් හා පිළිකුළකි. හිරුණිකා ආණ්ඩුවට ගැනීම තුළ ආණ්ඩුව විසෙන් විස නසයි. මේ කැමති අකමැතිකම් කළමනාකරණය කරයි.දැන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනය ගැන කාටවත් නිනව්වක්නැත. දුමින්දට කැමති අයටත් දුමින්දට අකමැති අයටත් ආණ්ඩුවට ඡන්දය දීමට හේතු නිර්මාණයවී ඇත. ඇත්ත ප්‍රශ්නය යටපත් වී දුමින්දගේත් හිරුණිකාගේත්බොරු යුද්ධය කරළියටපැමිණ ඇත.

අපට කියන්නට ඇත්තේ මෙපමණකි. පියාගේ මරණයට ගැන කම්පාවෙන් සිටි ස්ත්‍රියකගේ කදුළු හොටු සුදු හම අධ්‍යාපනය ආදීසියල්ල පීඩිතයින් මුලා කිරීමට යොදා ගනිමින් තිබේ. ජනගණයෙන් අඩක් වන කාන්තාවන්ගේ දුක් ගැනවිලි හිරුණිකා නියෝජනය නොකරන බව අපට විශ්වාසය. කොළාන්නාවේ මත්කුඩු භාවිතයට බල කෙරී ඇති දිළිදු පීඩිතයාට හිරුණිකාගේ මහින්දගේ පැත්තේ හිටියත් ඊට විරුද්ධපැත්තේ හිටියත් ජීවිතයේ ඉරණම වෙනස් වන්නේ නැත. දැන් හිරුණිකා සංවිධායිකාව වී ඇති මැද කොළඹ නාගරික පීඩිත ජනතාවගේ ඇත්ත ප්‍රශ්න එකකටවත් පිළිතුරු දීමට හිරුණිකාට හැකියාවක් දැක්මක් ධෛර්යයක්හෝ වුවමනාවක් නැති බව අපට විශ්වාසය. ඒ නිසා අපට හිරුණිකා වීරවරියක හෝ ද්‍රෝහියකු නොවේ. හිරුණිකා ඉතා මැනවින් පෙන්වා දී ඇත්තේ වර්තමාන ලංකාවේ දේශපාලනය වන සියලු ප්‍රතිවිරෝධතා වැඩෙන්නට ඉඩ දී අවසානයේදී ආඩම්බරකාර තාත්තා පැමිණ දුවේ පුතේ කියා අමතමින් ඒ සියල්ල කළමනාකරණය කර පීඩිතයාගේ ඇස් නිලංකාර කරන දේශපාලනය පරාජය කළ යුතුබවය. අපි හිරුණිකා ගැන කතා කරන්නේ ඒ නිසාය. නැතිනම් ප්‍රභූ පවුලක ස්ත්‍රියකගේ කදුළු ගැන හෝ හොටු ගන හෝ සුදු හම ගැන හෝ කටවාචාල කම ගැන නීති අධ්‍යාපනය ගැන ලියන්නට අපි අපේ වෙබ් අවකාශය නාස්ති කරන්නේ නැත.
– ලංකා විව්ස්

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: